මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය.

මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය.
මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය ලෝකයේ ප්‍රබලම මන්ත්‍ර ශාස්ත්‍රයයි . මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රයේ වැදගත්ම අංගය වන්නේ සිද්ධි ලබාගැනීමයි . කාලි ,ගණපති ,මාඩ ශාමි ,භගවතී ආදී සිද්ධි ලබාගැනීමෙන් තොරව මලයාලි ගුරුකම් කල නොහැක .මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය සම්බන්ධයෙන් මා ජ්‍යොතිෂ පුවත්පතකට ලිපි මාලාවක් ලියු අතර ඊට මහත් ජනතා ප්‍රතිචාර ලැබුණි .එම ලිපි මාලාව තුලින් මා හෙළි කළේ මාගේ මුත්තා විසින් කරන ලද විස්මිත ගුරුකම් ගැනය . මාගේ මුත්තා මලයාලි මන්තර ශාස්ත්‍රය ඉගෙනගෙන ඇත්තේ "වේණු ශාමි" නම් කේරළ මන්ත්‍රාචාර්යවරයෙක් ගෙනි . අද බොහෝ දෙනෙක් "මලයාලි ගුරුකම්" කරන බව පැවසුවද ඔවුන් මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රයේ මුලික අංග වත් නොදනී. වරු තුනෙන්, දින තුනෙන් වශී ගුරුකම් කරන බව පවසමින් පුවත්පත් වල පලකරන දැන්වීම් ප්‍රමාණය සුළුපටු නොවේ. කෙනෙක් වෙත කෙනෙක්ගේ සිත ගිය පමණින් වශිකරගැනීමට හැකිනම් ලෝකයේ ඕනෑම කෙනෙක්ව ඕනෑම කෙනෙකුට වශී කරගැනීමට හැකිය. මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය තුළ වශී ගුරුකම් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු විශේෂ විධි,ක්‍රම පවතී. මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය ගැන සියලු විස්තර ,තොරතුරු නිවැරදිව හෙළිකර දෙමින්, පුර්ණ අවබෝධයක් ඔබට ලබාදීමට මම අදහස් කළෙමි. මෙතැන් පටන් පලවන සියලු විස්තර කියවා දැනුම අවබෝධය ලබාගන්නා ලෙසත් , ව්‍යාජ මන්ත්‍ර කරුවන්ට නොරැවටී සිටින ලෙසත් ඉල්ලා සිටිමි.

Wednesday, March 25, 2015

අරුම පුදුම භූත ක්‍රියා 
අමනුෂ්‍ය බලපෑම් හැමෝටම බලපානවා ද?
පිරිත් වලින් අමනුෂ්‍ය බලපෑම් දුරු වෙනවාද ?
නිවසක නීච බන්ධනයක් තියෙන කොට මොකද වෙන්නේ ?

   වෙලාව හොඳ වුණාම බඹරෙ වැල්ලෙ ගැහුවත් කැරකෙනවා. වෙලාව නරක වුණාම හැම දෙයක්ම කණපිට පෙරළෙනවා. ගෙවල් වල තියෙන වාස්තු දෝෂ, හතුරො කරලා තියෙන කොඩිවින, අමනුෂ්‍ය බලපෑම් මේ හැම දෝෂයක්ම ක්‍රියාත්මක වෙන්නේ වෙලාව නරක් වුණාමයි. වෙලාව නරක්  වෙනවා කියන්නේ වාසනා බලය යටපත් කරන අපල කාලයක් ලබනවා කියන එකයි. අපල කාලයක් ලබනවා කියන්නේ පෙර පව් පලදෙන කාලයක් උදා වෙනවා කියන එකයි.
    භුතයින්ගේ සමහර වැඩ හරි පුදුමාකාරයි. ආවේගයක් ආවම සමහරු ක්‍රියා කරන්නේ අසිහියෙන් වගෙයි. අතට අහුවෙන ආයුධයෙන් කපනවා,කොටනවා. ඔක්කොම ඉවර වුණාම හිතනවා මෙහෙම වුණේ කොහොමද කියලා. සමහර භූතයෝ රුධිරයට ආසයි. ඒ භූතයෝ රුධිරය වැගිරෙන විදියේ කටයුතු වලට සමහරුන්ව පොලඹවනවා. වාහන පදවාගෙන යන අයගේ ශරීර තුළට ඇතුල් වන භූතයෝ වාහන ගෙවල් ඇතුළට පදවාගෙන යන අවස්ථා වගේම මිනිසුන් යට කරගෙන යන අවස්ථාත් තියෙනවා. 
      සමහරු අමනුෂ්‍ය බලපෑම් වලින් මිදෙන්න නොයෙක් ගිහි පැවිදි මන්ත්‍රාචාර්යවරුන් හොයාගෙන යනවා. හැබැයි බොහෝ විට ඔවුන් යොමු වන්නේ නිවැරදි මන්ත්‍රාචාර්යවරු වෙත නෙමෙයි. මේකත් අමනුෂ්‍යයින්ගේම වැඩක්. අමනුෂ්‍ය බලපෑමක් ඉවත් කරගන්න ශාන්තිකර්මයක් කරන්න හදන කොට එය කෙසේ හෝ කඩාකප්පල් කරන්න, නවත්වන්න අමනුෂ්‍යයෝ උත්සාහ කරනවා. දක්ෂ මන්ත්‍රාචාර්යවරයෙක් මුළින්ම කරන්නේ ශාන්තිකර්මයට පෙර අදාල නිවසේ පවතින අමනුෂ්‍ය බලපෑම නිවස තුළට සීමා කිරීමයි. 
     ඇතැම් අය නොයෙක් අමනාපකම්, කෝන්තර හේතුවෙන් අමනුෂ්‍යයින්ව නිවෙස් වලට බන්ධනය කරනවා. යම් කිසි නිවසකට අමනුෂ්‍යයෙක්ව බන්ධනය කළොත් ඒ අමනුෂ්‍යයා නිවසටත් නිවසේ සාමාජිකයින්ටත් කරදර හිරිහැර කරමින් රැඳිලා ඉන්නවා. විවාහ වන වයසේ ඉන්න තරුණ තරුණියන්ගේ විවාහ කටයුතු කඩාකප්පල් කරනවා. ආර්ථිකය දුර්වල කරනවා. ව්‍යාපාර බංකොළොත් කරනවා. නොයෙක් අසනීප මතු කරනවා. සමහර විට පවුලේ මිය ගිය ඥාතියෙක් විදියට රඟපාමින් පවුලේ කෙනෙකුට ආරූඩ වෙන්නත් පුළුවන්. එහෙම අවස්ථා ඕනැ තරම් අත්දකින්න ලැබිලා තියෙනවා. තමන්ගේ ඥාතියා වරමක් දෙන්න ඇවිත් කියලා රැවටෙන අය ඉන්නවා. මේ වගේ අවස්ථාවල යකැදුරොත් රැවටෙන්න පුළුවන්. මොකද අමනුෂ්‍යයා හැසිරෙන්නේ, කතා කරන්නේ මිය ගිය ඥාතියා විදියටමයි.
      සමහරු සියදිවි නසාගන්න පෙළඹෙනවා. මට මැරෙන්නමයි හිතෙන්නේ කිය කියා කළකිරීමෙන් ඉන්න අය අපට හමුවෙනවා. මැරෙන්න තරම් ප්‍රශ්නයකුත් නෑ. ඒත් අමනුෂ්‍යයෝ හිත කළකිරවලා, ඔළුව විකාර කරලා  ඒ තත්වයට පොළඹවනවා.
    "දොස්තරවරු කියන්නෙම මගේ ඇඟේ ලෙඩක් නෑ කියලමයි...ඒත් මගේ ඇඟේ තියෙන අමාරුව දන්නෙ මමනේ..." ඔය විදියට කියන අය ඉන්නවා. දැන් බටහිර මනෝ වෛද්‍යවරු කීප දෙනෙක් පත්තර වල ලියනවා භූතයෝ නෑ, ප්‍රේතයෝ නෑ, මැරුණට පස්සේ මැරුණු කෙනා එතනින් ඉවරයි, ඔක්කොම තියෙන්නේ හිතේ කියලා. මැරුණු කෙනා එතනින් පස්සේ නැවත උපතක් නොලබනවා කියන බටහිර මනෝ විද්‍යාව සකස් වෙලා තියෙන්නේ මොන ආගමට, මොන සංකල්පයට වාසිදායක විදියට දැයි අවබෝධ කරගැනීම අපහසු නෑ. යාඥාවෙන්, දේව බලයෙන් ලෙඩ සුවකිරීම ගැන වචනයක් කතා නොකරන ඔය මනෝවෛද්‍යවරු බැට දෙන්නේ මොන දර්ශනයටද, කාගේ දේශනාවන්ටද කියන එකත් ප්‍රඥාවන්තයෝ දන්නවා.
     මෛත්‍රී භාවනාව හෙවත් මෙත් වැඩීම අමනුෂ්‍යයින් ව මර්දනය කරගැනීමට බොහෝ සෙයින් උපකාරී වෙනවා. ඒ සඳහා හොඳම උදාහරණයක් තමයි මේ. එක්තරා කාන්තාවක් ලියුකේමියා රෝගයට ප්‍රතිකාර ගත්තා.කාලයක් ප්‍රතිකාර ගත්තත් සුවයක් ලැබුණේ නෑ. තවත් කරන්න යමක් නැති බවත්, රෝගියා ජිවත්වන කාල සීමාව ක්‍රමයෙන් අඩුවමින් පවතින බවත් වෛද්‍යවරු පවුලේ අයට දැනුම් දුන්නා. පස්සේ පවුලට හිතවත් ස්වාමීන්වහන්සේ නමකගේ උපදෙස් අනුව රෝගී කාන්තාව මෛත්‍රී භාවනාව වඩන්න පටන්ගත්තා. මෛත්‍රී භාවනාව වඩන කොට ඇයට දැනුණා ශරීරය ඇතුලේ ඉන්න යම් බලවේගයක් තමන්ට දැඩි පීඩනයක් එල්ල කරන බව. මේ බව ස්වාමීන්වහන්සේට පැවසුවා. ස්වාමීන්වහන්සේ උපදෙස් දුන්නා ශරීරය තුළ යම් අමනුෂ්‍යයෙක් ඉන්නවා නම් ඒ අමනුෂ්‍යයාටත් මෛත්‍රිය වඩන්න කියලා. නොකඩවා මෛත්‍රිය වඩන කොට අමනුෂ්‍යයාට ඒක දරාගන්න බැරුව ශරීරයෙන් ඉවත් වුණා. ලියුකේමියා රෝගයෙන් මැරෙන්න ගිය කාන්තාව සුවපත්වීම ගැන වෛද්‍යවරු පවා පුදුමයට පත්වුණා.  සමහර අමනුෂ්‍යයින් ශරීර තුළට ඇතුල් වෙලා රුධිරය ආහාරයට ගන්නවා.මේ වගේ අවස්ථා වලදි වෛද්‍යවරු පවා නොමග යනවා.
         නිවසක නීච බන්ධනයක් තියෙනවා නම් නිවසේ සාමාජිකයෝ නීච වෙනවා.ගෙදර ඉඳලා මොන වැඩේට ගියත් ඒ වැඩේ කඩාකප්පල් වෙනවා. ගෙදරට එන අයට වැඩි වෙලාවක් රැඳෙන්න හිත දෙන්නේ නෑ. අද හිනහ වෙලා යන අය පහුවදාට අහක බලාගෙන යනවා. ගෞරවයට හානි වන විදියේ දේවල් සිද්දවෙනවා.අහක යන දේවල් පැටලෙනවා.පහත් කතා අහන්න සිද්දවෙනවා. මේ වගේ වෙලාවට කල්පනාවෙන් කටයුතු කරන්න ඕනෑ. අත්දැකීම් බහුල දැනුම ඇති අයෙක් ලවා පිළියම් යොදාගන්න ඕනැ.
     අමනුෂ්‍ය බලපෑම් හැමෝටම බලපානවද ? හැමෝටම බලපාන්නේ නැත්නම් බලපාන්නේ මොන වගේ අයටද? මේ විදියේ ප්‍රශ්න බොහෝ දෙනෙකුට තියෙනවා. සෑම කෙනෙක්ගේම ශරීරය වටා රැස් වළල්ලක් පවතිනවා. ඉංග්‍රීසියෙන් මේකට Aura කියල කියනවා. අජීවී වස්තූන් වටාත් මේක තියෙනවා.මේ රැස් දහර අපේ ඇස් වලට පේන්නේ නෑ. දැන් ඉන්න උගතුන්ටත් වඩා පුරාණාචාර්යවරු මේ ගැන දැනගෙන හිටියා. සෙනසුරු අපලය තියෙනවා නම් නුග ගහකට සාත්තු කරන්න කිව්වේ නිකම් නෙමෙයි. නුග ගසෙන් නිකුත්වන කිරණ මගින් සෙනසුරු ග්‍රහයාගෙන් එල්ල වන කිරණ දුර්වල කරනවා. චෛත්‍යයේ කොතට චූඩා මානික්‍යයක් පැළැන්දුවෙත් නිකම් නෙමෙයි. අකුණු ඉවතට හැරවීමේ බලයක් චූඩා මානික්‍යයෙන් නිකුත් කරන කිරණ සතුව තියෙනවා.ඔන්න ඔය විදියට මනුෂ්‍යන්ගේ ශරීරය වටාත් රැස් දහරක් තියෙනවා. මේ රැස් දහර හැමෝගෙම එකම විදියට නෑ. මානසික සන්සුන්තාවය, සිතුවිලි, කරන කියන කටයුතු, චිත්ත ශක්තිය, හැසිරීම ආදිය අනුව මේ රැස් දහර පුද්ගලයා ගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා.පාපතර කටයුතු වලම යෙදෙන, මානසික සන්සුන්තාවයක් නැති, අවබෝධතා ඥානය අඩු අයගේ රැස් දහර දුර්වලයි, කඩතොළු සහිතයි. මේ වගේ අයගේ රැස් දහර බිඳගෙන අමනුෂ්‍යයින්ට ඇතුල්වෙන්න පුළුවන්. වරමින් සාස්තර කියන අය දිහා බලන්නකො. උගත් කමක් නෑ, පිරිසිදුකමක් නෑ, හරියට කතාකරන්න දන්නෙ නෑ, ඉන්න තැන පිරිසිදුකමකුත් නෑ. කියන්නේ අහවල් දේව වරමින් සාස්තර කියනු ලැබේ කියලයි. ඇඟේ ඉන්නෙ මළ පෙරේතයෙක්.  
      අමනුෂ්‍ය බලපෑම් වලින් මිදීම සඳහා භාවිතා කළ හැකි හොඳම ප්‍රතිකර්මයක් තමයි මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාවෙන් කෙනෙකුට ලැබෙන ආනිශංස එකොළහක් මෙත්තානිශංස සූත්‍රයේ සඳහන් වෙනවා.
01 සුවසේ නිදාගන්න හැකිවෙනවා.
02 සුවසේ අවදිවන්න ලැබෙනවා.
03 අසුභ සිහින දැකීමෙන් වළකිනවා.
04 මනුෂ්‍යයින්ට ප්‍රිය වෙනවා.
05 අමනුෂ්‍යයින්ට ප්‍රිය වෙනවා.
06 දෙවියෝ ආරක්ෂා කරනවා.
07 ගින්නෙන්,ආයුධ වලින්, වෂ විෂෙන් ඇතිවන හානි වලකිනවා.
08 සිත සමාධිගත වෙනවා.
09 මුහුණ පැහැපත් වෙනවා.
10 ශාන්ත මරණයක් අත්වෙනවා.
11 මරණින් මතු බ්‍රහ්ම ලොව උපදිනවා.
      පිරිත් භාවිතයෙනුත් අමනුෂ්‍ය බලපෑම් දුරු වෙනවා. රතන සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය, ජලනන්දනය,ගිනි පිරිත,අටවිසි පිරිත ආදී පිරිත් නිතර භක්තිමත්ව භාවිතා කිරීමෙන් අමනුෂ්‍ය බලපෑම් දුරු වෙනවා. දෙවියන්ගේ පිහිට ලැබෙනවා.
   අමනුෂ්‍ය බලපෑම්, අනවින කොඩිවින ඉවත් කරගන්නා ක්‍රම ගැන ඉදිරියේදී තව දුරටත් කතා කරමු.


ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය 
දේශමාන්‍ය ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර