මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය.

මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය.
මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය ලෝකයේ ප්‍රබලම මන්ත්‍ර ශාස්ත්‍රයයි . මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රයේ වැදගත්ම අංගය වන්නේ සිද්ධි ලබාගැනීමයි . කාලි ,ගණපති ,මාඩ ශාමි ,භගවතී ආදී සිද්ධි ලබාගැනීමෙන් තොරව මලයාලි ගුරුකම් කල නොහැක .මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය සම්බන්ධයෙන් මා ජ්‍යොතිෂ පුවත්පතකට ලිපි මාලාවක් ලියු අතර ඊට මහත් ජනතා ප්‍රතිචාර ලැබුණි .එම ලිපි මාලාව තුලින් මා හෙළි කළේ මාගේ මුත්තා විසින් කරන ලද විස්මිත ගුරුකම් ගැනය . මාගේ මුත්තා මලයාලි මන්තර ශාස්ත්‍රය ඉගෙනගෙන ඇත්තේ "වේණු ශාමි" නම් කේරළ මන්ත්‍රාචාර්යවරයෙක් ගෙනි . අද බොහෝ දෙනෙක් "මලයාලි ගුරුකම්" කරන බව පැවසුවද ඔවුන් මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රයේ මුලික අංග වත් නොදනී. වරු තුනෙන්, දින තුනෙන් වශී ගුරුකම් කරන බව පවසමින් පුවත්පත් වල පලකරන දැන්වීම් ප්‍රමාණය සුළුපටු නොවේ. කෙනෙක් වෙත කෙනෙක්ගේ සිත ගිය පමණින් වශිකරගැනීමට හැකිනම් ලෝකයේ ඕනෑම කෙනෙක්ව ඕනෑම කෙනෙකුට වශී කරගැනීමට හැකිය. මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය තුළ වශී ගුරුකම් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු විශේෂ විධි,ක්‍රම පවතී. මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය ගැන සියලු විස්තර ,තොරතුරු නිවැරදිව හෙළිකර දෙමින්, පුර්ණ අවබෝධයක් ඔබට ලබාදීමට මම අදහස් කළෙමි. මෙතැන් පටන් පලවන සියලු විස්තර කියවා දැනුම අවබෝධය ලබාගන්නා ලෙසත් , ව්‍යාජ මන්ත්‍ර කරුවන්ට නොරැවටී සිටින ලෙසත් ඉල්ලා සිටිමි.

Wednesday, December 17, 2014

(අමනුෂ්‍ය බලපෑම් හා මලයාලි මන්ත්‍ර ගුරුකම් - 04 )

පවුල් දෙකකට කරදර කරපු භූතයෙක්.

             නොයෙක් විදියේ භූතයෝ ඉන්නවා. ඒ බව මා මීට පෙරත් සඳහන් කළා. මේ කියන්න යන භූත කරදරය හරිම පුදුමාකාරයි. දකුණු පළාතේ පවුල් දෙකකට විවිධ කරදර ඇති කරපු භූතයෙක් ගැනයි මේ කියන්න හදන්නේ.
             දකුණු පළාතේ ජිවත් වුණු ඉතාමත් දක්ෂ මන්ත්‍රාචාර්ය වරයෙක්  තමයි භූතයෙක් වෙලා හිටියේ. මන්ත්‍ර ශාස්ත්‍රය පරම්පරාවෙන් උරුම කරගෙන හිටපු මේ මන්ත්‍රාචාර්යවරයා හොඳ වැඩ වගේම නරක වැඩත් කරලා තිබුණා. ජනතාව අතර ප්‍රසිද්ධ වෙලා හිටියෙත් නරක වැඩ අතින් තමයි. අඹු සැමියො භේද බින්න කිරීම, හදි හූනියම් කිරීම වගේ දේවල් ටක්කෙටම හරියන්න කළා.මන්ත්‍ර ශාස්ත්‍රයේ කෙල පැමිණියත් පවුලේ අය එක්ක නම් නිතරම ප්‍රශ්න ඇති කරගත්ත. බීමත්කම හින්දා ලෙඩ ඇඳට වැටුණු මේ මන්ත්‍රාචාර්ය වරයාට කාගෙන්වත් ඒ හැටි පිළිසරණක් ලැබුනෙ නෑ. පවුලේ අයත් එක්ක ඇති වුණු වෛරයෙන්ම අවසන් ගමන් ගියා.
              මේ මන්ත්‍රාචාර්ය වරයාගේ වැඩිමල් දියණිය බොහොම නිවුණු ගති පැවතුම් ඇති තැන්පත් තැනැත්තියක්. සැමියාට වගේම දරුවන්ටත් කරුණාවෙන් සලකාගෙන හිටියා.මන්ත්‍රාචාර්ය වරයා මියගිහින් වසරකට පමණ පසුව මේ දියණියගේ ගති ලක්ෂණ වෙනස් වෙන්න පටන් ගත්තා. නිතර කෝපයට පත් වුණා. සැමියාටයි දරුවන්ටයි නිතර බැන වදින්න ගත්තා. පවුලේ සමගිය නැති වුණා. ගෙදර දියුණුව කලඑලිය නැති වෙන්න පටන් ගත්ත. පවුලේ අනිත් අය මොන තරම් උත්සාහ කලත් මෙයාගේ ගති ලක්ෂණ වෙනස් කරන්න බැරි වුණා.
             ටික දවසක් ගත වෙනකොට මේ තැනැත්තියගේ නැගණියත් වෙනස් වෙනස් වෙන්න පටන් ගත්තා. තනියම කියවනව, ගෙදර අය රුස්සන්නෙ නෑ, තනියම පැත්තකට වෙලා ඉන්නව. දැන් පවුල් දෙකේම ප්‍රශ්න මතුවෙලා. හැබැයි නංගි වෙනස් වෙන වෙලාවට අක්කා බොහොම අපුරුවට ඉන්නවා. අක්කා වෙනස් වෙන වෙලාවට නංගි හොඳට ඉන්නවා. මේකත් අනිත් අයට ප්‍රශ්නයක්.
              මේ දෙගොල්ලන්ටම හොරෙන් අම්මා ගියා එක්තරා දේවාලයකට.එතැන මළවුන් ගෙන්වන තැනක්. අම්මා බුලත් හුරුල්ල තියලා අවශ්‍ය කාරණය කිව්වා.
              " එහෙනම් මිය ගිය කෙනා ගැන හොඳට හිතාගන්න...." කියලා කපු මහත්තයා වැඩේට සුදානම් වුණා. වෙනදට මිය ගිය කෙනෙක් ඇඟට ගන්න ගතවෙන වෙලාවට වැඩි වෙලාවක් මේ වැඩේට ගතවුණා. කොහොම වුණත් මියගිය මන්ත්‍රාචාර්ය වරයා ගෙන්වන වැඩේ සාර්ථක වුණා. කපු මහත්තයාගේ ඇඟට අරූඩ වුණු මන්ත්‍රාචාර්ය වරයා කෝපයෙන් හැසිරෙන්න පටන් ගත්තා.
               " අන්තිම මොහොතේ මට වතුර උගුරක්වත් දෙන්න හිටියේ නැති උඹලා සේරම මම විනාශ කරනවා. මාව ගෙන්නන්නවත් අයින් කරන්නවත් හදන්න එපා. මාව එලවන්න උඹලට ලේසි වෙන්නේ නෑ....."  ඔහොම මහ හයියෙන් කෑ ගහපු මන්ත්‍රාචාර්ය වරයා කපු මත්තයාගේ ශරීරයෙන් ඉවත් වුණේ වැස්සක් වැහැලා පැව්වා වගෙයි.
                 කාරණය ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධ කරගත් අම්මා ඇදුරෙක්ව මුණ ගැහිලා කාරණය කිව්වා. වැඩේ එච්චර ගණන් නොගත් ඇදුරා දිනයක් එහෙම යොදාගෙන දෙහි ගෙඩි ටිකකුත් අරගෙන වැඩේට පිටත් වුණා. ගෙදරට ගොඩ වුණු ඇදුරා බුදුන්ට දෙවියන්ට පහන් දල්වලා වැඩේට සුදානම් වුණා.
                  උතුම් බුදු රුවනේ
ලොව් තුරු දහම් සරණේ 
සමග සඟ රුවනේ 
වඳිම් අදරින් මෙතුන් සරණේ.............
           ඇදුරා ට කියන්න ලැබුණේ එච්චරයි. ඔළුවට වැදුණු පුටු පහරකින් ඇදුරා සිහි සුන්ව වැටුණා. පුටු ප්‍රහාරය එල්ල කළේ නිවසේ වැඩිමල් දියණියයි. හැබැයි ඒ මොහොතේ ඇයගේ ශරීරයේ හිටියේ මිය ගිය මන්ත්‍රාචාර්ය වරයා යි. ඔය විදියට මේ ගෙදරට ආපු ඇදුරෝ කීප දෙනෙක්ම වැඩේ අත ඇරලා  යන්න ගියා. "මේක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි.. බොහොම බලසම්පන්න භූතයෙක් ඉන්නේ.. කිසිම මන්තරයකට යටත් වෙන්නේ නෑ....."  ගෙදරට ආපු හැම ඇදුරෙක්ම  අවසානෙදි කිව්වේ ඔහොමයි. මන්ත්‍ර ශාස්ත්‍රය දන්නා කෙනෙක් භූතයෙක් වුණාම ඔය වගේ ප්‍රශ්න මතුවෙනවා. මෙතන මතුවෙලා තියෙන්නෙත් ඒ වගේ මහා බරපතල ප්‍රශ්නයක්. දියණියන් දෙදෙනාගේ පවුල් ජීවිත අවුල් ජාලාවක් බවට පත් වෙලා. මේ අතරේ අම්මගේ ශරීර සෞක්‍යය ත් දුර්වල වෙන්න පටන් ගත්තා.   නොයෙක් දේවාල, ශාස්තර කියන ස්ථාන ආදියට ගොස්  නිෂ්පල කටයුතු කිරීමෙන්  අතේ තිබුණු මුදල්ද නිකරුණේ වියදම් වුණා.
            මේ අතරේදී පවුලට හිතවත් එක්තරා මහත්මයෙක් මේ ප්‍රශ්නය මා වෙත යොමු කෙරුවා. " කරන්න තියෙන හැම දෙයක්ම කෙරුවා මහත්තයෝ..දැන්නම් නැත්තටම නැති වෙලා ඉන්නේ..මේවට වියදම් කරන්න නම් පුළුවන් තත්වයක් නෑ දැන් ..."   ඇස් දෙකේ කඳුළු පුරවා ගත්තු අම්මා ඔහොම කිව්වා.  
            කිසිම මුදලක් අවශ්‍ය නැතැයි පැවසූ මම සියලු කරදර නිමා කරදෙන බවට පොරොන්දු වෙමින් නිවසට පැමිණෙන්න දිනයක්ද යොදා ගත්තා. එතෙක් නිවෙස් දෙකේ තැබීමට කුඩා තෙල් කුප්පි දෙකක්ද ඔවුන්ට දුන්නා. 
              ලබා දුන් තෙල් කුප්පි දෙක නිවෙස් තුල තැබීමත් සමග දියණියන් දෙදෙනාගේ හැසිරීමේ වෙනසක් ඇතිව තිබෙන බව මව පසු දාම  දුරකතනයෙන් කතා කොට පැවසුවා.  
        අදාල දිනයේදී සහයකයින් දෙදෙනෙක්ද කැටුව ඔවුන්ගේ නිවසට ගිය මා කාමරයක් තුල මල් බුලත් තටුව සකසා වැඩ කටයුතු ආරම්භ කළා. දියණියන් දෙදෙනාගේ කිසිම අවේගශීලි හැසිරීමක් දකින්න ලැබුණේ නෑ. සියලු ද්‍රව්‍ය නියමිත පරිදි ජීවම් කර දියණියන් දෙදෙනාට දෙහි කපා ආරක්ෂා තෙල් සුර පළඳවා ,නිවෙස් වල   උළුවහු වලටද දෙහි කපා සියලු දොස් ඉවත් කරන තෙක්ම කිසිම බාධාවක් එල්ල වුණේ නෑ.  නිවෙස් දෙකේම  අට කොන ආරක්ෂක මුට්ටිද වල දමා, උදේ හවස දුම් ඇල්ලීමට ජීවම් කළ දුම්මල සාම්බ්‍රානි ද දී වැඩේ සාර්ථකව අවසන් කළා. 
          බොහෝ මන්ත්‍රාචාර්ය වරුන්ට ඉවත් කිරීමට නොහැකි වූ බලගතු භූත දෝෂය මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය මගින් ඉතා පහසුවෙන් ඉවත් කළා.කාලයක් තිස්සේ මහත් දුක් කන්දරාවක් විඳි පවුල් දෙකකට වාසනාව උදා වුණේ ඔන්න ඔහොමයි. 
       ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය 
          සංජීව කුළුපන බණ්ඩාර 
                 

       

Friday, October 24, 2014

 (අමනුෂ්‍ය බලපෑම් හා මලයාලි මන්ත්‍ර ගුරුකම්  03) 


          වයස අවුරුදු එක හමාරක දරුවෙක් ඉන්න යොවුන් මවක් තමයි මේ කතාව කියන්නේ. රූපශ්‍රීයෙන්වත්  වෙනින් දේකින්වත් අඩුවක් නැති මේ බිරිඳ ලොකු කළකිරීමකට පත් වෙලයි හිටියේ.ඒ, තමන්ගේ ස්වාමි පුරුෂයාගේ හදිසි වෙනස්වීම හින්දයි.ඇය දිවා රෑ දෙකේ කල්පනා කළා. වැඩිහිටියන් ලවා උපදෙස් අවවාද දුන්නා. ඒත් සාර්ථක ප්‍රථිපලයක් ලැබුනේ නෑ. මාස දෙකකට පමණ පෙර ඇය පැමිණ මා හමු වුණා.
          " දරුවා ලැබෙනකල් මහත්තයා හොඳට හිටියා. දරුවා ලැබුණට පස්සෙ එයා වෙනස් වෙන්න පටන්ගත්ත. එයා වැඩිය කේන්ති යන කෙනෙකුත් නෙමෙයි. පොඩි දේකටත් කේන්ති ගන්න පටන් ගත්තා. කේන්ති ගිය වෙලාවට යකෙක් වගේ.ගෙදර බඩු  මුට්ටු පවා පොළවෙ ගහනවා. ගෙදර එන්නෙ ගොඩක් රෑ වෙලා.  ඒ ආවම ගෙදර අපායක් වගේ. මා එක්ක එකතුවෙන්නෙත් නෑ. නිදාගන්නෙත් වෙනම. ජීවිතය නැති කරගන්න හිතෙන වාර අනන්තයි. ඒත් දරුවා හින්දා ඉවසගෙන ඉන්නවා. මොනවා හරි කරලා  මහත්තයව ඉස්සර හිටපු තත්වයට පත් කරලා දෙන්න."
           මම දෙන්නගේ කේන්දරත් තත්කාල ග්‍රහ තත්වයත් සියුම්ව පරීක්ෂාකළා. ඇතිවී තිබුණු තත්වයට හේතුවත් හොයාගන්න පුළුවන් වුණා. ඇයගේ ස්වාමි පුරුෂයාට එල්ලවී තිබුණේ අමනුෂ්‍ය බලපෑමක්. නිවස ආශ්‍රිතව පැවති අමනුෂ්‍ය බලපෑමක් ඔහු කෙරෙහි තද බල බලපෑම් එල්ල කරමින් තිබුණා. 
             ස්වාමි පුරුෂයාගේ ඥාති සම්බන්ධයක් ඇති තරුණ කාන්තාවක් අකාලයේ මියගොස් තිබේදැයි මා ඇයගෙන් විමසුවා.
        "මහත්තයාගේ නංගි කෙනෙක් වහ බීල මැරුණලු. එයා මහත්තයගේ යාළුවෙක් එක්ක යාළුවෙලා ඉඳල තියෙනවා. පස්සේ නංගිව අත ඇරලා වෙන කෙනෙක්ව කසාද බැඳලා. ඒ දුකට තමයි නංගි වහ බීල තියෙන්නේ."
      නිවසේ පවතින අමනුෂ්‍ය දෝෂය ගැනත්, දෝෂයේ බලපෑම ගැනත් සියලු දේ මම ඇයට පැහැදිලි කරලා දුන්නා. මෙවන් දෝෂයක් ඉවත් කිරීමට අදාල ස්ථානයට යා යුතුයි. නමුත් ශාන්තිකර්මයක් සිදුකළ හැකි පසුබිමක් නිවස තුල තිබුණේ නෑ.නිවසේ තත්වය යම් තරමකට හෝ යහපත් අතට පත්කරගැනීම ප්‍රථමයෙන්ම කළ යුතුයි. ඒ අනුව මා ඇයට "සර්ව භූත නිවාරණොපාසන යන්ත්‍රය" සකසා දී එය නිවසේ උස් තැනක තබන්නැයි උපදෙස් දුන්නා. යන්ත්‍රය තැන්පත් කර දින තුනක් ගතවන විටම ස්වාමිපුරුෂයා තරමක්  සන්සුන් තත්වයට පත්වුණා. කෝපය සංසිඳුණා. නිවසේ තිබුණු අසමගිතාවය බොහෝ දුරට අඩු වුණා.කාන්තාව ස්වාමි පුරුෂයාද කැටුව මා හමුවුණා. එහිදී මාගේ පැහැදිලි කිරීම් හමුවේ සියල්ල නිරවුල්ව අවබෝධකරගත් ඔහු නිවසේ පවතින අමනුෂ්‍ය බලපෑම ඉක්මනින්ම ඉවත් කරදෙන්නැයි ඉල්ලා සිටියා.
              රාත්‍රියක් මුළුල්ලේ සිදු කළ ශාන්ති කර්මයෙන් දෝෂය මුළුමනින්ම ඉවත් වුණා. බිරිඳත් සැමියාත් ඉතා සතුටින් සාමයෙන් දරුවාත් සමග කල් ගෙවනවා.
  මෙවන් අමනුෂ්‍ය බලපෑම් හේතුවෙන් විසිරෙන පවුල් ජීවිත, විනාශ වන ජීවිත බොහෝය. ඇතැමුන් ඉවසිලිමත්ව, ඊට මුල්වන හේතු සොයාගනිමින් පිළියම් යොදාගනිමින් සුරක්ෂිත වෙනවා. 
සමහර අමනුෂ්‍ය බලවේග නොයෙක් ආකාරයට මනුෂ්‍යයන්ට බලපෑම් කරනවා. ඇතැම් අමනුෂ්‍ය බලවේග නිවැසියන්ගේ වැරදි නොසුදුසු ක්‍රියා කලාපයන් හේතුවෙන්ද නිවෙස් තුලට පැමිණෙනවා. අපවිත්‍ර දේවල්, මස් මාංශ පුළුටු, පිළුණු අහාර, අඳුරු ගතිය, මළ මුත්‍ර, සෙම් සොටු ආදියට ප්‍රිය කරන ප්‍රේත කොට්ටාශ ඉන්නවා.
                නොයෙක් ප්‍රේතයින් පිළිබඳ විස්තර බෞද්ධ දර්ශනය තුල සඳහන් වෙනවා.වන්තාස නමින් හඳුන්වන ප්‍රේතයින් සත්ව මළ කුණු ආහාරයට ගන්නවා. ගුතඛාදක නමින් හඳුන්වන ප්‍රේතයින්ගේ මුඛය ඉඳිකටු තුඩක් තරම් කුඩා බවත් උදරය ඉතා විශාල බවත් සඳහන් වෙනවා.තන්හට්ටික නම් ප්‍රේතයින් ඉවසාගත නොහැකි කුසගින්නකින් හා පිපාසයකින් නිතර දුක් විඳිනවා. සුනිජ්ජාමක නමින් හඳුන්වන ප්‍රේතයෝ ගින්නෙන් පිළිස්සී ගිය කණුවක් මෙන් වියළි ශරීරයකින් යුක්ත වෙනවා.සත්ථාන්ග වර්ගයට අයත් ප්‍රේතයින් තියුණු දත් නියපොතු ආදියෙන් යුක්ත වෙනවා.පබ්බතංග වර්ගයට අයත් ප්‍රේතයෝ මහා පර්වත තරමට විශාලයි.අජගරංග නම් ප්‍රේතයෝ පිඹුරන්ගේ ශරීර වැනි ශරීර වලින් යුක්ත වෙනවා.වේමානික ප්‍රේතයෝ පූර්ව කුසළ  හා අකුසළ කර්ම වලට අනුව වරින් වර සැප හා දුක ලබා දෙන විමාන වල කල්ගෙවනවා.
   මීට අමතරව මස් පිඬු වැනි ප්‍රේතයෝ, මසින් යුක්ත නමුත් සම නැති ප්‍රේතයෝ, ඇට සැකිළි වැනි ප්‍රේතයෝත් ඉන්නවා.පෙර භවයේ වචනයෙන් අසංවර වීම හේතුවෙන් ඌරු මුහුණක් ඇතුව උපන් ප්‍රේතියක් නාරද තෙරුන්ට මුණ ගැසුණු බව සූකරමුඛ ප්‍රේත වස්තුවේ සඳහන් වෙනවා. 
                   ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය
            දේශමාන්‍ය, ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර

Monday, September 22, 2014

අමනුෂ්‍ය බලපෑම් හා මලයාලි මන්ත්‍ර ගුරුකම් (02)

ඇඟ පුරාම සීරීම් සලකුණු ඒත් සූරන කෙනෙක් නෑ.

                  "මගෙ ඇඟේ තැන් තැන් වල සීරීම් සලකුණු මතුවෙනවා. හරියට නියපොත්තකින් සුරලා වගේමයි. දකින අය හිතන්නෙ මාව කවුරු හරි හූරලා කියලයි.මේක මට හරිම වදයක්. ගමනක් යන්න හිතෙන්නෙත් නෑ..."
  දවසක් මා හමු වුණු තරුණියක් ඔය විදියේ දුක්ගැනවිල්ලක් කියන්න වුණා. අත් දෙකේත් දෙපා වලත් මුල පටන් ඉහළට සිහින් සීරීම් සලකුණු දකින්න තිබුණා. මීට අමතරව තවත් ගැටළු කිපයකටත්  ඇය මැදි වෙලා හිටියා. නින්ද නොයාම, ශරීරයේ දැවිල්ල, දණහිස් වල වේදනාව, උදරාශ්‍රිත පීඩා ආදී සුලු අසනීප කීපයකිනුත් පෙලුණා. දැඩි අවේගශීලී ගති ඇති වන බවත් පවුලේ අය සමග නිතර ගැටුම් ඇති වන බවත් පැවසුවා. මන්ත්‍රාචාර්යවරු කීප දෙනෙක්ම හමුවෙලා පිළියම් කරවා ගත්තත් පලක් වෙලා නෑ. ඇය ගත කරමින් හිටියෙ රාහු මහ දශාවේ කේතු අන්තර් දශාව යි. ඇයට බලපෑම් කරලා තිබුණෙ අමනුෂ්‍ය බලවේගයක්. මේ අමනුෂ්‍ය බලපෑම නිකම්ම ඇති වුණු දෙයක් නෙමෙයි. ඇයගෙ සහෝදරියක් කරපු යම් ගුරුකමක් හේතුවෙන් තමයි මේ බලපෑම ශරීරයට ඇතුල් වෙලා තිබුණෙ. සහෝදරිය ගුරුකමක් කරල තියෙන්නෙත් නිකම් නෙමෙයි. මේ තරුණිය තමන්ගේ සහෝදරියගෙ ස්වාමි පුරුෂයා සමග අනියම් ඇසුරක් පවත්වලා තියෙනව. තමන්ගෙ ස්වාමි පුරුෂයා මේ වැරදි සම්බන්ධයෙන් ගලවා ගන්නයි මැයගෙ සහෝදරිය ගුරුකම කරලා තිබුණෙ. දෙන්නා වෙන් කරන්න යම් දෙයක් කෑමකට හෝ බීමකට දාලා මේ තරුණියට දීලා තමයි සම්බන්ධය නතරකරගෙන තිබුණේ. සම්බන්ධය ඉතාමත් සාර්ථකව නතරවුණත් මේ තරුණියගේ ශරීරයට ඇතුල් වුණු බලපෑම එහෙමම තිබුණා. ඒ හේතුවෙන් තමයි සීරීම්, ආවේගය, නින්ද නොයාම, දණිස් හා උදරාශ්‍රිත වේදනාව ආදී පීඩාවන් ඇතිවුණේ.
                      මේ විදියේ බලපෑමක් ශරීරයට ඇතුල් වුණාම ශරීරයේ ඉඳගෙන නොයෙක් පීඩාවන් ඇතිකරනවා. සමහර වෙලාවට වෛද්‍යවරු වැරදි නිගමන වලට එළඹෙනවා. සමහරු පිළිකා කියල කාලයක් තිස්සෙ බෙහෙත් ගන්නවා. තවත් අය  ආත්‍රයිටීස් කියල බෙහෙත් ගන්නවා.ඔය විදියට එක එක ලෙඩ වලට බොරුවට ප්‍රතිකාර ලබාගන්න අය ඉන්නවා. සමහර භූත බලවේග නොයෙක් දේවල් වලට ආශාව ඇතිකරනවා. අරුම පුදුම ගති ලක්ෂණ ඇතිකරනවා. සමහරු මත්වතුර බෝතල් ගණන් බොනවා කිසිම ගානක් නෑ. සමහර අමනුෂ්‍යයෝ නොයෙක් මාංශ වලට ප්‍රිය කරනවා. ඇතැම් භූතයෝ තද බල කාමාශාවන් ඇතිකරනවා. බුද්ධ කාලයේදීත් එක්තරා භික්ෂුන් වහන්සේ නමක් භූත බලපෑමක් හේතුවෙන් අමු ඌරු මස් වැළඳූ බවත් අමු ඌරු ලේ පානය කළ බවත් ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. 
     මෙහි සඳහන් කළ තරුණිය මන්ත්‍රාචාර්යවරු කීප දෙනෙක්ම හමු වුණත් ඒ අය නිවැරදි පිළියමක් යොදල තිබුණෙ නෑ. ඒකට හේතුව වුණේ කාරණය නිවැරදිව  හෙළි කරගැනීමට අපහසුවීමයි. දෙහි, අහු, පුහුල් කැපුවටම මේ වගේ දෝෂයක් ඉවත් වෙන්නෙත් නෑ. දෝෂයක් ශරීරයෙන් ඉවත් කළ හැකි ක්‍රම ගණනාවක් මන්ත්‍ර  ශාස්ත්‍රය තුළ සඳහන් වෙනවා. නමුත් පවතින දෝෂයේ ස්වභාවය අනුව ඒවා භාවිතයට ගත යුතුයි. ඇතැම් මන්ත්‍රාචාර්යවරු එකම ක්‍රමය සියලු දෝෂ සඳහා භාවිතා කරනවා. මා ඇයගේ අමනුෂ්‍ය බලපෑම ශරීරයෙන් ඉවත් කළ පසුව පැවති ගැටළු, පීඩාවන් දුරු වුණා.
   ජනප්‍රිය කලාකරියකටත්  මේ හා සමාන  ගැටළුවක් තිබුණා. ඇය කලා කටයුතු පවා හරි හැටි කරගැනීමට බැරුව මහත් අපහසුතාවයකට පත්වෙලා හිටියා. ඇයට බලපෑම කරල තිබුණේ ක්ෂේත්‍රයේ කෙනෙක්මයි. විවාහවීමට දින වකවානු පවා නියම කරගෙන හිටියත් හැම අවස්ථාවකදීම බලාපොරොත්තු බිඳ වැටුණා. ශාරීරික ගැටළු බොහොමයකුත් තිබුණා. දැනට වසර කීපයකට පෙර ඇය වෙනුවෙන් සිදු කළ ප්‍රතිකර්ම හේතුවෙන් මේ වන විට සාර්ථක ජිවිතයක් ගතකරනවා. 
         ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය 
   දේශමාන්‍ය,ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර 

Monday, August 11, 2014

අමනුෂ්‍ය බලපෑම් හා මලයාලි මන්ත්‍ර ගුරුකම්. ( 01 )

ගෙදර කිසිම සිරියාවක් නෑ. සල්ලි නැති වෙනවා.
ගේ වටේ අඩි සද්ද ඇහෙනවා. පවුලෙ අයගෙ සමගියකුත් නෑ.

             සමහර ගෙවල් වල පුදුම දේවල් සිද්ද වෙනවා. සල්ලි නැති වෙනවා. තිබ්බ දේවල් තිබ්බ තැන් වල නෑ. ගේ වටේ අඩි සද්ද ඇහෙනවා. ගෙදර අය එකිනෙකා රුස්සන්නෙ නෑ. ගෙදර කෙනෙකුට අසනීපයක් නැති දවසක් නෑ. හිත් වල කිසිම සතුටක් නෑ. කරන දේවල් හරියන්නෙත් නෑ.  ඔය වගේ ප්‍රශ්ණ සමහරුන්ට තියෙනවා. මෙහෙම වෙන්නෙ ඇයි? 
            අපට කරදර පීඩා ඇතිවෙන්නෙ ග්‍රහ අපල හින්දා විතරක්ම නෙමෙයි. නොයෙක් අමනුෂ්‍ය බලපෑම් හින්දත් නොයෙක් කරදර විපත් එල්ල වෙනවා. මිය ගිය ඥාතීන්ගෙ බලපෑම්, අණවින කොඩිවින, නීච බන්ධන වගේ දේවල් හේතුවෙනුත් නොයෙක් විදියේ කරදර ඇතිවෙනවා. බලවත් භූත ආත්ම පුදුම හිතෙන ආකාරයේ බලපෑම් එල්ල කරන අවස්ථා තියෙනවා. ඒ වගේම  යහපත, ආරක්ෂාව සලසන භූත ආත්මත් නැත්තෙ නෑ.
     දකුණු පළාතේ කාන්තාවකට දවසක් රෑ අපූරු හීනයක් පෙනුණා. හීනෙන් පෙනී හිටියෙ මියගිය ආදරණිය පියා. එයා හීනෙන් පෙනී ඉඳලා මෙහෙම කිව්වා. " හෙට උදේම ගිහින් දළදා මාලිගාව වැඳ පුදාගන්න... මටත් පින් අනුමෝදන් කරන්න."  පහුවදා උදේම ගෙදර කට්ටිය නුවර යන්න පිටත් වුණා. ඒත් මගදි ආරංචි වුණේ කවදාවත් හිතපු දෙයක් නෙමෙයි. ඒ දවස තමයි 2004 දෙසැම්බර් 26.  සුනාමි ඛේදවාචකය හේතුවෙන් තම ප්‍රදේශයට බරපතළ හානි සිදුවූ පුවත මේ අයට මගදිම දැනගන්න ලැබුණා. පුදුමාකාර විදියට මේ අයගේ ජිවිත බේරුණු විදිය බලන්න. ඔන්න ඔය විදියට  මිය ගිය අය උපකාර කරන, ජීවිත බේරන අවස්ථාත් තියෙනවා. එවැනි අත්දැකීම් ඇති බොහෝ දෙනා එම තොරතුරු මා සමග පවසා තිබෙනවා.
          සමහර භූත බලවේග ප්‍රබලයි. සමහර භූත බලවේග දුර්වලයි. සමහර භූත ආත්ම තම ශරීරය දැඩි කරගෙන අන්‍යයන් ඉදිරියේ පෙනී සිටිනවා. සමහරු භුතයින්ව දකින අවස්ථාත් තියෙනවා. 
          එක්තරා දියණියක් සාමාන්‍ය පෙළ විභාගයට ලියන්න යන්න මිදුලට බැස්සා. මිදුලට බැහැපු දියණිය ඉදිරියේ ඇයගෙ මිය ගිය අම්මා පෙනී සිටියා. " දුවේ බයවෙන්න එපා. ඔයාට විභාගය හොඳින් ලියන්න ලැබෙනවා. ඉහළින්ම සමත් වෙනවා."  එහෙම කියපු අම්මා නොපෙනී ගියා. දියණියට මේ සිදුවීමත් සමග නව පණක් ලැබුණා. විභාගයෙන් ඉහළින්ම සමත් වුණා. 
            ඔය විදියට සමහර අමනුෂ්‍ය බලවේග ඇතැමුන්ට උදව් කරනවා. මිල මුදල් පවා ගෙනත් දෙන අවස්ථා තියෙනවා. දේව වරමින් සාස්තර කියන අය ඕනැ තරම් ඉන්නවා. දේව වරමින් කියලා කිව්වට මේ එක්කෙනෙක්වත් සාස්තර කියන්නේ දේව වරමින් නම් නෙමෙයි. මේ අයගේ මිය ගිය ඥාතියෙක් තමයි ඇඟට ඇවිත් මේ වැඩේ කරන්නේ. සමහරු වරමින් පට්ට පල් බොරුත් කියනවා. මොකද ඒ ඥාතියාගේ අරමුණ තමයි තමන්ගේ සහයෝගයෙන් සාස්තර කියන පුද්ගලයාට මුදල් උපයා දීම.  ඉතින් සාස්තර අහන්න එන අයට නොයෙක් දේවල් කියනවා. ඒවා අහන අය අත දිග ඇරලා වියදම් කරගෙන කියන කියන දේ කරනවා. භුතයින්ගේ බලය සිමා සහිතයි. ජීවත්වෙලා ඉන්න අය විවිධ මට්ටම් වල ඉන්නවා වගේ භුතයින්ගේ බලයත් විවිධාකාරයි. ජීවත්ව සිටියදී යම් බලවත් තත්වයක සිටි ඥාතීන් භූත ආත්ම වල ඉපදී ප්‍රබල වරම් ලබාදෙන අවස්ථාත් තියෙනවා.
      ඇතැම් භූත බලවේග මනුෂ්‍යයින්ට කරදර කිරීමට නොයෙක් උපක්‍රම භාවිතා කරනවා. සමහර ඉඩම් මොනව කරලාවත් විකුණගන්න බෑ. සමහර ගෙවල් තියෙනවා ඒවා මිලදී ගන්න කාටවත් ඒවායේ වැඩිකල් රැඳෙන්න බෑ. යම් යම් ගෙවල් ඉඩම් ආදියට ආශාවෙන් මිය යන අය භූත ආත්ම වල ඉපදිලා ඒ ස්ථාන වල රැඳිලා ඉන්නවා. ඇතැම්  සතුරන් අමනුෂ්‍ය බලවේග ඉඩම් වලට බන්ධනය කරන අවස්ථාත් තියෙනවා. ඒ වගේ අවස්ථා වල තත්වය වඩාත් දරුණු වෙන්න පුළුවන්. ඉඩමේ ජිවත්වෙන අයගේ රැකියා කටයුතු, විවාහ කටයුතු ආදියටත් තද බල කරදර බාධක ඇතිවෙන්න පුළුවන්.
         යම් තද බල අමනුෂ්‍ය බලපෑමක් පවතින බවක් හැඟෙනවා නම් දක්ෂ මන්ත්‍රාචාර්යවරයෙක් හමුවෙලා ඊට ප්‍රතිකර්ම යොදාගන්න ඕනැ. අමනුෂ්‍ය බලපෑම් දුරු කළ හැකි නොයෙක් ක්‍රියාමාර්ග මන්ත්‍ර ශාස්ත්‍රය තුළ තිබෙනවා. කොහොම වුණත් අමනුෂ්‍යයින් අල්ලා බෝතල් කුප්පි ඇතුලේ සිර කිරීම එතරම් යහපත් සාර්ථක ක්‍රමයක් නෙමෙයි. 
   බුද්ධ කාලයේ වැඩ විසූ භික්ෂුන් වහන්සේලාටත් භුතයින්ගෙන් නොයෙක් බලපෑම් එල්ල වෙලා තියෙනවා. එක්තරා වනයක භාවනාවේ යෙදුනු භික්ෂුන් වහන්සේලාට එල්ල වුණු අමනුෂ්‍ය බලපෑම් දුරු කිරීමට තමයි බදුන් වහන්සේ කරණීයමෙත්ත සුත්‍රය දේශනා කළේ. වනයේ භාවනාවෙ යෙදුනු භික්ෂුන් වහන්සේලාට නොයෙක් භයානක රූප පෙනෙන්න ගත්තා. භයානක ශබ්ද ඇහෙන්න ගත්තා. දුගඳ දැනෙන්න  වුණා. සිත එකඟ කරගන්න බැරි වුණා. ශරීර සුදුමැළි වෙලා වැහැරෙන්න පටන්ගත්තා. කරණියමෙත්ත සුත්‍රය භාවිතා කරන්න ගත් පසුව අමනුෂ්‍ය බලවේග උන් වහන්සේලාට මෛත්‍රී කරන්නත් අනුකම්පා කරන්නත් පටන්ගත්තා. කරණීයමෙත්ත සුත්‍රය පුරාවට තිබෙන්නේත් මෛත්‍රියයි.
        සමහර වෙලාවට යම් යම් භූත බලවේග මනුෂ්‍යයින්ගේ ශරීර තුළට  ඇතුල්වෙලා නොයෙක් රෝග ලක්ෂණ ඇතිකරනවා. මොන තරම් ප්‍රතිකාර කළත් සුවයක් ලැබෙන්නෙ නෑ. රෝගය කුමක්දැයි වෛද්‍ය වරුන්ටත් හරියට නිශ්චය කරගන්න බැරුව යනවා. මේ වගේ අවස්ථාවල කරණියමෙත්ත සුත්‍රය භාවිතා කිරීම, මෛත්‍රී භාවනාව වැඩීම ගොඩක් ප්‍රතිපලදායක වෙනවා. 
          නිවසක පිරිසිදුතාවය ඉහළ මට්ටමක තබා ගැනීමත්  ගොඩක් වැදගත් වෙනවා. අපිරිසිදු ස්ථාන වල ලැගුම් ගන්න ප්‍රේත බලවේග ප්‍රිය කරනවා. ඇතැම් නිවෙස් වල තිබෙන අපිරිසිදු තැන් පිරිසිදු කරන්න නිවැසියන්ට හිත දෙන්නෙත් නෑ. ප්‍රේතයෝ ඒවාට ඉඩ දෙන්නෙ නෑ. නිවස නිතර සුගන්ධවත්ව තබා ගැනීමත් ගොඩක් වැදගත් වෙනවා.  නිතර දුර්ගන්ධය පැවතීමත් සුබ දායක නෑ. දුර්ගන්ධයට ප්‍රිය කරන අමනුෂ්‍යයෝ ඉන්නවා. ඒ වගේම නිවසේ අඳුරු තැන් තියෙන්න දෙන්නත් හොඳ නෑ. හොඳ ආලෝකයක් හැම තැනම තියෙන්න ඕනැ. 
          මේ අමනුෂ්‍ය බලපෑම් තියෙන්නේ අපේ රටේ විතරක්ද කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. ලෝකයේ හැම රටකම අමනුෂ්‍ය බලපෑම් තියෙනවා. ඇමරිකාවේ ධවල මන්දිරයේ පවා අමනුෂ්‍ය බලපෑම් තිබෙන බව වාර්ථා වෙලා තියෙනවා. අමනුෂ්‍ය බලපෑම් සම්බන්ධයෙන් වැඩි වශයෙන් පරීක්ෂණ සිදු කෙරෙන්නේත් බටහිර රට වලයි. 
           අමනුෂ්‍ය බලපෑම් සම්බන්ධවත් අමනුෂ්‍ය බලපෑම් දුරු කිරීම සම්බන්ධවත් තවත් විස්තර තොරතුරු ඉදිරියේදී කතා කරමු.  
           
             
                                                        
                         ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය 

               දේශමාන්‍ය ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර 
                                                             

Saturday, July 19, 2014

                


                               ප්‍රංශයේ වෙසෙන මවක් සහ දියණියක් බරපතළ ප්‍රශ්නයකට මැදිවුණා. දියණිය විදේශික තරුණයෙක් සමග ප්‍රේම සම්බන්ධයක් පැවැත්වුවා. මේ සම්බන්ධය හිටි ගමන් බිඳ වැටුණා. තරුණයා මේ දියණියව මගහරින්න වුණා. මේ අතරෙදි මවයි දියණියයි දෙන්නම යම් අසනීපයකටත් ගොදුරුවුණා. දියණිය වයස 23 ක යෞවනියක්. මවට වයස 49 යි. දෙන්නගේ අසනීප තත්වයයි දියණියගේ ප්‍රේම සම්බන්ධය බිඳී යාමයි හේතුවෙන් මේ දෙන්නා බරපතළ මානසික පීඩනයකට ලක්වුණා. අසනීපය සුවකරගන්න විශාල වෙහෙසක් දැරුවා. වෛද්‍යවරු කීපදෙනෙක්ගෙන්ම ප්‍රතිකාර ලබාගත්තත් පලක් වුනේ නෑ. දෙන්නගේ අධ්‍යාපන රැකියා ආදී සෙසු වැඩ කටයුතුත් අඩාල  වෙන්න පටන්ගත්තා. මේ ප්‍රශ්න වලට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පැත්තෙන්වත් සහනයක් ලබාගන්න පුළුවන් වෙයි කියන අදහසින් මන්ත්‍රාචාර්යවරු කීපදෙනෙකුටත් කතා කරළා බැලුවා. දෙතුන්දෙනෙකුටම සල්ලි යවළා එක එක දේවල් ගෙන්වා ගත්තත් කිසිම ප්‍රතිපලයක් ලබාගන්න බැරිවුණා.
                   පසුගිය මැයි  මාසයේ අග භාගයේ  දවසක මේ මව මට දුරකථනයෙන් කතාකළා. තමනුත් දියණියත් මානසික පීඩාවකට ලක්ව ඇති බවත් බොහෝ ප්‍රතිකර්ම යෙදුවද සහනයක් නොලද බවත් කුමන හෝ ක්‍රමයකින් පිහිටක් වන ලෙසත් ඉල්ලා සිටියා. සැබෑම ගැටළුව කුමක්ද? ඊට බලපාන්නාවූ සැබෑම හේතුව කුමක්ද? යෙදිය යුතු ප්‍රතිකර්ම මොනවාද ? යනාදී තොරතුරු නිවැරදිව සොයාගත යුතු බැවින් උපන්දින, උපන් වේලාවන් ආදිය ලබාගෙන පරික්ෂාකර බලා ඇත්ත තත්වය නිවැරදිව හෙළිකරගත්තා.
         මවත් දියණියත් වෙන් වෙන්ව සම්බන්ධකරගෙන කතා බහ කළා. කේන්දර තුළින් පෙනෙන සැබෑ තත්වය විස්තරකළා. කේන්දර තුළින් මා හෙළිකරගත් කාරණා ඇත්තදැයි ඔවුන්ගෙන් විමසුවා.
               මේ මවත් දියණියත් දෙදෙනාම විදේශික තරුණයා සමග සම්බන්ධකම් පවත්වා තිබුණා. දියණිය ඒ බව දැනගෙන සිටියේ නෑ. තරුණයා මේ දෙදෙනාට අමතරව ඉන්දීය තරුණියක් අසුරුකළා. ඉන්දීය තරුණියට අවශ්‍යවුණේ මේ තරුණයා සමග විවාහවීමටයි. තරුණයාගේ ප්‍රේම සම්බන්ධය ගැන දැනගෙන සිටි ඉන්දීය තරුණිය එම සම්බන්ධය බිඳ වැටීමටත් තමන් වෙතම තරුණයා නැඹුරුවීමටත් යම් ගුරුකමක් කර තිබුණා. එහි ප්‍රථිපලය නිවැරදිව ලැබී තිබුණා.
              මෙවන් අවස්ථාවකදී ප්‍රතිකර්ම යෙදීම තරමක් සංකීර්ණයි. මේ වගේ ගැටළුවකදී තැපැල් මගින් යන්ත්‍ර හෝ වෙනත් යමක් යවා ප්‍රථිපලයක් අත්කරදීම අපහසුයි. දෙදෙනාටම කරුණු කාරණා නිවැරදිව අවබෝධකරදී මෙරටට ගෙන්වාගෙන, නිසි ප්‍රතිකර්ම යොදා ශරීරගත බලපෑම් ඉවත්කළා. මේවනවිට දෙදෙනාගේම අසනීප තත්වය මුළුමනින්ම සුවයි. මාගේ කරුණු පැහැදිලිකිරීම් අනුව තරුණයා පිළිබඳ අදහස සිතින් ඉවත්කරගැනීමටත් දියණිය එකඟවුණා.
                ගුරුකම් සඳහා මුදල් යවා යම් යම් දේ ගෙන්වා ගැනීමේදී ඔබ ඉතාමත් කල්පනාකාරී විය යුතුයි. අපලයකට යන්ත්‍රයක්, සෙත් කවියක්, මුද්දක් වැනි යමක් ගෙන්වාගත්තද වශී ගුරුකම්, අසනීප සුවකරගැනීම්, ලබාදුන් ණය ආපසු ලබාගැනීම්, අමනාපවුණු අය හිතවත්කරගැනීම්, අන්‍යයන් ආකර්ෂණයකරගැනීම් ආදී කටයුතු තැපැල් මගින් සිදුකිරීම අපහසු බව මතක තබා ගතයුතුයි.  

              ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය 
      දේශමාන්‍ය ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර 
               

Wednesday, July 2, 2014

යුග දිවි අවුල් කරන විණ බන්ධන.

        ඇතැම් අය පවුල් ජීවිත විනාශ කිරීම ට කොඩිවිණ කරති. නොයෙක් අරමුණු අනුව මෙසේ පාප කර්ම සිදු කරන අය සමාජයේ බොහෝ වෙති. ඇතැම් අය ඊර්ශ්‍යාව    හේතුවෙන්ද, තවත් අය දේපළ අයිති කරගැනීමටද, ඇතැමුන් පුරුෂයා හෝ ස්ත්‍රිය තමන් සතු කරගැනීමටද මෙවැනි උපක්‍රම යොදති.මෙවන් කටයුතු කරගැනීමට මොනතරම් දෙනෙක් පැමිණෙන්නේදැයි දන්නේ මන්ත්‍රාචාර්ය වරුය. ඔවුන් අතර ඉහළම තලයේ පුද්ගලයින්ද, නොයෙක් ක්ෂේත්‍ර වල ප්‍රසිද්ධ අයද වෙති. කවුරුන් කෙසේ කෙරුවද යුග ජිවිතයක් විනාශ කිරීම ඉතාමත් පාපකාරී ක්‍රියාවකි. 
       ඇතැම් මන්ත්‍ර කරුවන් මෙවැනි කටයුතු සඳහා  භාවිතා කරන දේවල් හේතුවෙන්ද අයහපත් ප්‍රථිපල අත්වීමට ඉඩකඩ තිබේ. ඇතැම් පුද්ගලයින් මෙවැනි කටයුතු වලදී යම් යම් දේ ආහාර පාන ආදියට දමා ශරීර ගතවීමට සලස්වති. විශේෂයෙන් ඉනා බන්ධන වලදී බොහෝවිට සිදුකරන්නේ මන්ත්‍ර ප්‍රාණ බල පිහිටුවන ලද යමක් කෑමකට හෝ බීමකට දමා ශරීර ගත කරවීමයි. මෙහිදී ඇතැමුන් නියපොතු, හිසකෙස්, රෝම, ලේ , මුත්‍රා මෙන්ම ඔසප් රුධිරය, ශුක්‍ර ධාතු ආදී දේද යොදා ගනිති. මේවා ශරීර ගතවූ ඇතැමුන්  සදාකාලික රෝගීන් බවටද පත්විය හැකියි.
     
ශරීරගතකරනු ලබන බන්ධන ක්‍රියාත්මකවන්නේ කෙසේද ?

       නිසි ලෙස මන්ත්‍ර බලය පිහුටුවා ශරීරගතකරනු ලබන දේ භූත බලපෑමක් සමග ක්‍රියාත්මක වේ.කලින් සිටි පුද්ගලයා අතුරුදන්ව වෙනස්ම පුද්ගලයෙක් බවට පත්වේ.සිදු කරන බන්ධනයේ ස්වභාවය අනුව ප්‍රථිපල වෙනස්වේ. මෙවැනි බන්ධනයක් ශරීරගතවූ අයෙක් සමග ශාරීරිකව එක්වන      
අනෙකාටද මෙය බලපෑ හැකියි. එවිට තත්වය වඩාත් දරුණු වේ.මෙවන් බන්ධන ශරීරගතවූ අයගේ පෙනුම ක්‍රමයෙන් වෙනස්වේ.ඇතැම් විට පැහැය පවා වෙනස්වේ.නිතර ඇතිවන අසනීප තත්වයන් මතුවේ.බොහෝවිට නිතර පවතින උදරාබාධ ඇතිවේ. මෙවන් පාපකාරී කටයුතු වල භයානක ප්‍රථිපල 
මෙවැනි කටයුතු සිදුකරන්නන් වෙත කුමන  මොහොතක හෝ  පැමිණේ.      

Monday, June 9, 2014

මන්ත්‍ර ශාස්ත්‍රයේ මුලිකාංග.

වශී , ආකර්ෂණ, මෝහන, ස්ථම්භන, ශාන්ති, විද්වේෂණ, උච්චාටන, මාරණ යනුවෙන් මන්ත්‍ර ශාස්ත්‍රය අට වැදෑරුම් වේ.

වශී කර්ම නම්, අන්‍යයන් තමන් වෙත වසඟ කර ගැනීමයි.
ආකර්ෂණ කර්ම නම්, ව්‍යාපාරික ස්ථාන වෙත ජනයා ඇදගැනීම, ජන ආකර්ෂණය දිනා ගැනීම, සතුරන් මිතුරු කරගැනීම ආදියයි.
මෝහන කර්ම නම්, මුළා කිරීම,රැවටීමට ලක් කිරීම,සැඟවීම ආදියයි.
ස්ථම්භන කර්ම යටතට අයත්වන්නේ වැළක්වීම, බන්ධනය කිරීම, හිර කිරීම ආදියයි.( දරු උපත් වැලැක්වීම, හදාගෙන යන නිවාස ආදිය අතරමග නැවැත්වීම, ව්‍යාපාර අඩපණ කිරීම ආදිය මෙයට අයත්ය) 
ශාන්ති කර්ම යනු අසනීප සුවපත් කිරීම, අපල දුරු කිරීම, අමනුෂ්‍ය දෝෂ ඉවත් කිරීම, කොඩිවින කැපීම ආදියයි.
විද්වේෂණ කර්ම යටතට ගැනෙන්නේ වෙන්කිරීම,භේද භින්න කිරීම, වෛර කරවීම ආදියයි.
උච්චාටන කර්ම නම් පළවා හැරීම, විණ ආපිට හැරවීම, අංජනම් එළි යැවීම ආදියයි.
මාරණ කර්ම නම් කොඩිවින කිරීම, භුමි පාළු කිරීම, දුෂ්ටයන් වැනසීම, අන්‍යයන්ගේ අදහස් ව්‍යර්ථ කිරීම ආදියයි
ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය 
සංජීව කුළුපන බණ්ඩාර 

මන්ත්‍රාචාර්ය වරයෙකු සතුව තිබිය යුතු විශේෂ දක්ෂතාවන් :


"තත්කාල ශාස්ත්‍රය" හෙවත් නිමිති ශාස්ත්‍රය, දේහ ලක්ෂණ විද්‍යාව, හස්ත රේඛා ශාස්ත්‍රය හා  ජ්‍යොතිෂය ගැන මනා දැනුමක් මන්ත්‍රචාර්ය වරයෙකු සතුව තිබිය යුතුය.
යම් කිසි අයෙක් තම ගැටළුව ඉදිරිපත් කිරීමට ප්‍රථමයෙන් එම ගැටළුව කුමක්දැයි පැවසීමේ හැකියාව මන්ත්‍රචාර්ය වරයෙකු සතුව තිබිය යුතුය. අද බොහෝ දෙනෙක් ගැටළුව කුමක්දැයි අසනවා මිස තමන් විසින් පරික්ෂා කර බලා ගැටළුව අවබෝධ කර නොගනියි.
ඔබ මන්ත්‍රචාර්ය වරයෙකු තෝරා ගැනීමේදී මේ ගැන සැළකිලිමත් විය යුතුය. එසේ වූ විට ව්‍යාජ මන්ත්‍ර කරුවන්ගෙන් නොරැවටී සිටීමට හැකිවේ. 

                      ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය 
                          සංජීව කුළුපන බණ්ඩාර