මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය.

මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය.
මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය ලෝකයේ ප්‍රබලම මන්ත්‍ර ශාස්ත්‍රයයි . මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රයේ වැදගත්ම අංගය වන්නේ සිද්ධි ලබාගැනීමයි . කාලි ,ගණපති ,මාඩ ශාමි ,භගවතී ආදී සිද්ධි ලබාගැනීමෙන් තොරව මලයාලි ගුරුකම් කල නොහැක .මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය සම්බන්ධයෙන් මා ජ්‍යොතිෂ පුවත්පතකට ලිපි මාලාවක් ලියු අතර ඊට මහත් ජනතා ප්‍රතිචාර ලැබුණි .එම ලිපි මාලාව තුලින් මා හෙළි කළේ මාගේ මුත්තා විසින් කරන ලද විස්මිත ගුරුකම් ගැනය . මාගේ මුත්තා මලයාලි මන්තර ශාස්ත්‍රය ඉගෙනගෙන ඇත්තේ "වේණු ශාමි" නම් කේරළ මන්ත්‍රාචාර්යවරයෙක් ගෙනි . අද බොහෝ දෙනෙක් "මලයාලි ගුරුකම්" කරන බව පැවසුවද ඔවුන් මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රයේ මුලික අංග වත් නොදනී. වරු තුනෙන්, දින තුනෙන් වශී ගුරුකම් කරන බව පවසමින් පුවත්පත් වල පලකරන දැන්වීම් ප්‍රමාණය සුළුපටු නොවේ. කෙනෙක් වෙත කෙනෙක්ගේ සිත ගිය පමණින් වශිකරගැනීමට හැකිනම් ලෝකයේ ඕනෑම කෙනෙක්ව ඕනෑම කෙනෙකුට වශී කරගැනීමට හැකිය. මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය තුළ වශී ගුරුකම් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු විශේෂ විධි,ක්‍රම පවතී. මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය ගැන සියලු විස්තර ,තොරතුරු නිවැරදිව හෙළිකර දෙමින්, පුර්ණ අවබෝධයක් ඔබට ලබාදීමට මම අදහස් කළෙමි. මෙතැන් පටන් පලවන සියලු විස්තර කියවා දැනුම අවබෝධය ලබාගන්නා ලෙසත් , ව්‍යාජ මන්ත්‍ර කරුවන්ට නොරැවටී සිටින ලෙසත් ඉල්ලා සිටිමි.

Friday, July 28, 2017

භූත දෝෂ ඉවත් කළ මෙහෙයුම.


සබරගමු පළාතේ පිහිටි කර්මාන්ත ශාලාවකි. කර්මාන්තශාලා සමූහයක් හිමි සමාගමකට අයත් ප්‍රසිද්ධ ආයතනයකි.වසර ගණනාවක් පුරා ඉතාමත් සාර්ථකව නිෂ්පාදන කටයුතු සිදු කළ කීර්තිමත් ඇඟළුම් කර්මාන්තශාලාවකි.මෙය පිහිටියේ විශාල භූමියක ය.වසර ගණනක් සාර්ථකව පවත්වාගෙන ගිය මෙම ආයතනය තුළ මෑතක පටන් නොයෙක් ගැටළු,අර්බුධ මතුවන්නට විය. සේවක පාර්ශවය හා පාලනාධිකාරිය අතර ගැටුම් ඇතිවන්නට විය.නිෂ්පාදන කටයුතුද අඩාල වන්නට විය.මෙවන් ගැටළු හමුවේ පාලනාධිකාරිය මහත් දුෂ්කරතාවයකට පත්විය.

  දිනක් දුරකතනයෙන් මා ඇමතු නිලධාරියෙක් මා හමුවීමට දිනයක් ඉල්ලා සිටියේය. යොදාගත් දින උදෑසන මා හමුවීමට පැමිණි නිලධාරියා කර්මාන්තශාලාව තුළ උද්ගතව ඇති තත්වය පවසා ඊට විසඳුමක් ලබාදෙන මෙන් ඉල්ලා සිටියේය. ඔහු මා වෙත යොමුකොට තිබුණේ කර්මාන්තශාලා සමූහයේ අධ්‍යක්ෂ වරයෙකි. ඇතිවී තිබුණු තත්වයට විසඳුමක් ඉදිරිපත් කිරීමට පෙර එම තත්වය ඇතිවීමට බලපා තිබෙන හේතුව ඉදිරිපත් කළ යුතුය. කර්මාන්තශාලාව පිහිටි භූමිය වසර 30 කට පමණ ඉහත ලේ වැගිරුණු ස්ථානයක් බවත්, භූමියේ ජීවිත හානි සිදුව ඇති බවත් මා පැවසුවෙමි. ඒ හේතුවෙන් භූමිය තුළ අමනුෂ්‍ය බලපෑම් පවතින බවත්, එම බලපෑම් ඉස්මතුව ඇත්තේ මෑත කාලයේදී බවත්, අමනුෂ්‍ය බලපෑම් ඉවත් කිරීමෙන් ගැටළු කරදර දුරු කර ගත හැකි බවත් පැවසුවෙමි. ඇතැම් විට සත්ව ගොවිපළක් තිබෙන්නට ඇතියි පැවසූ නිලධාරී මහතා නැවත දුරකතනයෙන් අමතන බව පවසා යන්නට ගියේය. 
දින දෙකකට පසුව එම නිලධාරියා නැවත දුරකතනයෙන් මා ඇමතුවේය. මා පැවසූ කරුණු ඉතාමත් නිවැරදි බවත් 88,89 කාලයේදී තරුණ පිරිස් රැගෙන විත් එම භූමියේදී ඝාතනය කර ඇති බව දැනගන්නට ලැබුණු බවත්, එවකට එම ප්‍රදේශය ඝන වනාන්තරයක්ව පැවතී ඇති බවත් පැවසුවේය. පවතින දෝෂ ඉවත් කිරීම ඉතාමත් ඉක්මණින් පැමිණෙන ලෙස ද ඉල්ලා සිටියේය. 

 අවශ්‍ය කළමනා සියල්ල දැනුම් දී  දිනයක්ද යොදාගෙන අමනුෂ්‍ය දෝෂ ඉවත් කිරීමේ කාර්යයට සුදානම් වුණෙමි. සගයාද කැටුව මා කර්මාන්තශාලාවට ළඟා වන විට රාත්‍රී අට පමණ විය.ප්‍රථමයෙන්ම සිරිත් පරිදි කඩවර ගොටුව පුදා,  කර්මාන්තශාලා භූමියේ අට කොණින් පස් ගෙන රූපයක් තනා, එය අළු කෙසෙල් අලයෙන් තැනූ මිනී පෙට්ටියක බහා පියන වසා පැය කීපයක් ජීවම් කළෙමි.ඊට අමතරව පුහුල් ගෙඩියක්ද, දෙහි සහ අහුද මතුරා කර්මාන්තශාලාව වටා දුම්මල ගැසුවෙමි.
   අට කොණ පස් ගෙන තැනූ රූපය සහිත මිනී පෙට්ටිය කැපීමට සූදානම් වූයේ අලුයම හතර හමාරට පමණ ය. තවත් යමක් පැවසිය යුතුය. එනම්, පාලනාධිකාරිය විසින් හාවුන් කීප දෙනෙක් කර්මාන්තශාලා භූමියේ අලංකාරය පිණිස ඇතිකළ බවය. කර්මාන්තශාලාව වටා ශක්තිමත් තාප්පයකි.
අළුකෙසෙල් අලයෙන් තැනූ මිනී පෙට්ටිය කැපිය යුත්තේ භූමියට ඇතුල්වන ස්ථානයේදී ය. එය කැපීමට සූදානම්ව සිටියේ ආයතනයේ සාමාන්‍යධිකාරීවරයා යි.
 මා ලබාදුන් සංඥාවට අනුව ඔහු කඩුව ඔසවා එක්වරම මිනී පෙට්ටිය දෙපළු වන සේ කෙටුවේය. ගේට්ටුවට එපිටින් හාවෙක් කෑ ගසන හඬ ඇසී සියල්ලෝ විශ්මයට පත්වූහ.ගේට්ටුවට එපිටින් පාර මැද සිටි බල්ලෙක් හාවෙකු රැගෙන දිව ගියේ සියල්ලන් මවිත කරමිනි. හාවුන් අතර සිටි එකම කළු පැහැති හාවාය. හාවා පාරට ගියේ කොතැනින්දැයි කිසිවෙකුටත් සිත ගැනීමට නොහැකි විය.හාවුන් ඇති දැඩි වූයේද කර්මාන්තශාලා භූමියේ පිටුපස කොටසේ ය.
  කැපීම් සියල්ල සිදු කොට, ආරක්ෂක මංජුසා අට කොණ වල දමා කාර්යය නිම කළෙමි.  කර්මාන්තශාලාවේ පැවති සියලු ගැටළු, අර්බුධ මේ වන විට දුරුව ගොසිනි.