මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය.

මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය.
මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය ලෝකයේ ප්‍රබලම මන්ත්‍ර ශාස්ත්‍රයයි . මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රයේ වැදගත්ම අංගය වන්නේ සිද්ධි ලබාගැනීමයි . කාලි ,ගණපති ,මාඩ ශාමි ,භගවතී ආදී සිද්ධි ලබාගැනීමෙන් තොරව මලයාලි ගුරුකම් කල නොහැක .මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය සම්බන්ධයෙන් මා ජ්‍යොතිෂ පුවත්පතකට ලිපි මාලාවක් ලියු අතර ඊට මහත් ජනතා ප්‍රතිචාර ලැබුණි .එම ලිපි මාලාව තුලින් මා හෙළි කළේ මාගේ මුත්තා විසින් කරන ලද විස්මිත ගුරුකම් ගැනය . මාගේ මුත්තා මලයාලි මන්තර ශාස්ත්‍රය ඉගෙනගෙන ඇත්තේ "වේණු ශාමි" නම් කේරළ මන්ත්‍රාචාර්යවරයෙක් ගෙනි . අද බොහෝ දෙනෙක් "මලයාලි ගුරුකම්" කරන බව පැවසුවද ඔවුන් මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රයේ මුලික අංග වත් නොදනී. වරු තුනෙන්, දින තුනෙන් වශී ගුරුකම් කරන බව පවසමින් පුවත්පත් වල පලකරන දැන්වීම් ප්‍රමාණය සුළුපටු නොවේ. කෙනෙක් වෙත කෙනෙක්ගේ සිත ගිය පමණින් වශිකරගැනීමට හැකිනම් ලෝකයේ ඕනෑම කෙනෙක්ව ඕනෑම කෙනෙකුට වශී කරගැනීමට හැකිය. මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය තුළ වශී ගුරුකම් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු විශේෂ විධි,ක්‍රම පවතී. මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය ගැන සියලු විස්තර ,තොරතුරු නිවැරදිව හෙළිකර දෙමින්, පුර්ණ අවබෝධයක් ඔබට ලබාදීමට මම අදහස් කළෙමි. මෙතැන් පටන් පලවන සියලු විස්තර කියවා දැනුම අවබෝධය ලබාගන්නා ලෙසත් , ව්‍යාජ මන්ත්‍ර කරුවන්ට නොරැවටී සිටින ලෙසත් ඉල්ලා සිටිමි.

Friday, June 17, 2016

භූතයින්ගෙන් එල්ල වන බලපෑම්.

අපූරුවට කරගෙන යන වැඩ කටයුතුවලට හරස් කපන භූතයෝ.

  බොහොම අපූරුවට කරගෙන යන ව්‍යාපාර උන්හිටි ගමන් අඩාල වෙනවා. පණ වගේ හිටිය පෙම්වතා, පෙම්වතිය හේතුවක් නැතුව වෙනස් වෙනවා.සමයෙන් සමගියෙන් ඉන්න අඹු සැමියෝ ඔවුනොවුන් නොරුස්සන තත්වයට පත්වෙනවා. ඥාති හිතමිත්‍රාදීන් එන යන ගේදොර හිටි ගමන් පාලුවට යනවා. මේ වගේ සිද්ධි පසුපස ඇතැම් විට අමනුෂ්‍ය බලපෑම් තිබෙන්න පුළුවන්. හිතාගත නොහැකි පරිදි සිදුවන කඩාකප්පල් වීම්, අඩාල වීම්, ඇන හිටීම්, වෙනස් වීම් පිටුපස ඇතැම් අවස්ථාවල අමනුෂ්‍ය බලපෑම් තිබෙන නමුත් ඇතැම් දෙනා ඒ බව දන්නෙ නෑ. ව්‍යාපාර ස්ථානය ට බොහොම උනන්දුවෙන් ආශාවෙන් ගිය සමහරුන්ට හිටි ගමන් උදාසීන ගති ඇතිවෙනවා. ව්‍යාපාර ස්ථානයට යන්න හිත දෙන්නේ නැතුව යනවා. ගියත් උනන්දුවෙන් වැඩ කටයුතු කරන්න හිත දෙන්නේ නැතුව යනවා. යස අගේට අධ්‍යාපන කටයුතු කරගෙන යන සමහර දරුවො එක පාරටම අධ්‍යාපන කටයුතුවලින් ඈත් වෙනවා. "බොස්ගෙ හිතට අල්ලපු හොඳම සේවකයා මම. හැම වැඩක්ම විශ්වාසයෙන් බාර දෙන්නෙ මට. ටික දවසක ඉඳලා බොස් මාව ගණන් ගන්නෙ නෑ. පොඩි දේටත් කෑගහනවා. මට දැන් රස්සාව එපා වෙලා තියෙන්නේ..." ඔය විදියට කියන අය ඉන්නවා.
  "විවාහයට දින පවා නියම කරගෙන ඉන්නැද්දි තමයි එයා වෙනස් වුණේ. අපේ ගෙදර නිතර ආවා, ගමේ හැමෝම මේ ගැන දන්නවා. දැන් මට එළියට බහින්නවත් හිතෙන්නේ නෑ..." නොසිතූ ලෙස විවාහ සම්බන්ධතා දුරස් වීමෙන් ඔය විදියට කනස්සල්ලට පත්වන අයත් ඕනැ තරම් ඉන්නවා.
  අපූරුවට තියෙන රැකියාව, විවාහය, ප්‍රේම සම්බන්ධය, අධ්‍යාපනය ව්‍යාපාරය කඩාකප්පල් කරන අමනුෂ්‍ය බලවේග තියෙනවා. නොසිතූ පරිදි මතුවන කප්පරක් ප්‍රශ්න උසුලා ගත නොහැකිව බොහෝ දෙනා සිය දිවි නසාගන්නවා. කලබල වෙලා ප්‍රශ්න වැඩි කරගන්න අයත් ඉන්නවා.හේතුව සොයා බලා පිළියම් යොදාගෙන ජීවිතය සාර්ථක කරගන්න අයත් නැතුවා නොවෙයි.ඉතාලියේ සිට මව්බිමට පැමිණි තරුණියක් මෑතකදි මා හමුවෙන්න ආවා. මේ තරුණියගෙ ගම් පළාත මිගමුව. මව්බිමේ රැකියාවන් කීපයක්ම කළත් ඒ සියල්ල අසාර්ථක වීම හේතුවෙන් තමයි  ඇය විදේශගත වෙලා තියෙන්නේ. හැබැයි විදෙස් ගත වුනත් වැඩි කලක් ඉන්න ලැබිලා නෑ. ගිහින් මාස දෙකකින් නැවත මව්බිමට එන්න සිද්ධ වෙලා. මේ තරුණිය මව්බිමේ ඉන්න කාලයේ පටන්ම අමනුෂ්‍ය බලපෑමක් එල්ල වෙලා තියෙනවා.තමන්ගේ කාමරයේ ඉන්න සමහර වෙලාවට දුර්ගන්ධයක් දැනෙන්න පටන් අරගෙන තියෙනවා. දුර්ගන්ධයක් වහනය වෙන්න කිසිම හේතුවක් කාමරයේවත්, නිවසේවත්, වටපිටාවෙවත් තිබිල නෑ.තරුණියගේ පවුලේ ආගමික විශ්වාසයට අනුව යාඥා කිරීම හැර වෙනත් ප්‍රතිකර්මයක් යොදලත් නෑ. සෑම දෙයක්ම අසාර්ථක වුණු තැන විදේශ ගත වුණත් එයිනුත් ප්‍රතිපලයක් නොලැබුණු තැන තමයි කුමන හෝ ප්‍රතිකර්මයක් යොදන්න තීරණය කරලා තියෙන්නේ. නිවසේ මස් බැදීම නවත්වා දින කීපයකින් මා අමතන්නැයි තරුණියට පැවසුවා. මස් බැදීම නැවැත්වූ පසුව දුර්ගන්ධය බොහෝ දුරට අඩු වුණු බව තරුණිය දින කීපයකින් පැවසුවා. පසුව තරුණිය අදහන ආගමට සම්බන්ධ බලවත් ආරක්ෂා මන්ත්‍රයක් දී එය නිතර භාවිතා කරන ලෙසත්, එයින් පැන් මතුරාගෙන නිවසේ සහ නිවස වටා ඉසින ලෙසත් දැන්වූවා. එසේ කිරීමත් සමග දුර්ගන්ධය සම්පූර්ණයෙන්ම දුරු වුණා.
   පුළුටු ගඳ ඔස්සේ නිවෙස් තුළට ඇදී එන අමනුෂ්‍ය බලපෑම් තියෙනවා. මනුෂ්‍යයන්ගේ රුචිකත්වයන් එකිනෙකාට වෙනස් වෙනවා වගේම අමනුෂ්‍යයින් අතරත් නොයෙක් රුචිකත්වයන් තියෙනවා.සමහර
අමනුෂ්‍යයෝ පින් දහම්වලට කැමතියි. පිරිත් ශ්‍රවනය ප්‍රිය කරන අමනුෂ්‍යයෝ ඉන්නවා. පිරිත් කියන තැන, ධර්මය දේශනා කරන තැන, දාන මාන, පුණ්‍ය කාර්ම සිදුකරන තැන්වල ගැවසෙන අමනුෂ්‍යයෝ ඉන්නවා. ඒ වගේම මස් මාංශ, මත් ද්‍රව්‍ය, රුධිරය, සෙම් සොටු, මළ මුත්‍ර, සැරව ආදී අපිරිසිදු දේවල් ප්‍රිය කරන අමනුෂ්‍යයොත් ඉන්නවා. ගමේ පිංකමට, ශ්‍රමදනයට, පිරිතට එකතුවෙන්නේ ඒවායේ වටිනාකම, අනිසංශය දන්නා අයයි. හවසට තැබෑරුමට, බූරු පොලට එකතුවෙන්නේ ඒවා ප්‍රිය කරන අයයි. අමනුෂ්‍ය ලෝකයත් ඔන්න ඔය වගෙයි.(එවමෙව ඛො මාරිස සන්ති හි අමනුස්සා චණ්ඩා රුද්‍රා රභසා අමනුස්සෝ සන්ති හි)  නිදුකාණන් වහන්ස, එපරිද්දෙන්ම චණ්ඩ වූ, රෞද්‍ර වූ, වේගවත් වූ අමනුෂ්‍යයෝ ඇත්තාහු ම ය.( ආටානාටිය සුත්‍රය.)
     පහත් පෙළේ, නීච අමනුෂ්‍ය බලපෑම් පහසුවෙන් ඇදී එන ආකාරයේ පසුබිමක් නිවසේ, වත්ත පිටියේ තිබෙනවානම් අමනුෂ්‍ය බලවේග පහසුවෙන් ළඟා වෙනවා. පින්බර වටපිටාවක් සහිත නිවෙස් වෙත පහත් පෙළේ අමනුෂ්‍යයින් ඇදී එන්නේ නෑ.
    මධ්‍යම පළාතේ තරුණයෙක් ස්වයං රැකියාවක් කර තරමක දියුණුවක් ඇතිකර ගත්තා. මුලින් නිවසේ පවත්වාගෙන ගිය ව්‍යාපාරය පසුව වෙනම ගොඩනැගිල්ලක පවත්වාගන්න හැකි වුණා. අතේ මිටේ මුදල් ගැවසෙන්න ගත්තා.නොයෙක් විදියේ යාලුවෝ සමීප වුණා.මේ තරුණයා මත් වතුරට ඇබ්බැහි වුණු තරුණයින් කීප දෙනෙක්ගේ ඇසුරට ලක්වුණා. බුදුන් වැඳලා රත්නමාලී ගාථා කියලා දවසේ කටයුතු පටන්ගන්න පුරුදුව සිටි මේ තරුණයා ඒවායින් ඈත් වෙන්න පටන්ගත්තා. ව්‍යාපාර ස්ථානය නොයෙක් පාපකාරී ක්‍රියාවන්ට තෝතැන්නක් බවට පත්වුණා.ව්‍යාපාරය දිනෙන් දින පිරිහෙන්න පටන්ගත්තා. දිනක් මත් වී සිටි තරුණයින් අතර ඇති වුණු බහින්බස් වීමක් දුර දිග ගිහින් මහා ගෝරියක් බවට පත් වුණා. එක තරුණයෙක් පිහි ඇනුමකින් ගොඩනැගිල්ල තුළම මරණයට පත්වුණා. නීති ප්‍රශ්න, ආර්ථික ගැටළු හමුවේ පීඩාවට පත් වුණු තරුණයා ව්‍යාපාරික ස්ථානය තුළම සිය දිවි හානි කරගත්තා. දැන් මේ
ගොඩනැගිල්ලේ ව්‍යාපාර කටයුතු පටන්ගන්නා කිසිවෙකුටත් මාස කීපයකට වඩා රැඳෙන්න බැරුව යනවා.දැනට මෙම ස්ථානය අයිතිව තිබෙන්නේ මියගිය තරුණයාගේ එකම සහෝදරියට යි. ස්ථානයේ පවතින දෝෂ තත්වය දුරුකර දෙන්නැයි ඉල්ලා සිටි ඇය ඉහත තොරතුරු සියල්ල විස්තරාත්මකව හෙළි කළා.
   සමහරුන්ට ගෙදර ඉන්න කොට නිමක් නැති ප්‍රශ්න ඒත් නිවසින් බැහැර වුණාම කිසිම ප්‍රශ්නයක් නෑ. ඇතැම් දෙනාට ගෙදර ඉන්න කොට නොයෙකුත් අසනීප පීඩා දැනෙනවා නිවසින් බැහැර වුණාම කිසිම පීඩාවක් දැනෙන්නෙ නෑ. සමහර අඹු සැමියො නිවසෙදි අසමගියෙන් කල්ගෙවූවත් නිවසින් බැහැර වුණාම ඉතාමත් සමගියෙන් කල්ගෙවනවා. නිවසේ පවතින අමනුෂ්‍ය බලපෑම් හේතුවෙන් ඔය විදියේ දේවල් සිදුවෙනවා.මියගිය ඥාතීන් නිතර සිහිනෙන් පෙනෙනවා නම්, සිහිනෙන් යම් යම් දේවල් ඉල්ලනවා නම් සැළකිලිමත් විය යුතුයි.   සමහර නිවෙස් මොන තරම් අස් කළත් ඉක්මනින් හැඩි වෙනවා. ඉක්මනට කුණු එකතු වෙනවා. මොන තරම් අතුගෑවත් වැඩක් නෑ. පිළිවෙලකට තියාගන්නම බෑ. ඇතැම් අමනුස්සයෝ නිවැසියන් සමග නිවසින් බැහැරටත් යනවා. මේ බව ආටානාටිය සූත්‍රයේත් පැහැදිලිව සඳහන් වෙනවා. සම්මුඛ පරීක්ෂණ, විවාහ කටයුතු, විභාග, තරඟ ආදී නොයෙක් වැදගත් අවස්ථාවන්ට මුහුණ දෙන්න යනකොට අමනුෂ්‍යයෝත් යන අවස්ථා තියෙනවා. එහෙම ගිහින් කටයුතු කඩාකප්පල් කරන අවස්ථාත් තියෙනවා. 
  නිවස තුළ යම් දුර්ගන්ධයක් ඇතිවුණු පමණින් කලබලයට පත්විය යුතු නෑ. ඊට යම් හේතුවක් නිවස තුළ හෝ වටපිටාවේ ඇත්දැයි විමසිලිමත් විය යුතුයි. කිසිම හේතුවක් නොමැතිව දුර්ගන්ධයක් වහනය වෙනවා නම් ඒ සම්බන්ධයෙන් ගුප්ත විද්‍යාත්මකව සොයා බැලීම වැදගත් වෙනවා. නිවස නිතර සුගන්ධවත්ව, පිරිසිදුව තබා ගැනීම හැම අතින්ම සුබදායකයි.  
 
   

Tuesday, March 15, 2016

ඉවරයක් නැතුව කරදර කරන සතුරො ඉන්නවා නම් 
කඩවර දෙවියන් ගෙන් පිහිට ඉල්ලන්න.

    සතුරු කරදර හේතුවෙන් දුකින් කල් ගෙවන අය මොන තරම් ඉන්නවද... කියන්න කෙනෙක් නැතුව, කරගන්න දෙයක් නැතුව ඉවසගෙන ඉන්න අය වගේම සතුරන් සමග ගැටෙන්න ගිහින් කරදර වැඩි කරගන්න අයත් ඉන්නවා. කොහොම වුණත් කපාගන්න,කොටාගන්න, වෙඩි තියාගන්න, බෝම්බ ගහගන්න යන්නෙ නැතුව දෙවියන් ගෙන් පිහිටක් ඉල්ලන එකේ වරදක් නෑ. කෙනෙක් ගේ දියුණුව සාර්ථකත්වය බලාගෙන ඉන්න බැරි අය සමාජයේ ඕනැ තරම් ඉන්නවා.කෙනෙකුට නින්දා අපහාස කරලා සතුටු වෙන අයත් අනන්ත ඉන්නවා. ධනය, බලය, දේශපාලන සහයෝගය පාවිච්චි කරලා නිදහසේ සතුරුකම් කරන අයට විරුද්ධව නැගී සිටීම ලේසි පහසු නෑ. මේ වගේ අවස්ථාවලදි දෙවියන්ගේ පිහිට බලාපොරොත්තුවෙන් ඇතැමුන් දේවාල, ගුරුකම් කරන ස්ථාන ආදී තැන්වලට යනවා. අසරණ වුණු අයගේ මුදලට විදින පින්වත් මෑණිවරු, යෝගිවරු, හිමිවරු එහෙමත් අඩුවක් නැතුව ඉන්නවා. ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ, වඳින්න ගිය දේවාලය ඉහේ කඩා වැටුණා වගේ ඔන්න ඉතින් දුකට පිහිටක් ඉල්ලන ගිය කෙනා තවත් අසරණ වෙනවා.
  මේ කියන්න හදන්නේ අපේම දෙවි කෙනෙක් වූ කඩවර දෙවියන් ගෙන් පිහිට ලබාගන්නා ආකාරය යි. කඩවර දෙවියෙක් විදියට වගේම යක්ෂයෙක් විදියටත් හඳුන්වනවා. පුර පක්ෂයේදී දෙවියෙක් විදියටත් අව පක්ෂයේදී යක්ෂයෙක් විදියටත් පෙනී සිටින බව ඇතැම් දෙනා විශ්වාස කරනවා.කොහොම වුනත් කඩවර ගේ බලය ශක්තිය නම් බොහොම ඉහළ යි. ජිවත් වෙලා ඉන්න කාලෙදි යක්ෂ වැඩ කරන අය මරණින් පස්සෙත් බොහෝ වෙලාවට සැර පරුෂ බලපෑම් තමයි එල්ල කරන්නේ. අපේම රටේ රජරට පළාතේ ජිවත් වුණු කෙනෙක් තමයි කඩවර දෙවියො විදියට සැළකෙන්නේ. "සෙනෙවිරත්න කඩවර දෙවි හාමුදුරුවෝ " යන නාමයෙන් කඩවර යාතිකාවේ සඳහන් වෙනවා.
    කඩවර කලා වැවේ ආරක්ෂකයෙක් විදියට කටයුතු කළ අයෙක් බව ට සැළකෙනවා. කලා වැවේ ජල මට්ටම දැන ගැනීම සඳහා මැටි භාජනයක් තබා තිබුණු බවත්, පිරිත් දේශනාවකට වැඩම කළ සංඝයා වහන්සේ නමක ගේ කුඩයක් වැදීම හේතුවෙන් එම භාජනය සිදුරු වූ බවත්, වැවේ ජලය උතුරා යන්නට පටන් ගත් විට කඩවර වැවට පැන දිවි නසාගත් බවත් ජනප්රවාදයේ සඳහන් වෙනවා. වෛරයෙන් මියගොස් බලවත් යක්ෂ ආත්මයක් ලබා ජනතාවට පිහිට වන බවට විශ්වාසයක් පවතිනවා. කඩවර භික්ෂූන් වහන්සේලා සමග ඇයි හොඳයියක් නැති දෙවි කෙනෙක් විදියට සැළකෙන්නෙත් ඔන්න ඔය හින්දයි.
     ගම්මඩු, ගිනි මඩු,තොවිල්, ශාන්ති කර්ම ආදී කොයි කටයුත්තක දී වූවද කඩවර දෙවියන් උදෙසා කඩවර ගොටුව පිරිනැමීමට ඇඳුරන් අමතක කරන්නේ නෑ. එහෙමනම් කඩවර දෙවියෝ එසේ මෙසේ කෙනෙක් නොවන බව පැහැදිලියි. කඩවර දෙවියන්ගේ බලවත්කම පහත කාවින්ද පැහැදිලි වෙනවා.

 මහ මුහුදේ රළ  නවතා  වෙරළ දිගට       වැඩමවන්ඩ 
 අලුයම සත් පැයක් තියා කඩවර දෙවි       වැඩමවන්ඩ 
 රන් කෙඳි ගෙතුවා විලසට හැඩ පළු පිට මැද හෙලන්ඩ 
 කන්ද සාමිට වත් බැරිය ගොටුව නොදී     වළක්වන්ඩ 

කඩවර දෙවියො හොඳට හොඳයි නරකට නරකයි. කඩවර ට පුද පූජා තියන කොට කලට වේලාවට වරද්දන්නෙ නැතුව තියන්න ඕනෑ. කඩවර දෙවියන්ට දිය යුතු දේවල් කලට වේලාවට දෙනවා නම් කඩවර දෙවියන්ගෙ පිහිටත් නූලට තිතට ලැබෙනවා.
  කඩවර කන්නලව්ව.
  " පස්වාන් දහසකට තෙද වරම් බල වරම් අණ වරම් ඇති සෙනෙවිරත්න මුල් කඩවර දේවතාවුන් වහන්ස, රාහුලු දාහක් ලෝහුලු දාහක් ද  නිමෙනා අතර තුරේදී කතරගම කන්දස්වාමින් වහන්සේ කැටුව මුහුදු කරදිය වළල්ලේ සත් වාරයක් ගමන් කරමින් ඇසුර භවනයට වැඩ අසුරයන් සමග යුධ කොට දිනා සූර්ය මණ්ඩලය උණු කරවා කතරගම අදෘශ්‍යමාන දිව්‍යමය රන් තොරණේ මුරතේවේ වැඩ වසන සෙනෙවිරත්න කඩවර හාමුදුරුවනේ, මාගේ පුද පූජා බලා ඒ කෙරේ බැල්ම ලා මාගේ අභිමතාර්ථ ඉෂ්ඨ කර දෙන්ටත් මා කීවා අසන්ටත් මා කීවා කරන්ටත් කතරගම කන්දස්වාමි වහන්සේගෙන් වරම්.තවද ලංකාවේ අග්‍රරාජධානිය  කොට දෙවිවරුන්ට අයත් ලෝක එක්දහස් අටක් පාලනය කොට පද්මාසුර නම් අසුර රාජාධිරාජයාගේ මහ සෙනෙවි පදවිය දරා ප්‍රකටව සිටින ඔබ වහන්සේට කරන කන්නලව්ව දිව නෙතින් බලා දිව කනින් අසා ගැත්තන් ගේ සකල දෝෂාන්ධකාරය දුරුවන් කර දී පිනට පිහිට වෙනවයි. සිය වැරදි දහස් වැරදි තිබුණත් කමා කරනවයි.සතුරන් මැඩ ගැත්තන්ට සෙත සලසනවයි.ඔබ කීර්ති පස්වාන් දහසකට ආයු බෝ වේවා.
   කඩවර දෙවියන්ට පහන් දැල්වීමේදී නිවසින් පිට පහන් කණුවක් සාදා රත් මල් පොකුරක්, බුලත් විටක්, හඳුන් කූරු, එළඟි තෙල් මුසු පහනක් පුදා පිහිට ඉල්ලා සිටිය යුතුයි. අඟහරුවාදා දිනය මේ සඳහා වඩාත් සුදුසුයි. සවස හයට, රෑ දොළහට පහන දැල්වීම වඩාත් සුබදායකයි.
කඩවර දෙවියන්ගේ පිහිට වඩාත් හොඳින් ලබා ගැනීමට හැකි තවත් බලගතු කඩවර දිෂ්ටියක් තිබෙනවා. මෙය " මුනිභද්‍ර කඩවර දිෂ්ටිය" ලෙස හඳුන්වනවා.
"ඕං හ්රීං මුනිභද්‍ර ඝටිකයෙන් චන්ද්‍ර සූර්ය විපුල කර විස්ත්‍රීෂ්ට කරවා ප්‍රභාවතිගේ කුසයෙන් උපන්  දල කඩවර, සොහොන් කඩවර,තෙල් කඩවර , නිල් කඩවර, මල් කඩවර, ලේ කඩවර, රීරි කඩවර, පුළුටු කඩවර, සඳුන් කඩවර, අඳුන් කඩවර, ගොළු කඩවර, ගොපලු කඩවර, හැන්දෑ කඩවර,අලුයම් කඩවර,තොට කඩවර, පිස්සී කඩවර,කළු කඩවර, කුමාර කඩවර යන මෙකී කඩවර දේවතාවුන් ඇතුළුව සෙනෙවිරත්න කඩවර දේවතාවුන් වහන්සේ මේ නර ලොව කෙළි පිදේනි භාරගත් වරමින් අදත් මාගේ මන්ත්‍ර දිෂ්ටියට අහස වෙව්‍ලුවා වර වර පොළව දෙබෑ කර වර වර දිවයින් හතරේ කොදෙව් පන්සීයේ මෙර මුදුනේ හිමාල කූටේ සිටියත් සොහොන් කඩවර දේවතාවුන් වහන්සේ දිෂ්ටි වර වර ලේ දිෂ්ටි රීරි දිෂ්ටි පුළුටු දිෂ්ටි අනේක දිෂ්ටි නිධානෙක, සොහොනක නාරුක් බෝරුක් ඇසටු නුග පුෂ්පාරාම ඵලාරාම ආදී මෙකී තැනක නොසිට වර වර ගිනි බුද්ධ මාලාවෙන් දැපනේ කරවා සත් භාගේ දෙවොල් භාගේ කිරි අම්මාවරු සත් දෙනාගෙන් එන්ඩ වරම් "
     කඩවර ගොටුව.
  දෙවොල් ශාන්ති කර්ම, තොවිල්, මුරුතැන් මංගල්‍ය ආදී සෑම කටයුත්තකදී ම කඩවර දෙවියන් උදෙසා කඩවර ගොටුව කැප කිරීම සිදු කරනවා. කඩවර ගොටුව පුදා සතුරන්ට දඬුවම් ඉල්ලීමෙන් සතුරන්ට බරපතළ දඬුවම් ලැබෙනවා.
කඩවර ගොටුවට ඇතුළත් විය යුතු දේවල්.
රතු බතක්, හත් මාළුව, පුළුටු,ගොඩ දිය මස්,කැවුම්, කෙසෙල්, බුලත්, බුලත් විටක්,කංසා,අබිං, රා, අරක්කු,සුරුට්ටු, අඳුන්, සඳුන්,ලේ,රීරි, තැඹිලි ගෙඩියක්,බැදපු බිත්තරයක්, විලක්කුවක්,හඳුන් කූරු.  මේ දේවල් ගොටුවේ තබා උස තුන් දෙබලක තැබිය යුතුයි. සෙසු දෙවිවරුන්ට,යක්ෂ ප්රේතාදීන්ට දොළ පිදේනි කැප කිරීමට පළමුවෙන් කඩවර දෙවියන්ට කඩවර ගොටුව කැප කර අලුයම එළිය වැටීමට පෙර ගොටුව වත්තෙන් පිටමං කිරීම නිවැරදි පිළිවෙත යි.
   කඩවර මොනවාගේ අයෙක් දැයි කඩවර ගොටුවට තබන පුද වලින්ම ඔබට වටහා ගන්න පුළුවන්.
         කඩවර වරමින් වැඩ කටයුතු කරන ඇදුරෙක් වෙත දිනක් දුකට පත් අයෙක් පැමිණියා. තමන්ගේ වටිනා බදු භාණ්ඩ, මුදල් මංකොල්ලා කෑ හොරුන් කවුදැයි මේ පුද්ගලයා ඇදුරාගෙන් විමසා සිටියා.ඇදුරා සොරාගේ නම පැවසුවා. ඒ නම ඇසූ පමණින් පැමිණ සිටි පුද්ගලයාගේ ගත කිළිපොලා ගියා.ඇදුරා පැවසුවේ නමගිය පාතාල නායකයෙකුගේ නමක්. ඇදුරා පැවසූ දේ කනින් කන පැතිරිලා පාතාල නායකයාටත් ආරංචි වුණා. පාතාල නායකයා ඇදුරාව ඝාතනය කිරීමට දිනයක් යොදා ගත්තා. හැබැයි ඒ දිනය උදා වන තෙක් පාතාල නායකයාට ජිවත් වෙන්න ලැබුණෙ නෑ. එක්තරා වෙසක් පොහොය දිනක පාතාල නායකයා තම පිරිවරත් සමගම අවසන් ගමන් ගියා. ඒ තවත් පාතාල කල්ලියක් එල්ල කළ ප්‍රහාරයකින්. පාතාල නායකයාගේ නම කිව්වොත් මේ මුළු රටම ඔහුව හඳුනනවා.
  කඩවර කියන්නේ ඔන්න ඔය වගේ කෙනෙක්.

  

Friday, January 8, 2016

(අමනුෂ්‍ය බලපෑම් හා මලයාලි මන්ත්‍ර ගුරුකම් - 05)

වාහන ඇතුළේ හොල්මන් කරන භූතයෝ

          එක්තරා නිවසක මිදුලේ ගරාජයක් පවත්වාගෙන ගියා. මේ ගරාජයට දවසක් වෑන් රථයක් ගෙනාවා. අනතුරකට පත්වීමෙන් හානි වෙලා තිබුණු වෑන් රථය ගරාජයට භාර දුන් අයිතිකරුවෝ යන්න ගියා. රාත්‍රිය එළඹුණා. මේ වාහනයේ දොරවල් අරින වහන ශබ්දය ගෙදර අයට ඇහෙන්න ගත්තා. මේ මහ රෑ කවුද වාහනේ දොරවල් අරින්නේ කියල බලන්න ගෙදර කට්ටිය නැගිටලා හතරවටේ ලයිට් දැම්මා. දොර ඇරලා බැලුවා. කවුරුවත් පේන්න නෑ. පහුවදාත් ඔය විදියටම වුණා. වාහනේ වැඩ කටයුතු ටික කෙරීගෙන යනවද බලන්න අයිතිකාරයා ගරාජයට ආවා.
  " මහත්තයෝ රෑට වාහනේ ඇතුළේ ශබ්ද ඇහෙනවනේ...දොරවල් අරිනවා වහනවා අපිට රෑ තිස්සේ නින්දක් නෑ..."
   වාහනය අයිති මහත්තයා බාසුන්නැහේට කාරණය හෙළි කළා.
" බාසුන්නැහේ, ඔය වාහනය මම අරන් දුන්නෙ මගේ දුවට. ගෙදරට වාහනයක් ගනිමු කියලා එයා හැම තිස්සෙම කරදර කරන්න ගත්තා. පස්සෙ මේ වෑන් එක ගත්තා. වාහනේ අරගෙන මුළින්ම කතරගම යනකොට වාහනේ හැප්පුනා. දුවව ඉස්පිරිතාලෙට අරගෙන ගියත් බේරගන්න බැරි වුණා. අනිත් අයට නම් ඒ හැටි හානියක් වුණේ නෑ...වාහනෙත් හදාගත්තා. ටික දවසක් යනකොට ඔය වගේ ශබ්ද ඇහෙන්න පටන් ගත්තා. අපි එච්චර ගණන් ගත්තෙ නෑ. දෙවැනි වතාවට තමයි ඔය වාහනේ පෙරළුනේ. මේ වතාවෙ හදාගත්තම ඉක්මනින්ම විකුණලා දාන්නයි හිතාගෙන ඉන්නේ..."
    වාහනය නම් හදාගත්තා හැබැයි විකුණා ගන්න බැරිවුණා. ගැනුම් කරුවෙක් ආවම මොකක් හරි ප්‍රශ්නයක් වෙලා විකුණා ගන්න බැරි වෙනවා. අන්තිමේදි දෝෂය ඉවත් කරගන්නම වුණා.
     රත්නපුර ප්‍රදේශයේ කාන්තාවක් ඔය වගේම අත්දැකීමකට මුහුණ දුන්නා. තමන්ගේ ස්වාමිපුරුෂයා හදිසියේ මියගියා. ටික දවසක් යනකොට මේ නෝනා ට පේන්න ගත්තා මහත්තයා වාහනේ ඉස්සරහ අසුනේ ඉඳගෙන ඉන්නවා. නෝනා වාහනේ ස්වාමීන්වහන්සේ නමකට පූජා කළා. ඒ හාමුදුරුවන්ටත් වාහනෙන් ප්‍රයෝජනයක් ලබාගන්න බැරි වුණා. පන්සලේ මිදුලෙම වාහනේ දිරලා ගියා.
   වාහනවල තියෙන භූත බලපෑම් ඉවත් කර ගන්නවා වෙනුවට බොහෝ දෙනා උත්සාහ කරන්නේ වාහනේ ඉක්මනට කාට හරි විකුණලා දාන්නයි. සමහර වාහන තියෙනවා නිතරම අනතුරුවලට ලක් වෙනවා.සමහර වාහන නිතරම තියෙන්නේ කොහේ හරි ගරාජයකම යි. " මේ වාහනේට වියදම් කරපු සල්ලි තියාගත්තා නම් අපිට ඉඩම් දෙක තුනක් ගන්න තිබුණා..." වාහනේට වියදම් කරළා බැරිම තැන සමහරු ඔය විදියට කියනවා.
  වාහනවලට ආශාවෙන් ඉඳලා මියගිය කෙනෙක් භූත ආත්මයක ඉපදුනාම ඒ වාහනය සමග නිතර ගැවසෙන්න ඉඩ තියෙනවා. එවැනි සිදුවීම් ගැන අසන්නට ලැබෙනවා. 
     ඇතැම් මාරක අනතුරුවලට පවා මෙවැනි අමනුෂ්‍ය බලපෑම් හේතු නොවෙනවා කියන්න බෑ. නොමැරී බේරුණු ඇතැම් රියැදුරන් ගේ ප්‍රකාශ අනුව ඒ බව ඔප්පු වෙනවා. " පාර හරහා එක පාරටම සුදු පාට ජායාවක් ගියා. එතකොටම හෙන හඬක් වගේ ශබ්දයක් ඇහුණා. මට මතක එච්චරයි.."   ඔන්න ඔය වගේ කතා අනතුරුවලට මුහුණ දුන් ඇතැම් රියැදුරන් පවසනවා. ගුප්තවිද්‍යා කටයුතුවල යෙදෙන අයට ඔය වගේ දේවල් අසන්නට ලැබෙනවා. අනතුරකින් මියගිය කෙනෙකුට තමන් මුහුණ දුන් අත්දැකීම විස්තර කිරීමේ හැකියාවක් නෑ. 
   වාහනවල හොල්මන් කරන අමනුෂ්‍යයෝ අතර, අනතුරුවලින් මනුෂ්‍යයින් ගළවගන්නා  අමනුශ්‍යයොත් ඉන්නවා. ඒ වගේ සිද්ධි ගැනත් අසන්නට ලැබෙනවා. මම හොඳින් දන්නා කියන අයෙක් ඉන්නවා. මේ පුද්ගලයා වාහන පැදවීමේදී ඇතැම් අවස්ථාවල නොදැනීම නින්ද යනවා. ළඟ ඉන්න කෙනෙක් දැක්කොත් ඉක්මනට තට්ටු කරලා ඇහැරවනවා. කවුරුවත් නැතුව තනියම වාහනේ පදවාගෙන යනකොට කවුද මෙයාව ඇහැරවන්නේ...? කෙනෙක් හිතන්න පුළුවන් තනියම යනකොට නිදාගන්නෙ නැතුව හොඳට අවදානයෙන් යනවා ඇති කියලා. නෑ.. මෙයා තනියම යනකොටත් නින්ද යන අවස්ථා තියෙනවා. දවසක් ඒ විදියට නින්ද ගිහින් ඉබේම එකපාරට ඇහැරිලා බලන කොට අඩි කීපයක් ඉස්සරහින් ලී කඳන්  පටවපු ලොරියක් නවත්තලා තිබිලා. තවත් දවසක් නින්දගිහින් එක පාරටම ඇහැරිලා බලනකොට ඉස්සරහා කැළණි ගඟ ලු.වාහනය ගඟට යන පාරට හැරිලා නින්දෙන්ම ගඟ ළඟටම ගිහින්. මේ නින්ද යනඑක මෙයාගේ අසනීපයක් නම් නෙමෙයි. රාත්‍රී රාජකාරි හේතුවෙන් නිතර නිදි වැරීම තමතමයි නින්ද යාමට හේතුව. කොහොම වුණත් මෙයා විශ්වාස කරන්නේ තමන්ගේ මියගිය ඥාතිවරියක් තමන්ව අනතුරුවලින් ගළවා ගන්නවා කියලයි. එහෙම හිතන්න හේතුත් ඕනැ තරම් තියෙනවා.
 නිවසක, ඉඩමක, වාහනයක ආදී කුමන තැනක සිටියද කරදරකාරී භූතයින් ඉවත්කළ හැකියි.  බෙර ගැසීම්, දොළ පිදේනි කැප කිරීම්, ඝෝෂා කිරීම් වලින් තොරව ඉතාම සන්සුන්ව අමනුෂ්‍යයින් පලවා හරින්නට දක්ෂ මන්ත්‍රාචාර්යවරයෙකුට පුළුවන්. ඒ සඳහා ලක්ෂ ගණන් මුදල් වැයවන්නේ නැති බවත්,  පූජා ද්‍රව්‍ය, බඩු භාණ්ඩ විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ නැති බවත් හොඳින් මතක තබාගන්න.