මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය.

මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය.
මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය ලෝකයේ ප්‍රබලම මන්ත්‍ර ශාස්ත්‍රයයි . මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රයේ වැදගත්ම අංගය වන්නේ සිද්ධි ලබාගැනීමයි . කාලි ,ගණපති ,මාඩ ශාමි ,භගවතී ආදී සිද්ධි ලබාගැනීමෙන් තොරව මලයාලි ගුරුකම් කල නොහැක .මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය සම්බන්ධයෙන් මා ජ්‍යොතිෂ පුවත්පතකට ලිපි මාලාවක් ලියු අතර ඊට මහත් ජනතා ප්‍රතිචාර ලැබුණි .එම ලිපි මාලාව තුලින් මා හෙළි කළේ මාගේ මුත්තා විසින් කරන ලද විස්මිත ගුරුකම් ගැනය . මාගේ මුත්තා මලයාලි මන්තර ශාස්ත්‍රය ඉගෙනගෙන ඇත්තේ "වේණු ශාමි" නම් කේරළ මන්ත්‍රාචාර්යවරයෙක් ගෙනි . අද බොහෝ දෙනෙක් "මලයාලි ගුරුකම්" කරන බව පැවසුවද ඔවුන් මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රයේ මුලික අංග වත් නොදනී. වරු තුනෙන්, දින තුනෙන් වශී ගුරුකම් කරන බව පවසමින් පුවත්පත් වල පලකරන දැන්වීම් ප්‍රමාණය සුළුපටු නොවේ. කෙනෙක් වෙත කෙනෙක්ගේ සිත ගිය පමණින් වශිකරගැනීමට හැකිනම් ලෝකයේ ඕනෑම කෙනෙක්ව ඕනෑම කෙනෙකුට වශී කරගැනීමට හැකිය. මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය තුළ වශී ගුරුකම් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු විශේෂ විධි,ක්‍රම පවතී. මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය ගැන සියලු විස්තර ,තොරතුරු නිවැරදිව හෙළිකර දෙමින්, පුර්ණ අවබෝධයක් ඔබට ලබාදීමට මම අදහස් කළෙමි. මෙතැන් පටන් පලවන සියලු විස්තර කියවා දැනුම අවබෝධය ලබාගන්නා ලෙසත් , ව්‍යාජ මන්ත්‍ර කරුවන්ට නොරැවටී සිටින ලෙසත් ඉල්ලා සිටිමි.

Wednesday, December 23, 2015

මාළු බාමින් සිටි තරුණයෙකු 
සැතපුම් ගණනක් දුරට අරගෙන ගිය භූතයෙක්.

      භූතයෝ කියන්නේ තුන්මංසලේ, නාන තොටේ, සොහොන් බිමේ ඉන්නා පිරිසක් කියලා අදත් සමහරු හිතාගෙන ඉන්නවා.ගණන් කරන්න බැරි තරම් භූතයෝ නොයෙක් තැන් තමන් ගේ වාසභූමි කරගෙන ජීවත්වෙනවා. නිවෙස්, පූජා භූමි, ඉඩම්,අපිරිසිදු ස්ථාන, යුද්ධ භූමි, ඇළ දොළ ගංගා ආශ්‍රිත ස්ථාන විතරක් නෙමෙයි මනුෂ්‍ය ශරිරත් ඇසුරු කරගෙන ජීවත්වෙන අමනුෂ්‍යයින් ඉන්නවා.
     ගම්පහ දිස්ත්‍රික්කයේ එක්තරා ගමක තරුණයෙක් මාළු බාන්න පුරුදුවෙලා හිටියා. මේ තරුණයා දවසක් හවස් වරුවේ ඇළ අයිනට වෙලා සුපුරුදු විදියට මාළු බාන්න පටන් ගත්තා. හැමදාම අඳුර වැටෙන්න කලින් ගෙදරට එන තරුණයා එදා රෑ හත පහුවෙලත් ගෙදර ආවේ නෑ. ගෙදර අයයි ගමේ අයයි කලබල වෙලා හොයලා බැලුවා. කොහොම හරි තරුණයා ඉන්න ඉසව්වක් ගැන ලැබුණු ආරංචියක් අනුව ගිය පිරිසට තරුණයාව හම්බ වුණා . හැබැයි තරුණයා හිටියේ සැතපුම් තුනකට විතර දුර ප්‍රදේශයක යි. ගෙදරට අඳින කොට කලිසමත් ඇඳගෙන මෙච්චර දුරක් ආවේ මොකද කියලා පිරිස තරුණයාගෙන් ඇහුවා. ආවේ කොහොමද කියලාවත් මතකයක් තරුණයා ට තිබුණේ නෑ . කොහොම වුණත් එදායින් පස්සේ තරුණයාගේ මාළු බෑමේ පුරුද්ද නම් නතර වුණා. හැබැයි මේ සිදුවීම ගැන තරුණයා අදටත් ඉන්නේ පුදුමයෙන්.
      සත්ව විෂය කියන්නේ හිතන්න, මනින්න, ගණින්න පුළුවන් දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දවසක් පොළවෙන් පස් ස්වල්පයක් අරගෙන නිය මතුපිට තියාගෙන භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා " මහණෙනි, තථාගතයන් වහන්සේගේ නිය මත තිබෙන පස් ප්‍රමාණයද විශාල මහා පොළවේ තිබෙන පස් ප්‍රමාණයද විශාල? " කියලා. භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා " ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ නිය මත තිබෙන පස් ස්වල්පයයි, මහපොළවෙ තිබෙන පස් ප්‍රමාණය විශාලයි " කියලා.
    බුදුරජාණන් වහන්සේ වදාලා " මහණෙනි, මනුෂ්‍ය ලෝකයේ ජීවත් වන අය අතරින් මරණයට පත්වූවාට පසුව නැවත මනුෂ්‍ය උපතක් ලබන්නෙ තථාගතයන් වහන්සේගේ නිය මත තිබෙන පස් ප්‍රමාණය තරමේ සුළු පිරිසක්. මහපොළවේ තිබෙන පස් ප්‍රමාණය තරමට විශාල පිරිසක් මරණින් පසුව නිරයේ උපදිනවා,ප්‍රේත ලෝක වල උපදිනවා,තිරිසන් ලෝකයේ උපදිනවා. " කියලා.
        එහෙම නම් ප්‍රේතයින් භූතයින් මෙතෙකැයි කියලා ගණන් කරන්න පුළුවන්ද ?  භූත ලෝකයෙත් මනුෂ්‍ය ලෝකයේ වගේම නොයෙක් හැකියාවන්ගෙන් යුක්ත අය ඉන්නවා. සියලු අමනුෂ්‍යයින් සතරවරම් දෙවියන්ගේ අණසක යටතේ පාලනය වූවත්, ඇතැම් අමනුෂ්‍යයෝ සතරවරම් දෙවියන්ගේ අණසකට පිටින් ක්‍රියාත්මක වෙනවා. මනුෂ්‍ය ලෝකයේ නායකයින්ගේ වචනයට, නීතියට පිටින් කටයුතු කරන අය වගේම තමයි. මනුෂ්‍ය ලෝකයේ වගේම හිතුවක්කාරයෝ අමනුෂ්‍ය ලෝකයෙත් ඉන්නවා. මනුෂ්‍ය ලෝකයේ වගේම හොඳ, නරක දෙගොල්ලොම අමනුෂ්‍ය ලෝකයේ ඉන්නවා.
   සමහර අමනුෂ්‍යයෝ මනුෂ්‍යයාට හිරිහැර කරමින් යන යන තැනට යනවා.සමහර අමනුෂ්‍යයෝ මිනිසුන්ගේ ශරීර තුළට ඇතුළු වෙලා ඒ අය යන යන තැන් වල යනවා. සමහර අමනුෂ්‍යයෝ මනුෂ්‍යයින්ගේ පිටුපසින් යනව. සමහරු හිටගෙන ඉන්නකොට අමනුෂ්‍යයෝත් ඒ අයත් එක්ක හිටගෙන ඉන්නවා. සමහරු නිදාගන්න කොට අමනුෂ්‍යයෝත් ඒ අයත් එක්ක නිදාගන්නවා. මේ බව ආටානාටිය සුත්‍රයේ පැහැදිලිව සඳහන් වෙනවා. 
      ගී ගැයීමේ හැකියාව උපතින්ම දායාද කොට ගත් තරුණියක් කාලයක් තිස්සේ අමනුෂ්‍ය පීඩාවකින් දුක්වින්දා. ගී ගැයීමේ හැකියාව උසස්ම මට්ටමක තිබුණත් එයින් කිසිම ප්‍රයෝජනයක් ලබාගන්න බැරිවුණා. නොයෙක් තරඟ වලට සහභාගී වුණත් ඒවායින් ජය ගන්න බැරි වුණා. තරඟයට සහභාගී වන අවස්ථා වලදී උගුර හිරවන ගතියක් දැනෙන්න  වුණා. කටහඬ වෙනස් වෙන්න ගත්තා. තරඟයකට සහභාගී වුණු හැම 
අවස්ථාවකදීම ගෙදර ආවේ දුකෙන්. දවසක් මේ තරුණියගේ යෙහෙළියක් කිව්වා " ඔයා දිනපතා පිරිත් කියන්න...ඔයාට තියෙන්නේ අමනුෂ්‍ය බලපෑමක්ද දන්නෙ නෑනේ..." කියලා. යෙහෙළියගේ අදහස ගැන ඒ තරම් විශ්වාසයක් ඇති නොවුණත් දවසක් මේ තරුණිය ගෙදර තිබුණු පිරිත් පොත අරගෙන රතන සුත්‍රය කියෙව්වා. පිරිත් කියලා නින්දට ගිය තරුණිය තමන්ගේ මියගිය ලොකු අම්මාව හීනෙන් දැක්කා.
    " මම උඹව මරණවා. උඹ හිතාගෙන ඉන්න දේවල් කරන්න මම උඹට ඉඩ දෙන්නෙ නෑ....." කියලා ලොකු අම්මා ඝෝරනාඩු කළා. කෑ ගහගෙන අවදි වුණු තරුණිය හීනෙන් දැක්ක දේ ගෙදර අයට කිව්වා. කාරණය දැනගත්තු ගෙදර අය මන්ත්‍රාචාර්යවරයෙක් මුණගැහිලා දෝෂය සහමුලින්ම දුරු කර ගත්තා. මේ තරුණියට බාධක අවහිර එල්ල කරළා තිබුණේ තම මවගේ මියගිය වැඩිමල් සහෝදරියයි. ලොකු අම්මා ජීවත්වෙලා ඉන්න කාලෙදිත් මේ තරුණිය සමග ගොඩක් ඊර්ශ්‍යාවෙන් තමයි ඉඳල තියෙන්නේ. ලොකු අම්මගේ දියණියත් මේ තරුණියගේ වයසෙමයි. හැම දේටම දෙන්නා අතරේ ලොකු තරඟයක් තිබුණා. අධ්‍යාපනයෙන් වගේම කලා කටයුතු වලිනුත් ඉදිරියෙන් හිටියේ මේ තරුණියයි. මේ ගැන ලොකු අම්මාගේ දියණිය තුළ කිසිම තරහක් ඊර්ශ්‍යාවක් නොතිබුණත්  ලොකු අම්මා නම් හිටියේ ගොඩක් තරහෙන්. මෙහෙම කාලයක් ගතවෙනකොට උසස් පෙළ විභාගය අත ළඟ තියෙද්දි ලොකු අම්මාගේ දුව තරුණයෙක් සමග පැනල ගියා. ලොකු අම්මා අංශභාගය හැදිලා ඔත්පල වෙලා දින කීපයකින් මියගියා.මේ විදියට මියගිය ලොකු අම්මා තමයි මේ දියණියගේ සාර්ථකත්වයට හරස් කැපුවේ.ලොකු අම්මාගේ බලපෑම ඉවත් කළාට පස්සේ තරුණියගේ කලා කටයුතු සාර්ථක වුණා. මේ වෙනකොට මේ තරුණිය බොහෝ දෙනෙක් දන්නා  කලාකාරියක්. 
    සමහර අමනුෂ්‍යයින්ගේ බලපෑම ලොකුවට නොපෙනුණාට සිද්ධවෙන හානිය විශාලයි. සමහරු නොයෙක් අසනීප, දුර්වලතා, අබාධ වලින් පීඩා විඳිනවා. අවුරුදු ගණනක් තිස්සේ ප්‍රතිකාර ගත්තත් සුවයක් නොලබන අය ඉන්නවා. තවත් අය තමන්ගේ හැකියාව ට දක්ෂතාවය ට සරිලන රැකියාවක් හෙව්වට හම්බවෙන්නෙ නෑ. යන තැන් වලින් කිසිම පිළිගැනීමක් නෑ. තමන්ගේ දක්ෂතාවය වටිනාකම පේන්නෙ නෑ. මේ වගේ දේවල් අමනුෂ්‍ය බලපෑම් හේතුවෙනුත් සිද්ද  වෙනවා.

Wednesday, March 25, 2015

අරුම පුදුම භූත ක්‍රියා 
අමනුෂ්‍ය බලපෑම් හැමෝටම බලපානවා ද?
පිරිත් වලින් අමනුෂ්‍ය බලපෑම් දුරු වෙනවාද ?
නිවසක නීච බන්ධනයක් තියෙන කොට මොකද වෙන්නේ ?

   වෙලාව හොඳ වුණාම බඹරෙ වැල්ලෙ ගැහුවත් කැරකෙනවා. වෙලාව නරක වුණාම හැම දෙයක්ම කණපිට පෙරළෙනවා. ගෙවල් වල තියෙන වාස්තු දෝෂ, හතුරො කරලා තියෙන කොඩිවින, අමනුෂ්‍ය බලපෑම් මේ හැම දෝෂයක්ම ක්‍රියාත්මක වෙන්නේ වෙලාව නරක් වුණාමයි. වෙලාව නරක්  වෙනවා කියන්නේ වාසනා බලය යටපත් කරන අපල කාලයක් ලබනවා කියන එකයි. අපල කාලයක් ලබනවා කියන්නේ පෙර පව් පලදෙන කාලයක් උදා වෙනවා කියන එකයි.
    භුතයින්ගේ සමහර වැඩ හරි පුදුමාකාරයි. ආවේගයක් ආවම සමහරු ක්‍රියා කරන්නේ අසිහියෙන් වගෙයි. අතට අහුවෙන ආයුධයෙන් කපනවා,කොටනවා. ඔක්කොම ඉවර වුණාම හිතනවා මෙහෙම වුණේ කොහොමද කියලා. සමහර භූතයෝ රුධිරයට ආසයි. ඒ භූතයෝ රුධිරය වැගිරෙන විදියේ කටයුතු වලට සමහරුන්ව පොලඹවනවා. වාහන පදවාගෙන යන අයගේ ශරීර තුළට ඇතුල් වන භූතයෝ වාහන ගෙවල් ඇතුළට පදවාගෙන යන අවස්ථා වගේම මිනිසුන් යට කරගෙන යන අවස්ථාත් තියෙනවා. 
      සමහරු අමනුෂ්‍ය බලපෑම් වලින් මිදෙන්න නොයෙක් ගිහි පැවිදි මන්ත්‍රාචාර්යවරුන් හොයාගෙන යනවා. හැබැයි බොහෝ විට ඔවුන් යොමු වන්නේ නිවැරදි මන්ත්‍රාචාර්යවරු වෙත නෙමෙයි. මේකත් අමනුෂ්‍යයින්ගේම වැඩක්. අමනුෂ්‍ය බලපෑමක් ඉවත් කරගන්න ශාන්තිකර්මයක් කරන්න හදන කොට එය කෙසේ හෝ කඩාකප්පල් කරන්න, නවත්වන්න අමනුෂ්‍යයෝ උත්සාහ කරනවා. දක්ෂ මන්ත්‍රාචාර්යවරයෙක් මුළින්ම කරන්නේ ශාන්තිකර්මයට පෙර අදාල නිවසේ පවතින අමනුෂ්‍ය බලපෑම නිවස තුළට සීමා කිරීමයි. 
     ඇතැම් අය නොයෙක් අමනාපකම්, කෝන්තර හේතුවෙන් අමනුෂ්‍යයින්ව නිවෙස් වලට බන්ධනය කරනවා. යම් කිසි නිවසකට අමනුෂ්‍යයෙක්ව බන්ධනය කළොත් ඒ අමනුෂ්‍යයා නිවසටත් නිවසේ සාමාජිකයින්ටත් කරදර හිරිහැර කරමින් රැඳිලා ඉන්නවා. විවාහ වන වයසේ ඉන්න තරුණ තරුණියන්ගේ විවාහ කටයුතු කඩාකප්පල් කරනවා. ආර්ථිකය දුර්වල කරනවා. ව්‍යාපාර බංකොළොත් කරනවා. නොයෙක් අසනීප මතු කරනවා. සමහර විට පවුලේ මිය ගිය ඥාතියෙක් විදියට රඟපාමින් පවුලේ කෙනෙකුට ආරූඩ වෙන්නත් පුළුවන්. එහෙම අවස්ථා ඕනැ තරම් අත්දකින්න ලැබිලා තියෙනවා. තමන්ගේ ඥාතියා වරමක් දෙන්න ඇවිත් කියලා රැවටෙන අය ඉන්නවා. මේ වගේ අවස්ථාවල යකැදුරොත් රැවටෙන්න පුළුවන්. මොකද අමනුෂ්‍යයා හැසිරෙන්නේ, කතා කරන්නේ මිය ගිය ඥාතියා විදියටමයි.
      සමහරු සියදිවි නසාගන්න පෙළඹෙනවා. මට මැරෙන්නමයි හිතෙන්නේ කිය කියා කළකිරීමෙන් ඉන්න අය අපට හමුවෙනවා. මැරෙන්න තරම් ප්‍රශ්නයකුත් නෑ. ඒත් අමනුෂ්‍යයෝ හිත කළකිරවලා, ඔළුව විකාර කරලා  ඒ තත්වයට පොළඹවනවා.
    "දොස්තරවරු කියන්නෙම මගේ ඇඟේ ලෙඩක් නෑ කියලමයි...ඒත් මගේ ඇඟේ තියෙන අමාරුව දන්නෙ මමනේ..." ඔය විදියට කියන අය ඉන්නවා. දැන් බටහිර මනෝ වෛද්‍යවරු කීප දෙනෙක් පත්තර වල ලියනවා භූතයෝ නෑ, ප්‍රේතයෝ නෑ, මැරුණට පස්සේ මැරුණු කෙනා එතනින් ඉවරයි, ඔක්කොම තියෙන්නේ හිතේ කියලා. මැරුණු කෙනා එතනින් පස්සේ නැවත උපතක් නොලබනවා කියන බටහිර මනෝ විද්‍යාව සකස් වෙලා තියෙන්නේ මොන ආගමට, මොන සංකල්පයට වාසිදායක විදියට දැයි අවබෝධ කරගැනීම අපහසු නෑ. යාඥාවෙන්, දේව බලයෙන් ලෙඩ සුවකිරීම ගැන වචනයක් කතා නොකරන ඔය මනෝවෛද්‍යවරු බැට දෙන්නේ මොන දර්ශනයටද, කාගේ දේශනාවන්ටද කියන එකත් ප්‍රඥාවන්තයෝ දන්නවා.
     මෛත්‍රී භාවනාව හෙවත් මෙත් වැඩීම අමනුෂ්‍යයින් ව මර්දනය කරගැනීමට බොහෝ සෙයින් උපකාරී වෙනවා. ඒ සඳහා හොඳම උදාහරණයක් තමයි මේ. එක්තරා කාන්තාවක් ලියුකේමියා රෝගයට ප්‍රතිකාර ගත්තා.කාලයක් ප්‍රතිකාර ගත්තත් සුවයක් ලැබුණේ නෑ. තවත් කරන්න යමක් නැති බවත්, රෝගියා ජිවත්වන කාල සීමාව ක්‍රමයෙන් අඩුවමින් පවතින බවත් වෛද්‍යවරු පවුලේ අයට දැනුම් දුන්නා. පස්සේ පවුලට හිතවත් ස්වාමීන්වහන්සේ නමකගේ උපදෙස් අනුව රෝගී කාන්තාව මෛත්‍රී භාවනාව වඩන්න පටන්ගත්තා. මෛත්‍රී භාවනාව වඩන කොට ඇයට දැනුණා ශරීරය ඇතුලේ ඉන්න යම් බලවේගයක් තමන්ට දැඩි පීඩනයක් එල්ල කරන බව. මේ බව ස්වාමීන්වහන්සේට පැවසුවා. ස්වාමීන්වහන්සේ උපදෙස් දුන්නා ශරීරය තුළ යම් අමනුෂ්‍යයෙක් ඉන්නවා නම් ඒ අමනුෂ්‍යයාටත් මෛත්‍රිය වඩන්න කියලා. නොකඩවා මෛත්‍රිය වඩන කොට අමනුෂ්‍යයාට ඒක දරාගන්න බැරුව ශරීරයෙන් ඉවත් වුණා. ලියුකේමියා රෝගයෙන් මැරෙන්න ගිය කාන්තාව සුවපත්වීම ගැන වෛද්‍යවරු පවා පුදුමයට පත්වුණා.  සමහර අමනුෂ්‍යයින් ශරීර තුළට ඇතුල් වෙලා රුධිරය ආහාරයට ගන්නවා.මේ වගේ අවස්ථා වලදි වෛද්‍යවරු පවා නොමග යනවා.
         නිවසක නීච බන්ධනයක් තියෙනවා නම් නිවසේ සාමාජිකයෝ නීච වෙනවා.ගෙදර ඉඳලා මොන වැඩේට ගියත් ඒ වැඩේ කඩාකප්පල් වෙනවා. ගෙදරට එන අයට වැඩි වෙලාවක් රැඳෙන්න හිත දෙන්නේ නෑ. අද හිනහ වෙලා යන අය පහුවදාට අහක බලාගෙන යනවා. ගෞරවයට හානි වන විදියේ දේවල් සිද්දවෙනවා.අහක යන දේවල් පැටලෙනවා.පහත් කතා අහන්න සිද්දවෙනවා. මේ වගේ වෙලාවට කල්පනාවෙන් කටයුතු කරන්න ඕනෑ. අත්දැකීම් බහුල දැනුම ඇති අයෙක් ලවා පිළියම් යොදාගන්න ඕනැ.
     අමනුෂ්‍ය බලපෑම් හැමෝටම බලපානවද ? හැමෝටම බලපාන්නේ නැත්නම් බලපාන්නේ මොන වගේ අයටද? මේ විදියේ ප්‍රශ්න බොහෝ දෙනෙකුට තියෙනවා. සෑම කෙනෙක්ගේම ශරීරය වටා රැස් වළල්ලක් පවතිනවා. ඉංග්‍රීසියෙන් මේකට Aura කියල කියනවා. අජීවී වස්තූන් වටාත් මේක තියෙනවා.මේ රැස් දහර අපේ ඇස් වලට පේන්නේ නෑ. දැන් ඉන්න උගතුන්ටත් වඩා පුරාණාචාර්යවරු මේ ගැන දැනගෙන හිටියා. සෙනසුරු අපලය තියෙනවා නම් නුග ගහකට සාත්තු කරන්න කිව්වේ නිකම් නෙමෙයි. නුග ගසෙන් නිකුත්වන කිරණ මගින් සෙනසුරු ග්‍රහයාගෙන් එල්ල වන කිරණ දුර්වල කරනවා. චෛත්‍යයේ කොතට චූඩා මානික්‍යයක් පැළැන්දුවෙත් නිකම් නෙමෙයි. අකුණු ඉවතට හැරවීමේ බලයක් චූඩා මානික්‍යයෙන් නිකුත් කරන කිරණ සතුව තියෙනවා.ඔන්න ඔය විදියට මනුෂ්‍යන්ගේ ශරීරය වටාත් රැස් දහරක් තියෙනවා. මේ රැස් දහර හැමෝගෙම එකම විදියට නෑ. මානසික සන්සුන්තාවය, සිතුවිලි, කරන කියන කටයුතු, චිත්ත ශක්තිය, හැසිරීම ආදිය අනුව මේ රැස් දහර පුද්ගලයා ගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා.පාපතර කටයුතු වලම යෙදෙන, මානසික සන්සුන්තාවයක් නැති, අවබෝධතා ඥානය අඩු අයගේ රැස් දහර දුර්වලයි, කඩතොළු සහිතයි. මේ වගේ අයගේ රැස් දහර බිඳගෙන අමනුෂ්‍යයින්ට ඇතුල්වෙන්න පුළුවන්. වරමින් සාස්තර කියන අය දිහා බලන්නකො. උගත් කමක් නෑ, පිරිසිදුකමක් නෑ, හරියට කතාකරන්න දන්නෙ නෑ, ඉන්න තැන පිරිසිදුකමකුත් නෑ. කියන්නේ අහවල් දේව වරමින් සාස්තර කියනු ලැබේ කියලයි. ඇඟේ ඉන්නෙ මළ පෙරේතයෙක්.  
      අමනුෂ්‍ය බලපෑම් වලින් මිදීම සඳහා භාවිතා කළ හැකි හොඳම ප්‍රතිකර්මයක් තමයි මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාවෙන් කෙනෙකුට ලැබෙන ආනිශංස එකොළහක් මෙත්තානිශංස සූත්‍රයේ සඳහන් වෙනවා.
01 සුවසේ නිදාගන්න හැකිවෙනවා.
02 සුවසේ අවදිවන්න ලැබෙනවා.
03 අසුභ සිහින දැකීමෙන් වළකිනවා.
04 මනුෂ්‍යයින්ට ප්‍රිය වෙනවා.
05 අමනුෂ්‍යයින්ට ප්‍රිය වෙනවා.
06 දෙවියෝ ආරක්ෂා කරනවා.
07 ගින්නෙන්,ආයුධ වලින්, වෂ විෂෙන් ඇතිවන හානි වලකිනවා.
08 සිත සමාධිගත වෙනවා.
09 මුහුණ පැහැපත් වෙනවා.
10 ශාන්ත මරණයක් අත්වෙනවා.
11 මරණින් මතු බ්‍රහ්ම ලොව උපදිනවා.
      පිරිත් භාවිතයෙනුත් අමනුෂ්‍ය බලපෑම් දුරු වෙනවා. රතන සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය, ජලනන්දනය,ගිනි පිරිත,අටවිසි පිරිත ආදී පිරිත් නිතර භක්තිමත්ව භාවිතා කිරීමෙන් අමනුෂ්‍ය බලපෑම් දුරු වෙනවා. දෙවියන්ගේ පිහිට ලැබෙනවා.
   අමනුෂ්‍ය බලපෑම්, අනවින කොඩිවින ඉවත් කරගන්නා ක්‍රම ගැන ඉදිරියේදී තව දුරටත් කතා කරමු.


ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය 
දේශමාන්‍ය ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර 

Monday, February 16, 2015

දෙවියන් පැහැදෙන විශේෂ දානය 
 මුරුතැන් දානය 
හදන්නේ මෙහෙමයි.

   මුරුතැන් දානය ගැන ගොඩක් දෙනෙක් දන්නවා. මුරුතැන් දානයේ රස බලන්නත් බොහෝ දෙනෙක් කැමතියි. සෑම ප්‍රධාන පෙළේ දේවාලයකම මුරුතැන් දානය සකස් කර දෙවියන්ට පූජා කරනවා. මේ සඳහා පින්වත් බැතිමතුන්  දායකත්වය ලබා දෙනවා. දෙවියන් උදෙසා මුරුතැන් දානය පිළිගැන්වීමෙන් මහත් සෙතක් ශාන්තියක් අත්වෙනවා. දෙවියන්ට දානය පූජා කිරීමෙන් අනතුරුව ඉතිරිය බැතිමතුන් අතර බෙදා දීම සිදුකරනවා. 
   මුරුතැන් දානය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය.

කැකුළු හාල්  කිලෝ 04 යි.
කිතුල් හකුරු කිලෝ  04 යි.
කජු මද කිලෝ  01 යි.
වියළි මිදි  ග්‍රෑම්  500 යි.
මුංඇට  ග්‍රෑම් 500 යි.
එනසාල් කරල් 50 ක් පමණ.
බටර් 1/2 යි.
පොල් ගෙඩි 08 යි.

 දානය පිළියෙළ කිරීම.

 පොල් සිහින්ව ගාගෙන මිරිකා කිරි ටික භාජනයකට දමා පැසෙන්නට තියන්න.  සෝදා ගත කැකුළු හාල් පැසෙන කිරට දමන්න. තම්බා ගත් මුංඇට ඉදීගෙන එන බතට එක් කරන්න.  සිහින්ව කපාගත් හකුරු, කැබලි කරගත් කජු මද, එනසාල්  හා  වියළි මුද්දරප්පලම් ද කිරිබතට එක් කරන්න. බටර් අවශ්‍ය ප්‍රමාණයට මිශ්‍ර කරන්න.  දානය නිවුණාට පසුව කොටසක් දේව පූජාවට තබන්න.
      දානය පිළියෙළ කිරීමේදී හිස සහ මුඛය සුදු හෝ කහ පැහැති රෙදිවලින් ආවරණය කරගෙන සිටිය යුතුය. මුරුතැන් දානය සතුන්ට කෑමට නොදිය යුතු බවද  මතක තබා ගත යුතුය. 

             ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය 
    දේශමාන්‍ය ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර 

Thursday, January 15, 2015

හරියටම හරියන්න 
පොල් ගහන්නේ කොහොමද ?

   පොල් ගැහීම හරි ජනප්‍රියයි.  සමහරු පොඩි දේටත් පොල් ගහනවා. දේශපාලන ක්ෂේත්‍රය තුළත් පොල් ගැහීම ජනප්‍රියයි. තමන් කැමති අය දිනවන්න, අකමැති අය පරාද කරන්න, සතුරන් ට දඬුවම් දෙන්න, බලාපොරොත්තු ඉෂ්ටකරගන්න, නඩු දිනන්න, රවට්ටලා ගිය අයට පාඩම් උගන්නන්න, දාලා ගිය අය ආපහු ගෙන්වා ගන්න පොල් ගහනවා. ඔය විදියට පොල් ගැහුවට බලාපොරොත්තු වෙන දේ ඒ විදියටම වෙනවද? එහෙම වෙන අවස්ථාත් තියෙනවා. ඒත් ගොඩක් වෙලාවට අසාර්ථකයි. මෙහෙම වෙන්නෙ ඇයි? මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රයට අනුව නිවැරදිව පොල් ගහන්නේ කොහොමද කියලා බලමු.
      පොල් ගහන්න සුදුසුම දවස් දෙක තමයි අඟහරුවාදා සහ සිකුරාදා. හොඳ වැඩ වලට පොල් ගහන ක්‍රමයයි නරක වැඩ වලට පොල් ගහන ක්‍රමයයි වෙනස්. හොඳ වැඩ කියන්නේ විභාග සමත් වෙන්න, රැකියා ලබාගන්න, ජයග්‍රහණය උදාකරගන්න, පවුලේ සමගිය ඇතිකරගන්න වගේ දේවල්. නරක වැඩ කියන්නේ සතුරන්ට දඬුවම් කිරීම, භේද භින්න කිරීම, වෙන් කිරීම, පරාජයට පත්කිරීම වගේ දේවල්. 
         හොඳ වැඩ වලට පොල් ගහන්නෙ විෂ්ණු, පත්තිනි, කතරගම, සමන්, විභීෂණ, ඊශ්වර ආදී දෙවියන් ඉදිරියේ යි. නරක වැඩ වලට පොල් ගහන්නේ කාලි, දුර්ගා, කඩවර, සූනියන්, දෙවොල් ආදී දෙවි දේවතාවුන් ඉදිරියේ යි.
          පොල් ගැහීමේදී පොල් ගෙඩිය අතින් ගිලිහී යන ලෙස පොල් ගැහීම නිවැරදි ක්‍රමය නෙමෙයි. පොල් ගෙඩිය අතින් ගිලිහෙද්දී ශරීරයයි පොල් ගෙඩියයි අතර ආකර්ෂණ ශක්තිය බිඳ වැටෙනවා. පොල් ගෙඩිය අතේ තබාගෙනම ගැසීම නිවැරදි ක්‍රමයයි. ඒ වගේම මතක තබා ගත යුතු තවත් විශේෂ කාරණයක් තියෙනවා. හොඳ වැඩ වලට දකුණු අතිනුත් නරක වැඩ වලට වම් අතිනුත් පොල් ගැසිය යුතුයි.
   යහපත් කටයුතු සඳහා පොල් ගැසීමේදී පොල් ගෙඩියේ මුඩ්ඩ ඉවත් නොකර ගෙඩිය කහ දියෙන් සෝදා ගත යුතුයි. පොල් ගසන ස්ථානයේ ඊශාන දිශාවෙන් අබ තෙල් පහනක් දැල්විය යුතුයි. පොල් ගෙඩිය මත කපුරු පෙත්තක් දල්වා, තම අදහස දෙවියන් ඉදිරියේ පවසා, එය ඉටුකර දෙනමෙන් ඉල්ලා දකුණු අතින් පොල් ගෙඩිය ගැසිය යුතුයි. පොල් ගැසීමට පෙර පලතුරු පස් වර්ගයක් සමග පූජා වට්ටියක් දෙවියන්ට පිදිය යුතුයි. 
  අයහපත් කටයුතු සඳහා පොල් ගැසීමේදී ගෙඩියේ මුඩ්ඩ ඉවත් කළ යුතුයි.  දුර්ගා දේවි, සොහොන් කාලි, ගිනි කාලි, යම කාලි, ලේ කාලි වැනි දෙවඟනක් ඉදිරියේ පොල් ගැසීම වඩාත් සාර්ථක වේ. මේ සඳහා කුජ  හෝරාව යොදා ගැනීමද වඩාත් යහපත් ය. මෙහිදී අමු පලතුරු වර්ග පහක් සහිත පූජා වට්ටියක් තැබිය යුතුයි. අමු ඇඹරැල්ල, අමු නෙල්ලි, අමු අන්නාසි, අමු අඹ, අමු නාරං ආදිය මේ සඳහා සුදුසුයි.  දෙහි ගෙඩි තුනක් ගෙන ඒවා දෙකට කපා දෙහි බෑ පහක් ගෙන ඒවා අනිත් පිට හරවා ඒ මතට තෙල් යොදා කපු පුළුන් වැටි යොදා දැල්විය යුතුයි. දෙහි ගෙඩි හතක මාලයක්ද සාදා දෙවියන් ඉදිරියේ තැබිය යුතුයි. සතුරාගේ නමේ අකුරු දෙකෙන් බෙදීමට හැකි ලෙස ගළපා පොල් ගෙඩිය මත කුකුල් ලෙයින් ලිවිය යුතුයි.
   මෙහිදී හෙළි කළ නොහැකි රහසක්ද තිබෙනවා.  පොල් ගෙඩියේ ඇහි තුන විශේෂ ඖෂධ සංයෝගයකින් කළු කර ගතයුතුයි. ඖෂධ සංයෝගය කාලි ස්තොත්‍රයකින් ජීවම් කරගෙන එයින් තේ හැන්දක් කොහොඹ තෙල් පහනකට දමා එහි දැල්ලට ඇහි තුන අල්ලා කළු කර ගත යුතුයි. 
     අහවල් පුස්කොළ පොතින් හම්බ වුණා, පරම්පරාවෙ පොතක තිබුණා ආදී වශයෙන් නොයෙක් බොරු කියමින් ජනතාව මුලා කරන ව්‍යාජ මන්ත්‍ර කරුවන් ගහක් ගලක් ගානේ සිටින බැවින් ඇතැම් කරුණු හෙළි නොකරන බවත්, අත්‍යවශ්‍ය කාරණයකදී යම් කෙනෙකුට අවශ්‍යනම් පෞද්ගලිකව අසා දැනගත හැකි බවත් දන්වමි.
          ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය 
            සංජීව කුළුපන බණ්ඩාර