මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය.

මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය.
මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය ලෝකයේ ප්‍රබලම මන්ත්‍ර ශාස්ත්‍රයයි . මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රයේ වැදගත්ම අංගය වන්නේ සිද්ධි ලබාගැනීමයි . කාලි ,ගණපති ,මාඩ ශාමි ,භගවතී ආදී සිද්ධි ලබාගැනීමෙන් තොරව මලයාලි ගුරුකම් කල නොහැක .මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය සම්බන්ධයෙන් මා ජ්‍යොතිෂ පුවත්පතකට ලිපි මාලාවක් ලියු අතර ඊට මහත් ජනතා ප්‍රතිචාර ලැබුණි .එම ලිපි මාලාව තුලින් මා හෙළි කළේ මාගේ මුත්තා විසින් කරන ලද විස්මිත ගුරුකම් ගැනය . මාගේ මුත්තා මලයාලි මන්තර ශාස්ත්‍රය ඉගෙනගෙන ඇත්තේ "වේණු ශාමි" නම් කේරළ මන්ත්‍රාචාර්යවරයෙක් ගෙනි . අද බොහෝ දෙනෙක් "මලයාලි ගුරුකම්" කරන බව පැවසුවද ඔවුන් මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රයේ මුලික අංග වත් නොදනී. වරු තුනෙන්, දින තුනෙන් වශී ගුරුකම් කරන බව පවසමින් පුවත්පත් වල පලකරන දැන්වීම් ප්‍රමාණය සුළුපටු නොවේ. කෙනෙක් වෙත කෙනෙක්ගේ සිත ගිය පමණින් වශිකරගැනීමට හැකිනම් ලෝකයේ ඕනෑම කෙනෙක්ව ඕනෑම කෙනෙකුට වශී කරගැනීමට හැකිය. මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය තුළ වශී ගුරුකම් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු විශේෂ විධි,ක්‍රම පවතී. මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය ගැන සියලු විස්තර ,තොරතුරු නිවැරදිව හෙළිකර දෙමින්, පුර්ණ අවබෝධයක් ඔබට ලබාදීමට මම අදහස් කළෙමි. මෙතැන් පටන් පලවන සියලු විස්තර කියවා දැනුම අවබෝධය ලබාගන්නා ලෙසත් , ව්‍යාජ මන්ත්‍ර කරුවන්ට නොරැවටී සිටින ලෙසත් ඉල්ලා සිටිමි.

Thursday, November 9, 2017

මහා හෙණරාජ තෛලය.


ඉස්සර සිටි අපේ වෙද මහත්තුරුන්ට මන්ත්‍ර ශාස්ත්‍රය, ජ්‍යොතිෂය, කෙම් ක්‍රම ආදිය ගැනත් හොඳ දැනුමක් තිබුණා. ජන්ම පත්‍රය ආශ්‍රයෙන් ලෙඩ රෝග හොයා ගත්තා. වෙදකම් කරන කොට මන්ත්‍ර ශාස්ත්‍රයත් ප්‍රයෝජනයට ගත්තා. ලෙඩාගේ ඉක්මන් සුවය ගැන මිසක්කා මුදල ගැන හිතුවෙ නෑ.එදා අපේ වෛද්‍යවරු කරපු හපන්කම් කරන්න පුළුවන් අය අද කාලෙ නෑ. බෙහෙත් පැළෑටියක් අඳුරගන්න පුළුවන් අයත් දැන් හරි අඩුයි. හැබැයි වෙනත් රටවල් වලට නම් අපේ ඔසු පැළ, බෙහෙත් වට්ටෝරු,පුස්කොල පොත් ගොඩක් වටිනවා. අපේ ඔසු පැළ ගණනාවක් හොරෙන් අරගෙන ගිහින් පේටන්ට් අයිතිය පවා අරගෙන තියෙන්නේ ඒ හින්දයි. අපේ පුස්කොල පොත් ලක්ෂ ගානක් තවමත් එංගලන්තයේ තියාගෙන ඉන්නවා.
   ලෙඩ සුව කරන තෙල් බෙහෙත් වර්ග වගේම නොයෙක් විපත්, අනතුරු, අමනුෂ්‍ය බලපෑම්, හදි හූනියම් ආදියෙන් ආරක්ෂාව සලසන තෙල් බෙහෙත් වර්ගත් අතීතයේදී භාවිතා කරලා තියෙනවා. ඒ අතරින් ඉතාමත් සුවිශේෂී තැනක් හිමිවෙන මහා බලගතු තෙලක් තමයි "මහා හෙණරාජ තෛලය" කියන්නේ. මේ තෙල් බිංදුවක් රන් සුරයකට දාලා පැළඳගෙන ඉන්න කොට වෙඩි තිබ්බත් වදින්නේ නෑ කියලා තමයි සඳහන් වෙන්නේ.අනතුරු වලින් වගේම නොයෙක් ලෙඩ රෝග වලිනුත් සුවය ලැබෙන තරමේ බලයක් මේ තෙලේ තියෙනවා කියල සඳහන් වෙනවා.
   හෙණරාජ තෙල හදාගන්න එක එච්චර ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. වටිනා දේවල් කොහොමත් ලේසියෙන් පහසුවෙන් හදාගන්න බෑ. මහන්සිය නොබලා කැපවීමෙන් හදාගන්න පුළුවන් නම් වටිනාකම කියල නිම කරන්න බෑ. තෙල හිඳගන්නා ස්ථානය ඉතාමත් පිරිසිදු ස්ථානයක් වෙන්න ඕනෑ. උඩු වියන් බැඳගන්න ඕනෑ. මේ කටයුත්තට සහභාගී වන අයත් නාලා පිරිසිදු වෙලා ඉන්න ඕනෑ. තෙල හිඳගැනීමේදී පැඟිරි දර සහ කුරුඳු දර විතරක් භාවිතා කරන්නත් ඕනෑ. තෙල දවස් තුනක් මඳ ගින්නේ පැසෙන්න ඕනෑ.
අවශ්‍ය ඖෂධ වර්ග 
ඇත්දෙමට මුල්, වෙනිවැල්ගැට මුල්, පනම්පෙති මුල්, අංකෙන්ද මුල්, අමුකහ මුල්, දෙමට මුල්, මඟුල් කරඳ මුල්, අනෝදා මුල්, වේලා මුල්, කුරුඳු මුල්, නික මුල්, වරා මුල්, ඉරමුසු මුල්, දෙහි මුල්, දොඩම් මුල්.  
මෙම මුල් වර්ග වෙන වෙනම කොටාගෙන යුෂ නැලිය බැගින් රැස් කරගන්න ඕනැ. හොඳින් පෙරාගත්තු මේ යුෂ භාජනයකට දාලා සුබ නැකතකින් ලිප මත තියන්න ඕනෑ. පැඟිරි දරින් සහ කුරුඳු දරින් ගිනි දල්වන්න ඕනැ.
    තෙලට යොදන කල්කය සඳහා යොදා ගත යුතු ඖෂධ.
තිපල්( අරළු,බුළු,නෙල්ලි), වියලි ඉඟුරු, සුදු ලූනු, අබ, නවසාරම්, අක්‍රපට්ටා,සීනක්කාරම්, උළුහාල්, මනෝසීල, හිරියල්, සුවඳකොට්ටං, දේවදාර, කරාබුනැටි,සාදික්කා,වසාවාසි,සුදුදුරු,කළුදුරු,රත් හඳුන්, හරංකහ, කඟවේනා අං, සුවස ලුණු, බළල් ලුණු, යවකාර ලුණු, දිය ලුණු 
  මෙම ඖෂධ කළඳ බැගින් ගෙන එයට පෙනෙල ගෙඩි ගෙන කොටා මිරිකා යුෂ පතක් දමා හොඳින් කුඩු කරගත යුතුයි.එම කුඩු ඇඹුල් දොඩම් ඉස්මෙන්  හා ඉඟුරු ඉස්මෙන්  අඹරාගෙන තල තෙල්, මී තෙල්,එඬරු තෙල්, කොහොඹ තෙල්,එළඟිතෙල්, පරණ පොල් තෙල් එක වර්ගයකින් පත හතර බැගින් ගෙන මිශ්‍රණයට එක් කර ලිප මත පැසෙන හැලියට එක් කළ යුතුයි. කල්කය ඉටි සේ ඇලෙන පදමට පත් වන තුරු දින තුනක් තෙල පැසෙන්නට හැරිය යුතුයි.පාක සිද්ධි සම්පුර්ණ වන විට තෙල ලිපෙන් බා ගත යුතුයි.සත් පැයක් නිවෙන්නට හැර වෙනම හැලියකට තෙල පෙරා ගත යුතුයි. පෙරාගත් තෙල තවත් පැය හතක් තිබෙන්නට හරින්න ඕනැ.
පසුව උරුලෑ සට්ටන්, සුදු හඳුන්, හිඟුරු පියළි, නාමල් රේණු, කට්ටකුමංජල්, මොනර පිල්, හරංකහ, සුවඳ කොට්ටං සමව ගෙන කුඩු කර සිනිඳුවට අඹරාගෙන තෙල මතට ඉහින්න ඕනැ. මෙන්න මේ විදියට තමයි තෙල සිඳගැනීමේ කටයුත්ත කරන්නේ.
  තෙල ලිප මත තබා ප්‍රථමයෙන්ම රතන සූත්‍රය 108 වරක් සංගායනය කළ යුතු අතර,  තෙල ලිපෙන් බාගෙන පහත මන්ත්‍රයෙන් 108 වරක් ජීවම් කර ගත යුතුයි. ඔසු මුල් ලබා ගැනීමේදීද රතන සූත්‍රය සංගායනා කිරීම වඩාත් ප්‍රතිපලදායක වේ.
මන්ත්‍රය.
ඕං වීර චන්ද්‍ර රත්න සෝම නාරයණාය ගහ දේවි පරමාං ගුරු දේව ජෝ හර හර දේව දෙවියන් අණින් මුනියානං අණින් යව රාක්ෂ ආතුර රක්ෂ යන්ත්‍ර රක්ෂ මන්ත්‍ර රක්ෂ ඖෂධ රක්ෂ තෛල රක්ෂ ඝනකෝටි දෙවියන් අණින් ආකාශ බන්දම් සියලු බන්දම් ජිවිත රක්ෂන්තු කුරු කුරු දිෂ්ටි ඕං ප්‍රාණ ප්‍රාණ ජීව ජීව අජීව අජීව සිද්ධි සිද්ධි කුරු කුරු දිෂ්ටි හෙණරාජ දිෂ්ටි දිෂ්ටි සිද්ධි සිද්ධි මුළු දිෂ්ටි දිෂ්ටි ප්‍රලයන්තු බ්‍රං බ්‍රං සුං සුං රාං රාං රීං රීං හුං හුං ඕං ඕං සිද්ධි සිද්හි භවන්තු ඒස්වාහ 
  මෙසේ ජීවම් කරගත් තෙල සුරයක දමා පැළඳීමට ප්‍රථමයෙන් පහත මන්ත්‍රයෙන් 108 වරක් ජීවම් කරගත යුතුයි.
ඕං ආං හ්රීං ඊශ්වර වාචඃ නවනාථ භෛරවඃ කාකාලිනේ මා මහී හනුමන්තා අත්ත අච්ච මේද කාච්ච පෝල අඩි පට්ටු පොඩි පට්ටු නහර පට්ටු ඕං හ්රිං ප්‍රොං පෝග ප්‍රගත ප්‍රශෂ්ටි පිල්ලි විසාදි දේව නරායනේ ඉරංගු කාමුනියානේ මුට්ටු කොලා ඉරංගු අර අරූ කොටාටු සුරයු අංගුලිමාල ඕංකාර ගුරු ප්‍රසාදනේස්වඃ 
 මෙම වටිනා තෙල හිඳගන්නා ක්‍රමය, යොදාගන්නා ඖෂධ ආදී විස්තර අද ඇත්තේ ඉතාමත් ස්වල්ප දෙනෙකු අත පමණය.