මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය.

මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය.
මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය ලෝකයේ ප්‍රබලම මන්ත්‍ර ශාස්ත්‍රයයි . මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රයේ වැදගත්ම අංගය වන්නේ සිද්ධි ලබාගැනීමයි . කාලි ,ගණපති ,මාඩ ශාමි ,භගවතී ආදී සිද්ධි ලබාගැනීමෙන් තොරව මලයාලි ගුරුකම් කල නොහැක .මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය සම්බන්ධයෙන් මා ජ්‍යොතිෂ පුවත්පතකට ලිපි මාලාවක් ලියු අතර ඊට මහත් ජනතා ප්‍රතිචාර ලැබුණි .එම ලිපි මාලාව තුලින් මා හෙළි කළේ මාගේ මුත්තා විසින් කරන ලද විස්මිත ගුරුකම් ගැනය . මාගේ මුත්තා මලයාලි මන්තර ශාස්ත්‍රය ඉගෙනගෙන ඇත්තේ "වේණු ශාමි" නම් කේරළ මන්ත්‍රාචාර්යවරයෙක් ගෙනි . අද බොහෝ දෙනෙක් "මලයාලි ගුරුකම්" කරන බව පැවසුවද ඔවුන් මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රයේ මුලික අංග වත් නොදනී. වරු තුනෙන්, දින තුනෙන් වශී ගුරුකම් කරන බව පවසමින් පුවත්පත් වල පලකරන දැන්වීම් ප්‍රමාණය සුළුපටු නොවේ. කෙනෙක් වෙත කෙනෙක්ගේ සිත ගිය පමණින් වශිකරගැනීමට හැකිනම් ලෝකයේ ඕනෑම කෙනෙක්ව ඕනෑම කෙනෙකුට වශී කරගැනීමට හැකිය. මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය තුළ වශී ගුරුකම් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු විශේෂ විධි,ක්‍රම පවතී. මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය ගැන සියලු විස්තර ,තොරතුරු නිවැරදිව හෙළිකර දෙමින්, පුර්ණ අවබෝධයක් ඔබට ලබාදීමට මම අදහස් කළෙමි. මෙතැන් පටන් පලවන සියලු විස්තර කියවා දැනුම අවබෝධය ලබාගන්නා ලෙසත් , ව්‍යාජ මන්ත්‍ර කරුවන්ට නොරැවටී සිටින ලෙසත් ඉල්ලා සිටිමි.

Thursday, November 9, 2017

මහා හෙණරාජ තෛලය.


ඉස්සර සිටි අපේ වෙද මහත්තුරුන්ට මන්ත්‍ර ශාස්ත්‍රය, ජ්‍යොතිෂය, කෙම් ක්‍රම ආදිය ගැනත් හොඳ දැනුමක් තිබුණා. ජන්ම පත්‍රය ආශ්‍රයෙන් ලෙඩ රෝග හොයා ගත්තා. වෙදකම් කරන කොට මන්ත්‍ර ශාස්ත්‍රයත් ප්‍රයෝජනයට ගත්තා. ලෙඩාගේ ඉක්මන් සුවය ගැන මිසක්කා මුදල ගැන හිතුවෙ නෑ.එදා අපේ වෛද්‍යවරු කරපු හපන්කම් කරන්න පුළුවන් අය අද කාලෙ නෑ. බෙහෙත් පැළෑටියක් අඳුරගන්න පුළුවන් අයත් දැන් හරි අඩුයි. හැබැයි වෙනත් රටවල් වලට නම් අපේ ඔසු පැළ, බෙහෙත් වට්ටෝරු,පුස්කොල පොත් ගොඩක් වටිනවා. අපේ ඔසු පැළ ගණනාවක් හොරෙන් අරගෙන ගිහින් පේටන්ට් අයිතිය පවා අරගෙන තියෙන්නේ ඒ හින්දයි. අපේ පුස්කොල පොත් ලක්ෂ ගානක් තවමත් එංගලන්තයේ තියාගෙන ඉන්නවා.
   ලෙඩ සුව කරන තෙල් බෙහෙත් වර්ග වගේම නොයෙක් විපත්, අනතුරු, අමනුෂ්‍ය බලපෑම්, හදි හූනියම් ආදියෙන් ආරක්ෂාව සලසන තෙල් බෙහෙත් වර්ගත් අතීතයේදී භාවිතා කරලා තියෙනවා. ඒ අතරින් ඉතාමත් සුවිශේෂී තැනක් හිමිවෙන මහා බලගතු තෙලක් තමයි "මහා හෙණරාජ තෛලය" කියන්නේ. මේ තෙල් බිංදුවක් රන් සුරයකට දාලා පැළඳගෙන ඉන්න කොට වෙඩි තිබ්බත් වදින්නේ නෑ කියලා තමයි සඳහන් වෙන්නේ.අනතුරු වලින් වගේම නොයෙක් ලෙඩ රෝග වලිනුත් සුවය ලැබෙන තරමේ බලයක් මේ තෙලේ තියෙනවා කියල සඳහන් වෙනවා.
   හෙණරාජ තෙල හදාගන්න එක එච්චර ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. වටිනා දේවල් කොහොමත් ලේසියෙන් පහසුවෙන් හදාගන්න බෑ. මහන්සිය නොබලා කැපවීමෙන් හදාගන්න පුළුවන් නම් වටිනාකම කියල නිම කරන්න බෑ. තෙල හිඳගන්නා ස්ථානය ඉතාමත් පිරිසිදු ස්ථානයක් වෙන්න ඕනෑ. උඩු වියන් බැඳගන්න ඕනෑ. මේ කටයුත්තට සහභාගී වන අයත් නාලා පිරිසිදු වෙලා ඉන්න ඕනෑ. තෙල හිඳගැනීමේදී පැඟිරි දර සහ කුරුඳු දර විතරක් භාවිතා කරන්නත් ඕනෑ. තෙල දවස් තුනක් මඳ ගින්නේ පැසෙන්න ඕනෑ.
අවශ්‍ය ඖෂධ වර්ග 
ඇත්දෙමට මුල්, වෙනිවැල්ගැට මුල්, පනම්පෙති මුල්, අංකෙන්ද මුල්, අමුකහ මුල්, දෙමට මුල්, මඟුල් කරඳ මුල්, අනෝදා මුල්, වේලා මුල්, කුරුඳු මුල්, නික මුල්, වරා මුල්, ඉරමුසු මුල්, දෙහි මුල්, දොඩම් මුල්.  
මෙම මුල් වර්ග වෙන වෙනම කොටාගෙන යුෂ නැලිය බැගින් රැස් කරගන්න ඕනැ. හොඳින් පෙරාගත්තු මේ යුෂ භාජනයකට දාලා සුබ නැකතකින් ලිප මත තියන්න ඕනෑ. පැඟිරි දරින් සහ කුරුඳු දරින් ගිනි දල්වන්න ඕනැ.
    තෙලට යොදන කල්කය සඳහා යොදා ගත යුතු ඖෂධ.
තිපල්( අරළු,බුළු,නෙල්ලි), වියලි ඉඟුරු, සුදු ලූනු, අබ, නවසාරම්, අක්‍රපට්ටා,සීනක්කාරම්, උළුහාල්, මනෝසීල, හිරියල්, සුවඳකොට්ටං, දේවදාර, කරාබුනැටි,සාදික්කා,වසාවාසි,සුදුදුරු,කළුදුරු,රත් හඳුන්, හරංකහ, කඟවේනා අං, සුවස ලුණු, බළල් ලුණු, යවකාර ලුණු, දිය ලුණු 
  මෙම ඖෂධ කළඳ බැගින් ගෙන එයට පෙනෙල ගෙඩි ගෙන කොටා මිරිකා යුෂ පතක් දමා හොඳින් කුඩු කරගත යුතුයි.එම කුඩු ඇඹුල් දොඩම් ඉස්මෙන්  හා ඉඟුරු ඉස්මෙන්  අඹරාගෙන තල තෙල්, මී තෙල්,එඬරු තෙල්, කොහොඹ තෙල්,එළඟිතෙල්, පරණ පොල් තෙල් එක වර්ගයකින් පත හතර බැගින් ගෙන මිශ්‍රණයට එක් කර ලිප මත පැසෙන හැලියට එක් කළ යුතුයි. කල්කය ඉටි සේ ඇලෙන පදමට පත් වන තුරු දින තුනක් තෙල පැසෙන්නට හැරිය යුතුයි.පාක සිද්ධි සම්පුර්ණ වන විට තෙල ලිපෙන් බා ගත යුතුයි.සත් පැයක් නිවෙන්නට හැර වෙනම හැලියකට තෙල පෙරා ගත යුතුයි. පෙරාගත් තෙල තවත් පැය හතක් තිබෙන්නට හරින්න ඕනැ.
පසුව උරුලෑ සට්ටන්, සුදු හඳුන්, හිඟුරු පියළි, නාමල් රේණු, කට්ටකුමංජල්, මොනර පිල්, හරංකහ, සුවඳ කොට්ටං සමව ගෙන කුඩු කර සිනිඳුවට අඹරාගෙන තෙල මතට ඉහින්න ඕනැ. මෙන්න මේ විදියට තමයි තෙල සිඳගැනීමේ කටයුත්ත කරන්නේ.
  තෙල ලිප මත තබා ප්‍රථමයෙන්ම රතන සූත්‍රය 108 වරක් සංගායනය කළ යුතු අතර,  තෙල ලිපෙන් බාගෙන පහත මන්ත්‍රයෙන් 108 වරක් ජීවම් කර ගත යුතුයි. ඔසු මුල් ලබා ගැනීමේදීද රතන සූත්‍රය සංගායනා කිරීම වඩාත් ප්‍රතිපලදායක වේ.
මන්ත්‍රය.
ඕං වීර චන්ද්‍ර රත්න සෝම නාරයණාය ගහ දේවි පරමාං ගුරු දේව ජෝ හර හර දේව දෙවියන් අණින් මුනියානං අණින් යව රාක්ෂ ආතුර රක්ෂ යන්ත්‍ර රක්ෂ මන්ත්‍ර රක්ෂ ඖෂධ රක්ෂ තෛල රක්ෂ ඝනකෝටි දෙවියන් අණින් ආකාශ බන්දම් සියලු බන්දම් ජිවිත රක්ෂන්තු කුරු කුරු දිෂ්ටි ඕං ප්‍රාණ ප්‍රාණ ජීව ජීව අජීව අජීව සිද්ධි සිද්ධි කුරු කුරු දිෂ්ටි හෙණරාජ දිෂ්ටි දිෂ්ටි සිද්ධි සිද්ධි මුළු දිෂ්ටි දිෂ්ටි ප්‍රලයන්තු බ්‍රං බ්‍රං සුං සුං රාං රාං රීං රීං හුං හුං ඕං ඕං සිද්ධි සිද්හි භවන්තු ඒස්වාහ 
  මෙසේ ජීවම් කරගත් තෙල සුරයක දමා පැළඳීමට ප්‍රථමයෙන් පහත මන්ත්‍රයෙන් 108 වරක් ජීවම් කරගත යුතුයි.
ඕං ආං හ්රීං ඊශ්වර වාචඃ නවනාථ භෛරවඃ කාකාලිනේ මා මහී හනුමන්තා අත්ත අච්ච මේද කාච්ච පෝල අඩි පට්ටු පොඩි පට්ටු නහර පට්ටු ඕං හ්රිං ප්‍රොං පෝග ප්‍රගත ප්‍රශෂ්ටි පිල්ලි විසාදි දේව නරායනේ ඉරංගු කාමුනියානේ මුට්ටු කොලා ඉරංගු අර අරූ කොටාටු සුරයු අංගුලිමාල ඕංකාර ගුරු ප්‍රසාදනේස්වඃ 
 මෙම වටිනා තෙල හිඳගන්නා ක්‍රමය, යොදාගන්නා ඖෂධ ආදී විස්තර අද ඇත්තේ ඉතාමත් ස්වල්ප දෙනෙකු අත පමණය.



Friday, July 28, 2017

භූත දෝෂ ඉවත් කළ මෙහෙයුම.


සබරගමු පළාතේ පිහිටි කර්මාන්ත ශාලාවකි. කර්මාන්තශාලා සමූහයක් හිමි සමාගමකට අයත් ප්‍රසිද්ධ ආයතනයකි.වසර ගණනාවක් පුරා ඉතාමත් සාර්ථකව නිෂ්පාදන කටයුතු සිදු කළ කීර්තිමත් ඇඟළුම් කර්මාන්තශාලාවකි.මෙය පිහිටියේ විශාල භූමියක ය.වසර ගණනක් සාර්ථකව පවත්වාගෙන ගිය මෙම ආයතනය තුළ මෑතක පටන් නොයෙක් ගැටළු,අර්බුධ මතුවන්නට විය. සේවක පාර්ශවය හා පාලනාධිකාරිය අතර ගැටුම් ඇතිවන්නට විය.නිෂ්පාදන කටයුතුද අඩාල වන්නට විය.මෙවන් ගැටළු හමුවේ පාලනාධිකාරිය මහත් දුෂ්කරතාවයකට පත්විය.

  දිනක් දුරකතනයෙන් මා ඇමතු නිලධාරියෙක් මා හමුවීමට දිනයක් ඉල්ලා සිටියේය. යොදාගත් දින උදෑසන මා හමුවීමට පැමිණි නිලධාරියා කර්මාන්තශාලාව තුළ උද්ගතව ඇති තත්වය පවසා ඊට විසඳුමක් ලබාදෙන මෙන් ඉල්ලා සිටියේය. ඔහු මා වෙත යොමුකොට තිබුණේ කර්මාන්තශාලා සමූහයේ අධ්‍යක්ෂ වරයෙකි. ඇතිවී තිබුණු තත්වයට විසඳුමක් ඉදිරිපත් කිරීමට පෙර එම තත්වය ඇතිවීමට බලපා තිබෙන හේතුව ඉදිරිපත් කළ යුතුය. කර්මාන්තශාලාව පිහිටි භූමිය වසර 30 කට පමණ ඉහත ලේ වැගිරුණු ස්ථානයක් බවත්, භූමියේ ජීවිත හානි සිදුව ඇති බවත් මා පැවසුවෙමි. ඒ හේතුවෙන් භූමිය තුළ අමනුෂ්‍ය බලපෑම් පවතින බවත්, එම බලපෑම් ඉස්මතුව ඇත්තේ මෑත කාලයේදී බවත්, අමනුෂ්‍ය බලපෑම් ඉවත් කිරීමෙන් ගැටළු කරදර දුරු කර ගත හැකි බවත් පැවසුවෙමි. ඇතැම් විට සත්ව ගොවිපළක් තිබෙන්නට ඇතියි පැවසූ නිලධාරී මහතා නැවත දුරකතනයෙන් අමතන බව පවසා යන්නට ගියේය. 
දින දෙකකට පසුව එම නිලධාරියා නැවත දුරකතනයෙන් මා ඇමතුවේය. මා පැවසූ කරුණු ඉතාමත් නිවැරදි බවත් 88,89 කාලයේදී තරුණ පිරිස් රැගෙන විත් එම භූමියේදී ඝාතනය කර ඇති බව දැනගන්නට ලැබුණු බවත්, එවකට එම ප්‍රදේශය ඝන වනාන්තරයක්ව පැවතී ඇති බවත් පැවසුවේය. පවතින දෝෂ ඉවත් කිරීම ඉතාමත් ඉක්මණින් පැමිණෙන ලෙස ද ඉල්ලා සිටියේය. 

 අවශ්‍ය කළමනා සියල්ල දැනුම් දී  දිනයක්ද යොදාගෙන අමනුෂ්‍ය දෝෂ ඉවත් කිරීමේ කාර්යයට සුදානම් වුණෙමි. සගයාද කැටුව මා කර්මාන්තශාලාවට ළඟා වන විට රාත්‍රී අට පමණ විය.ප්‍රථමයෙන්ම සිරිත් පරිදි කඩවර ගොටුව පුදා,  කර්මාන්තශාලා භූමියේ අට කොණින් පස් ගෙන රූපයක් තනා, එය අළු කෙසෙල් අලයෙන් තැනූ මිනී පෙට්ටියක බහා පියන වසා පැය කීපයක් ජීවම් කළෙමි.ඊට අමතරව පුහුල් ගෙඩියක්ද, දෙහි සහ අහුද මතුරා කර්මාන්තශාලාව වටා දුම්මල ගැසුවෙමි.
   අට කොණ පස් ගෙන තැනූ රූපය සහිත මිනී පෙට්ටිය කැපීමට සූදානම් වූයේ අලුයම හතර හමාරට පමණ ය. තවත් යමක් පැවසිය යුතුය. එනම්, පාලනාධිකාරිය විසින් හාවුන් කීප දෙනෙක් කර්මාන්තශාලා භූමියේ අලංකාරය පිණිස ඇතිකළ බවය. කර්මාන්තශාලාව වටා ශක්තිමත් තාප්පයකි.
අළුකෙසෙල් අලයෙන් තැනූ මිනී පෙට්ටිය කැපිය යුත්තේ භූමියට ඇතුල්වන ස්ථානයේදී ය. එය කැපීමට සූදානම්ව සිටියේ ආයතනයේ සාමාන්‍යධිකාරීවරයා යි.
 මා ලබාදුන් සංඥාවට අනුව ඔහු කඩුව ඔසවා එක්වරම මිනී පෙට්ටිය දෙපළු වන සේ කෙටුවේය. ගේට්ටුවට එපිටින් හාවෙක් කෑ ගසන හඬ ඇසී සියල්ලෝ විශ්මයට පත්වූහ.ගේට්ටුවට එපිටින් පාර මැද සිටි බල්ලෙක් හාවෙකු රැගෙන දිව ගියේ සියල්ලන් මවිත කරමිනි. හාවුන් අතර සිටි එකම කළු පැහැති හාවාය. හාවා පාරට ගියේ කොතැනින්දැයි කිසිවෙකුටත් සිත ගැනීමට නොහැකි විය.හාවුන් ඇති දැඩි වූයේද කර්මාන්තශාලා භූමියේ පිටුපස කොටසේ ය.
  කැපීම් සියල්ල සිදු කොට, ආරක්ෂක මංජුසා අට කොණ වල දමා කාර්යය නිම කළෙමි.  කර්මාන්තශාලාවේ පැවති සියලු ගැටළු, අර්බුධ මේ වන විට දුරුව ගොසිනි.

Tuesday, May 23, 2017

කළුකුමාර දෝෂය.


  කළුකුමාර දෝෂය ගැන අසා නැති කෙනෙක් නැති තරම්. කළුකුමාර දෝෂය ඒ තරමටම ප්‍රසිද්ධයි. කාන්තාවන් නිතර දෙවේලේ කළුකුමාර දෝෂය ගැන  විමසනවා.
 කලුකුමාරයා යනුවෙන් සැබෑවටම කෙනෙක් සිටිනවාද? එහෙම අයෙක් සිටින්නේ නම් ඔහු නොයෙක් තැන්හි සිටින කාන්තාවන්ට එක විට බලපෑම් කරන්නේ කොහොමද? කළුකුමාරයා බලපෑම් කරන්නේ මොන වගේ කාන්තාවන්ටද? කළුකුමාරයා කාන්තාවන්ට බලපෑම් කරන්නේ ඇයි? මේ ආදී ගැටළු නිවැරදිව නිරාකරණය කරගැනීම මෙම ලිපියේ අරමුණයි.
  " නිදාගෙන ඉන්න අතරෙදි කවුරු හරි කෙනෙක් ශරීරය ස්පර්ශ කරනවා වගේ දැනෙනවා..." " නින්දෙදි කවුදෝ කෙනෙක් ඇඟ උඩ ඉන්නවා වගේ දැනෙනවා... නැගිටින්න හැදුවට නැගිටගන්න බැරුව යනවා..."  " නින්දෙන් කවුරු හරි කෙනෙක් මාත් එක්ක ශාරීරිකව එකතුවෙන බවක් දැනෙනවා..."
ඔන්න ඔය විදියේ ගුප්ත ගැටළු දිවයිනේ විවිධ ප්‍රදේශ වල වෙසෙන තරුණියන්ගෙන් වගේම විදේශ ගතව සිටින තරුණියන්ගෙනුත් ඉදිරිපත් වෙනවා.තරුණියන්ට ඔය විදියේ බලපෑම් එල්ල කරන්නේ කළුකුමාරයා ද?
    කළුකුමාරයා යනු කවරෙක් දැයි මුළින්ම විමසා බලමු. විශ්වය තුළ නොපෙනෙන බලවේග අප්‍රමාණව පවතිනවා.බුදුන් වහන්සේ ගේ දේශනාවට අනුව සත්ව විෂය අචින්ත්‍යයි. මේ අචින්ත්‍ය වූ සත්ව විෂය තුළ ප්‍රේත,පිශාචාදී අමනුෂ්‍ය බලවේග අප්‍රමාණව සිටිනවා.සත්වයින් තම තමන්ගේ කර්ම ශක්තිය අනුව මනුෂ්‍ය, තිරිසන්,ප්‍රේත,අසුර, නිර,දිව්‍ය, බ්‍රහ්ම ආදී ලෝක වල උප්පත්තිය ලබනවා. මනුෂ්‍යයින් හා තිරිසන් සතුන් අපට දර්ශනය වුණත් ප්‍රේත, පිශාචාදී සත්වයින් අපේ  ඇසට පෙනෙන්නේ නෑ. ඔවුන් තන්මාත්‍රමය සූක්ෂම ශරීර වලින් යුක්ත වන නිසා අපට දර්ශනය වෙන්නෙ නෑ.
 ජීවත්ව සිටියදී පුද්ගලයෙකු තුළ පවතින ප්‍රමුඛ ගති පැවතුම්, රුචි අරුචිකම් සංසාරිකව තමන් සමග බැඳී ගමන් කරනවා.පාලනය කරගැනීමට නොහැකි තරමේ කාමාශාවන් සහිත පුද්ගලයින් සමාජය තුළ මොන තරම් සිටිනවාද...හය හතර නොතේරෙන කුඩා දැරියන් පවා දුෂණය කරන කාමුක මිනිසුන් සමාජය තුළ ඉන්නවා.තමන්ගේ දියණියගෙන් ආශාවන් සංසිඳුවා ගන්නා පියවරු ඉන්නවා.එක ගැහැණියකගෙන් සැහීමකට පත් නොවී වෙනත් කාන්තාවන් කරා යන ස්වාමිපුරුෂයින් ඉන්නවා. කාමයට ලොල් වූ මේ විදියේ මිනිසුන් මරණින් මතු ප්‍රේත ලෝකයේ උප්පත්තිය ලබන්නේ කාමුක ප්‍රේතයින් ලෙසයි.මේ වගේ අමනුෂ්‍යයෝ කාන්තාවන්ට ප්‍රිය කරනවා. සමහරු කාන්තාවන්ව ස්පර්ශ කරනවා.කාන්තාවන් සමග සයනය කරනවා.කාන්තාවන්ගේ නොයෙක් අප ද්‍රව්‍ය කෙරෙහි ලොල් වූ අමනුෂ්‍යයොත් ඉන්නවා. මෙන්න මේ ආකාරයට කාන්තාවන් කෙරෙහි ලොල් වූ අමනුෂ්‍ය කොටස හඳුන්වන්න භාවිතා කරන පොදු නම තමයි " කළුකුමාරයා " කියන්නේ. සමිති සමාගම්, සංවිධාන ආදියට නමක් තියෙනවා,සංකේතයක් තියෙනවා වගේ කළුකුමාරයා කියලා පොදු නමක් දාලා නල දත් සහිත කළු මනමාල පෙනුමක් තියෙන රූපයකින් සංකේතවත් කරලා තියෙනවා.අතීතයේ විසූ උගතුන් සංකේත භාවිතා කිරීමේ දක්ෂයින් බව යක්ෂ රූප, දේව රූප හා ග්‍රහ සංකේත ආදියෙන් මනාව ඔප්පු වෙනවා. දෙවි කෙනෙකුගේ ශක්තිය,බලය පෙන්වන්න අත් කීපයක්,මුහුණු කීපයක් භාවිතා කළා.ඒ හැම සංකේතයකම බොහොම අර්ථවත් විස්තරයක් සැඟවී තියෙනවා.  එහෙමනම් හොඳින් තේරුම් ගන්න කළුකුමාරයා කියන්නෙ අමනුෂ්‍ය කාණ්ඩයකට මිසක්  එක යක්ෂයෙකුට නෙමෙයි. 
    කාමයට ලොල් වූ මේ අමනුෂ්‍යයින් සෑම කාන්තාවකටම බලපෑම් කරනවද? නෑ. එහෙමනම් මොන වගේ කාන්තාවන්ටද බලපෑම් කරන්නේ? මේ අමනුෂ්‍යයින් කාන්තාවකට සමීප වෙන්නේ ඇය වෙතින් මුදා හැරෙන   සිතුවිළි හා හැඟීම් හරහා යි. විවාහක කාන්තාවකගේ සැමියා විදේශ රටක සේවය කරනවා යැයි සිතන්න. සැමියා සිහිවීමෙන් ඇය තුළ ඇතිවෙන ලිංගික හැඟීම්, කාමුක සිතුවිළි හා සම්බන්ධ වන අමනුෂ්‍යයා ඇයට සමීප වෙනවා.සමීපව පෙම්වතෙක් ඇසුරු කළ යුවතියක් ඔහුගෙන් දුරස් වී කල් ගෙවන විටද මෙවැනි අමනුෂ්‍යයින් සමීප වෙනවා. කායික ඇසුර අවශ්‍ය නමුත් එය අහිමිව සිටින කාන්තාවන්ට, විවාහ වන වයස ඉක්මවා ගොස් සිටියත් විවාහ නොවී සිටින කාන්තාවන්ටද  මෙවැනි අමනුෂ්‍යන්ගේ බලපෑම් එල්ල වෙනවා.ඇතැමුන්ට මෙවැනි අමනුෂ්‍ය බලපෑම් හේතුවෙන් නොයෙක් රෝග පීඩාවන් ද ඇතිවෙනවා. 
  තනියෙන් ඉන්න සෑම කාන්තාවකටම මේ වගේ අමනුෂ්‍ය බලපෑම් එල්ල වෙන්න පුලුවන්ද?  එහෙම වෙන්නෙ නෑ. අපේ ශරීරය වටා රශ්මි මණ්ඩලයක් හෙවත් රැස් වළල්ලක් පවතිනවා. අපේ ඇසට නොපෙනුණත් මෙය අමනුෂ්‍යයින්ට දර්ශනය වෙනවා. මේ රශ්මි මණ්ඩලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා.සිත ප්‍රභාශ්වර නම් රශ්මි මණ්ඩලය දීප්තිමත්ව,ශක්තිමත්ව පිහිටනවා.සිත දුර්වල නම්, පාපකාරී සිතුවිළි බහුල නම් රශ්මි මණ්ඩලය දුර්වල වෙනවා. ඇතැමුන් ගේ රශ්මි මණ්ඩලය කඩතොළු සහිතයි.කඩතොළු සහිත, දුර්වල රශ්මි මණ්ඩලයක් හරහා අමනුෂ්‍යයින් ගමන් කරනවා.එවැනි දුර්වල රශ්මි මණ්ඩලයක් සහිත අය ට අමනුෂ්‍ය බලපෑම් එල්ල වෙනවා. ප්‍රභාශ්වර රශ්මි මණ්ඩලයක් වූවත් සිතුවිළි රටාවේ වෙනස්වීම් සමග දුර්වල වන අවස්ථා තියෙනවා. තද බල අපල කාලසීමාවන් වලදි පාපී සිතුවිළි ඇතිවෙනවා.නිතර කළකිරීම්, කනස්සලු ගති ඇතිවෙනවා.එවැනි කාලසීමාවන් වලදි තමන්ගේ රශ්මි මණ්ඩලය දුර්වල වෙනවා.විශේෂයෙන්ම කේතු මහ දශා කාලයේදී බොහෝ දෙනෙකුට අමනුෂ්‍ය බලපෑම් එල්ලවෙනවා.සෙනසුරු ගේ ඒරාෂ්ටක අපල කාල වලදි ත් එවැනි බලපෑම් එල්ල වෙන්න පුළුවන්.අපල කාලසීමාවකදී වූවත් දැඩි අධිෂ්ඨානයෙන් යුතුව සිත නිරවුල්ව, ශක්තිමත්ව තබා ගැනීමෙන්  තම රශ්මි මණ්ඩලය ප්‍රභාශ්වරව පවත්වා ගැනීමට හැකිවෙනවා.එවිට අමනුෂ්‍ය බලපෑම් එල්ල වන්නේ නෑ.මෙහිදී ආගමික කටයුතු, විශේෂයෙන් මෛත්‍රී භාවනාව වැඩීම ඉතාමත් වැදගත් වෙනවා.
   කළුකුමාර දෝෂය නමින් හඳුන්වන මෙම අමනුෂ්‍ය බලපෑම් දුරු කරගන්නේ කොහොමද? මෙවැනි අමනුෂ්‍ය දෝෂ ඉවත් කරගැනීම  සඳහා විශාල ලෙස මුදල් වැය කර  කිසිදු ප්‍රතිඵලයක් නොලැබූ බොහෝ දෙනෙක් නිතර දෙවේලේ මේ සම්බන්ධයෙන් විමසනවා. අමනුෂ්‍ය බලපෑමක් එල්ලවන බවක් දැනෙනවා නම් පළමුව මෛත්‍රී භාවනාව වඩන්න. කරදර වැඩි වෙනවා වගේ දැනුණත්  නොපසුබටව දිගටම මෛත්‍රී භාවනාව කරගෙන යන්න. කරණීය මෙත්ත පිරිත සංගායනා කිරීමත් ගුණදායකයි. මාසයකින් දෙකකින් ගුණයක් නොලැබුණොත් පළපුරුදු මන්ත්‍රාචාර්යවරයෙකුට ප්‍රශ්නය ඉදිරිපත් කරන්න.තැපැල් මගින් ගෙන්වා ගන්නා යන්ත්‍ර පැළඳීමෙන් අමනුෂ්‍ය දෝෂ ඉවත් නොවන බවද මතක තබාගන්න.  

        ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය 
           සංජීව කුළුපන බණ්ඩාර

 
 

Sunday, March 19, 2017

ශනි මෘත්‍යුංජය යන්ත්‍රය.


  ශනි මෘත්‍යුංජය යන්නෙහි තේරුම ශනි නමැති මාරයා ජය ගැනීම යන්න යි. ශනි නම් සෙනසුරු ය. මෘත්‍යු යනු මාරයා ය. ජය නම් ජයග්‍රහණය යි. සෙනසුරු ගේ දශා, සෙනසුරු ගේ ලග්න ඒරාෂ්ඨක, ජන්ම ඒරාෂ්ඨක, අෂ්ඨම ඒරාෂ්ඨක, සූර්ය ඒරාෂ්ඨක ආදී අපල කාල සිමාවන් තුළ මෙම යන්ත්‍ර පැළඳීමෙන් අපල මර්දනය වේ.
  යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරනවා යැයි හතර අතේ දැන්වීම් පළ කරන ගුරුකම් කරුවන් ශනි මෘත්‍යුංජය යන්ත්‍රය සැකසීමට තබා ශනි මෘත්‍යුංජය යන්නෙහි තේරුමවත් දන්නවා දැයි සැක සහිතය. අද වන විට යන්ත්‍ර ශාස්ත්‍රය බලවත් ලෙස පිරිහීමට පත් වෙමින් පවතින අතර යන්ත්‍රයක් ශාස්ත්‍රානුකූලව ඇඳගැනීමට දන්නා අයද විරළ ය. එම නිසාම අද බොහෝ ජ්‍යොතිෂවේදීන් කෝකටත් තෛලය මෙන් සෑම අපලයකටම මැණික් ගල් නිර්දේශ කරන බව පෙනෙන්නට තිබේ.
  ශනි මෘත්‍යුංජය යන්ත්‍රය නිවැරදිව, ශාස්ත්‍රානුකූලව සකස් කරගන්නා ආකාරය මෙයින් විස්තර කෙරේ.
 යන්ත්‍රයක් ඇඳගැනීමේදී තඹ පතක් කපා ගත යුතු නියමිත දිගක්, පළලක් තිබේ. සුබ කටයුතු සඳහා යන්ත්‍රයක් සකස් කිරීමේදී පළල මෙන් දිගට,පළල මෙන් තුන් ගුණයක් දිගට, පළල මෙන් පස් ගුණයක් දිගට හෝ පළල මෙන් අට ගුණයක් දිගට ගත යුතුය.  ශනි මෘත්‍යුංජය යන්ත්‍රය ඇඳගැනීමේදී අඟල් දෙකක් පළල, අඟල් හයක් දිග තඹ තහඩුවක ඇඳ ගැනීම වඩාත් යෝග්‍ය වේ.මෙසේ නිවැරදි ප්‍රමාණයට කපාගත් තඹ තහඩුවේ යන්ත්‍රය ඇඳ  ගතයුත්තේ සුබ හෝරාවක, සුබ දිශාවට මුහුණලා සිට ය. ඇඳගත යන්ත්‍රය කළු මැදීමට පෙර කහ දියෙන් සෝදා ගත යුතුය.පසුව කස්තුරි,කුංකුමප්පු, ගොරෝචන සඳුන් තෙලින් අඹරා ඒවා ප්‍රාණ මන්ත්‍රයකින් මතුරා යන්ත්‍රය කළු මද ගත යුතුය.
    යන්ත්‍රය ජීවම් කිරීමේදී හෙවත් මැතිරීමේදී අල්ලා ගැනීමට යන්ත්‍රය වටා දවටන නූල "යන්ත්‍ර හූය" නමින් හැඳින්වේ.ශනි මෘත්‍යුංජය යන්ත්‍රය ජීවම් කිරීමේදී භාවිතා කරන හූය සඳහා සුදු පැහැති කපු නූල් හත් පටක් හෝ නම පටක් ගැනීම යෝග්‍ය වේ. මෙසේ හූය ද පිළියෙළ කරගත් පසුව යන්ත්‍රය ජීවම් කිරීම සඳහා සූදානම් විය යුතුයි.යන්ත්‍රය ජීවම් කිරීම ඇරඹිය යුත්තේ යන්ත්‍රය පළඳවන පුද්ගලයාට සුබදායක දිනයක, සුබ වේලාවක ය.
   ශනි මෘත්‍යුංජය යන්ත්‍රය ජීවම් කිරීමට පෙර විෂ්ණු දෙවියන් උදෙසා පූජාවක් පැවැත්විය යුතුය.මෙම පූජාව සඳහා ගෙඩි පිටින් පළතුරු වර්ග 7ක් හෝ 5ක් තැබිය යුතුයි. එළඟිතෙල් පහනක් දල්වා,සුවඳ දුම් දී විෂ්ණු දෙවියන්ට ආරාධනා කර ශ්‍රී විෂ්ණු ස්තෝත්‍රයක් ගායනා කළ යුතුයි.

විෂ්ණු දේව ආරාධනාව හා නමස්කාරය 

ශ්‍රී විෂ්ණු නාරායනෝත්වං දෘඩතර විමලං පාද පද්මාවතාරං 
ශ්‍රීමත් වංශාවතාරං  හරි හර ස‍රණං දේව දේවං නමාමි 

ශ්‍රී රාම නාරායන වාසුදේව 
ගෝවින්ද වෛකුන්ඨ මුකුන්ද කෘෂ්ණඃ 
ශ්‍රී කේෂ්වානන්ද නාසිංහ විෂ්ණු 
මං පාහි සංසාර භූජග දෘෂ්ටි  
   යන්ත්‍රය ජීවම් කිරීමේදී ඊට නියමිත ආකාරයට පූජාසනය සකස් කරගත යුතුයි.මේ සඳහා යකඩ ඇණ නොගැසූ යොදා ගැනීම වඩාත් ප්‍රතිපලදායකයි. මේසය මත සුදු රෙද්දක් එලා ඒ මත කෙසෙල් කොළ අතුරා මල්,බුලත්,ලද පස්මල්,අඳුන්,සඳුන්,පිනිදිය,පළතුරු, කැවිලි,ගිතෙල්,නුග පත්‍ර තැබිය යුතුයි.එළඟිතෙල් මිශ්‍ර පහන් තුනක් දැල්විය යුතුයි.
 තැඹිලි ගෙඩියක ඇස්ස කපා හිල් නොකර ඒ මත ගොක් කොළ වලින් හෝ ඉරටුවලින් යන්ත්‍රාසනය සාදා ගත යුතුයි. එම යන්ත්‍රාසනය මත යන්ත්‍රය තබා හූයෙන් වෙලා, හූයේ කෙළවර දකුණතින් අල්ලාගෙන ජීවම ඇරඹිය යුතුයි.
    යන්ත්‍රය ජීවම් කිරීමට පෙර කහ දිය ස්වල්පයක් කුඩා භාජනයකට ගෙන එයට කිළි හරණ මන්ත්‍රයෙන් 7 වර මතුරා පූජාසනය වටා ඉසිය යුතුයි.

කිළි හරණ මන්ත්‍රය.
ඕං ත්‍රිෂ්ට්‍යා ත්‍රිෂ්ට්‍යා අසජ්ජි උරිංචි පොන්නාල් නමෝ ඒස්වා හඃ 

කිළි ඉවත් කිරීමෙන් පසුව වරං ගැනීමේ මන්ත්‍රය තුන් වරක් කියා යන්ත්‍රය ජීවම් කිරීමට සුදානම් වීම නිසි පිළිවෙතයි.
වරං ගැනීමේ මන්ත්‍රය 
ඕං ගුරු වරං ගුරු පත්‍ර කාලි වරං සුර වරං සුර පත්‍ර කාලි වරං අසුර වරං අසුර පත්‍ර කාලි වරං දේව වරං දේව පත්‍ර කාලි වරං නාග වරං නාග පත්‍ර කාලි වරං කෛලාසන වරං කෛලාසන ගුරු ධාරණේ වරං යන්ත්‍ර වරං යන්ත්‍ර මන්ත්‍ර වරං මන්ත්‍ර තන්ත්‍ර වරං ශ්‍රී විෂ්ණු වරං ශ්‍රී විෂ්ණු නාරායනේ වරං ආකාශ වරං ආකාශ සූර්යානේ වරං චන්ද්‍ර වරං චන්ද්‍ර පද්ම කෛලාසනේ වරං භූමි වරං භූමි ජාල මහී කාන්තා දේව ගුරු දැපනේ වරං ඊශ්වර වරං ඊශ්වර මහේෂ්වර වරං ක්‍රතේශ්වර වරං   ක්‍රතේශ්වර නාථේශ්වර වරං ශ්‍රී විෂ්ණු කන්ධ කුමාර වරං සත් පත්තිනි ගිනි දෙවොල් වරං වෙසමුණි වරං වෙසමුණි දැඩිමුණ්ඩ වරං නවග්‍රහ වරං නවග්‍රහ නව දෙනා වරං හනුමා වරං හනුමා පත්‍ර කාලි වරං සරස්වතී වරං සරස්වතී මෝහිනී වරං භෛරවී වරං භෛරවී ශ්‍රියා දේවී වරං ඔඩ්ඩියා වරං ඔඩ්ඩියා ඉර්ලා වරං යක්ෂයා වරං යක්ෂණී වරං හිමාල වරං හිමාල ජලතල වරං පර්වත වරං පර්වත වෘක්ෂ වරං සර්වාංග වරං සර්වාංග ප්‍රාණ වරං ඉරු රැස් වරං තරු රැස් වරං බුදු රැස් වරං බුද්ධ රශ්මි ආලෝක ජීව ප්‍රාණ සර්ව ලෝක ජීව ප්‍රාණ සර්වාලෝක දේවාරාධනා නමස්කාර වර වර නමාමි නමඃ 
  
යන්ත්‍ර මන්ත්‍ර කටයුතු වලදී දිෂ්ටි මන්ත්‍රයක් භාවිතා කිරීම අනිවාර්ය වේ. දිෂ්ටි මන්ත්‍රයක් භාවිතා කිරීමෙන් තොරව යන්ත්‍රයකින් නිසි ප්‍රතිපල ලබා ගැනීම අසීරුය. වශී, ආකර්ෂණ, මෝහන, ස්ථම්භන, ශාන්ති, විද්වේෂණ, උච්චාටන, මාරණ ආදී අෂ්ඨ විධ කාර්යයන් වලදී ඊට ගැළපෙන දිෂ්ටි මන්ත්‍රයක් භාවිතා කළ යුතුය. ග්‍රහ අපල සඳහා යන්ත්‍ර සෑදීම අයත් වන්නේ ශාන්ති නම් අංගයටය. එහිදී භාවිතා කළ යුත්තේ නවග්‍රහ දිෂ්ටියයි.නවග්‍රහ දිෂ්ටියෙන් සාම්බ්‍රානි 108 වරක් මතුරා පූජාසනයට දුම් ඇල්ලිය යුතුයි.

නවග්‍රහ දිෂ්ටිය 
ඕං සූර්ය වරං සූර්ය දිෂ්ටි වරං ජීව ප්‍රාණ ජීව ප්‍රාණ දිෂ්ටි නමඃ 
ඕං චන්ද්‍ර වරං චන්ද්‍ර දිෂ්ටි වරං ජීව ප්‍රාණ ජීව ප්‍රාණ දිෂ්ටි නමඃ 
ඕං කුජ වරං කුජ  දිෂ්ටි වරං ජීව ප්‍රාණ ජීව ප්‍රාණ දිෂ්ටි නමඃ 
ඕං බුධ වරං බුධ  දිෂ්ටි වරං ජීව ප්‍රාණ ජීව ප්‍රාණ දිෂ්ටි නමඃ 
ඕං කිවි වරං කිවි දිෂ්ටි වරං ජීව ප්‍රාණ ජීව ප්‍රාණ දිෂ්ටි නමඃ 
ඕං ශනි වරං ශනි දිෂ්ටි වරං ජීව ප්‍රාණ ජීව ප්‍රාණ දිෂ්ටි නමඃ 
ඕං පනි වරං පනි  දිෂ්ටි වරං ජීව ප්‍රාණ ජීව ප්‍රාණ දිෂ්ටි නමඃ 
ඕං බඹ වරං බඹ  දිෂ්ටි වරං  ජීව ප්‍රාණ ජීව ප්‍රාණ දිෂ්ටි නමඃ 
ඕං කන්දකුමාර වරං කන්දකුමාර දිෂ්ටි වරං ජීව ප්‍රාණ ජීව ප්‍රාණ දිෂ්ටි නමඃ 
ඕං විෂ්ණු  වරං විෂ්ණු  දිෂ්ටි වරං ජීව ප්‍රාණ ජීව ප්‍රාණ දිෂ්ටි නමඃ 
ඕං පත්‍ර කාලි  වරං පත්‍ර කාලි  දිෂ්ටි වරං ජීව ප්‍රාණ ජීව ප්‍රාණ දිෂ්ටි නමඃ 

දිෂ්ටි මන්ත්‍රයෙන් ජීවම් කිරීමෙන් අනතුරුව ප්‍රාණ මන්ත්‍රයෙන් 108 වාරයක්ද,මන්ත්‍ර සුද්ධියෙන් 21 වරක්ද,යන්ත්‍රයට නියමිත මන්ත්‍රයෙන් 1008 වරක්ද, නැවත දිෂ්ටි මන්ත්‍රයෙන් 21 වරක්ද,ප්‍රාණ මන්ත්‍රයෙන් 21 වරක්ද, පලිප්පු මන්ත්‍රයෙන් 108 වරක්ද, සිද්ධි මන්ත්‍රයෙන් 21 වරක්ද, පුට මන්ත්‍රයෙන් 108 වරක්ද මතුරා දුම් අල්ලා අවසාන කළ යුතුය.

යන්ත්‍රයට නියමිත ජීවම් මන්ත්‍රය 

ඕං ජුං සඃ භූර්භුවඃ සඃ ස්වාහා ඕං ජුං සඃ භූර්භුවඃ සඃ ( නම,ලග්නය,නැකත) නාම දේහස්‍ය අපමුර්තු භයාදී සර්ව දෝසාං නාසය නාසය සර්ව විදේහං ඵාලය ඵාලය ස්වාහා 

යන්ත්‍රය ජීවම් කිරීමේදී අතරමග ජපය නවත්වා නැගිට යාමට අවශ්‍ය වූවොත් පහත මන්ත්‍රයෙන් මලකට 108 වරක් මතුරා එය පූජාසනයේ පසෙකින් තබා නැගිට යා යුතුය.

භෛරවාන්තරේ ස්වස්ති 

ප්‍රාණ මන්ත්‍ර,සිද්ධි මන්ත්‍ර,පුට මන්ත්‍ර, යන්ත්‍රය හකුළන මන්ත්‍රය ආදී සියලු මන්ත්‍ර මෙහි සඳහන් කිරීමෙන් ලිපිය වඩාත් දීර්ඝ වන බැවින් ඒවා සඳහන් නොකරන බව සළකන්න. එසේ වූවද මන්ත්‍ර ශාස්ත්‍රය කැපවීමෙන් ප්‍රගුණ කරන යමෙක් වේ නම් ඒවා ලබාදීමට හැකි බවද සළකන්න.
මේ ආකාරයට ක්‍රමවත්ව, නිසි පිළිවෙලට, කැපවීමෙන් සකසන යන්ත්‍රයකින් ප්‍රතිපල නොලැබී යන්නේ නැත. අද සිටිනා ව්‍යාජ මන්ත්‍ර කරුවන් මේ ආකාරයට කැපවීමෙන් යන්ත්‍රයක් පිළියෙළ කර දෙනු ඇද්ද ? ඕනෑවට එපාවට සකසා දෙන යන්ත්‍රයකින් ප්‍රතිපල නොලැබේ. එසේ වූ විට දොස් පවරන්නේ මන්ත්‍ර ශාස්ත්‍රයටය. මන්ත්‍ර ශාස්ත්‍රය බොරු නොවේ.කරන දේ කැපවීමෙන් කළ යුතුය.
නිසි පරිදි සැකසූ යන්ත්‍රය රන්, රිදී,පස්ලෝ, තඹ හෝ පිත්තල සුරයක බහා කරේ හෝ ඉනේ පැළඳවිය යුතුයි. සුදු යකඩ සුර යෝග්‍ය නොවන බව මතක තබා ගත යුතුයි. යන්ත්‍රය පැළඳවීමේදී දෙහි කපා, ස්තෝත්‍ර කියා පැළඳවිය යුතුයි. 
මෙවන් ශාස්ත්‍ර වලින් අපගේ හෙළ පරපුර කප්පරක් ප්‍රයෝජන ගෙන ඇති බව නොරහසකි. අද වනවිට සිංහල ජාතිය වඳ වෙමින් පවතින ජාතියකි. ඉන්නා අයගෙන්ද  බහුතරයක් බටහිර රූකඩය. මේවා හෙළයින්ට මිස බටහිර රුකඩයින්ට නොවේ.