මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය.

මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය.
මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය ලෝකයේ ප්‍රබලම මන්ත්‍ර ශාස්ත්‍රයයි . මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රයේ වැදගත්ම අංගය වන්නේ සිද්ධි ලබාගැනීමයි . කාලි ,ගණපති ,මාඩ ශාමි ,භගවතී ආදී සිද්ධි ලබාගැනීමෙන් තොරව මලයාලි ගුරුකම් කල නොහැක .මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය සම්බන්ධයෙන් මා ජ්‍යොතිෂ පුවත්පතකට ලිපි මාලාවක් ලියු අතර ඊට මහත් ජනතා ප්‍රතිචාර ලැබුණි .එම ලිපි මාලාව තුලින් මා හෙළි කළේ මාගේ මුත්තා විසින් කරන ලද විස්මිත ගුරුකම් ගැනය . මාගේ මුත්තා මලයාලි මන්තර ශාස්ත්‍රය ඉගෙනගෙන ඇත්තේ "වේණු ශාමි" නම් කේරළ මන්ත්‍රාචාර්යවරයෙක් ගෙනි . අද බොහෝ දෙනෙක් "මලයාලි ගුරුකම්" කරන බව පැවසුවද ඔවුන් මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රයේ මුලික අංග වත් නොදනී. වරු තුනෙන්, දින තුනෙන් වශී ගුරුකම් කරන බව පවසමින් පුවත්පත් වල පලකරන දැන්වීම් ප්‍රමාණය සුළුපටු නොවේ. කෙනෙක් වෙත කෙනෙක්ගේ සිත ගිය පමණින් වශිකරගැනීමට හැකිනම් ලෝකයේ ඕනෑම කෙනෙක්ව ඕනෑම කෙනෙකුට වශී කරගැනීමට හැකිය. මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය තුළ වශී ගුරුකම් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු විශේෂ විධි,ක්‍රම පවතී. මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය ගැන සියලු විස්තර ,තොරතුරු නිවැරදිව හෙළිකර දෙමින්, පුර්ණ අවබෝධයක් ඔබට ලබාදීමට මම අදහස් කළෙමි. මෙතැන් පටන් පලවන සියලු විස්තර කියවා දැනුම අවබෝධය ලබාගන්නා ලෙසත් , ව්‍යාජ මන්ත්‍ර කරුවන්ට නොරැවටී සිටින ලෙසත් ඉල්ලා සිටිමි.

Wednesday, December 12, 2018

මියගිය ඥාතීන්ට පින් දීම.


     මියගිය ඥාතියෙක් නැති කිසිවෙක් ඔබ අප අතරේ නෑ. මෙලොව ජීවත් වන සෑම සියලු දෙනාටම මියගිය ඥාතීන් ඉන්නවා. ඒත්, මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සිදුවන්නේ බෞද්ධ ආගමිකයන් අතර පමණයි. පරලොව ගිය තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කළ යුතුයි කියන අදහස ලෝකය තුළ දැනට තිබෙන වෙනත් කිසිම ආගමක දකින්නට නෑ.
 
  මියගිය හැමෝටම පින් අනුමෝදන් කරගන්න පුළුවන්කම තියෙනවද කියන ප්‍රශ්නය  බොහෝ දෙනෙකුට තියෙනවා. මියගිය සෑම කෙනෙකුටම පින් ගන්න පුළුවන් කියල බොහෝ දෙනා හිතාගෙන ඉන්නවා.

ඥාතීන්ට පින් දීම ඇරඹුණේ කවදාද කොහොමද කියලා දැනගෙන ඉන්න එකත් වැදගත් වෙනවා.
   
අප ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පැමිණ ටික කලකින් ගිහිකල තම මිත්‍රයා වූ බිම්බිසාර රජතුමාට වූ පොරොන්දුවක්  ඉටුකරණුවස්‌ භික්‌ෂුන් වහන්සේලා පිරිවරාගෙන රජගහනුවර පිහිටි රජ මාලිගාවට වැඩමකළා. බිම්බිසාර මහ රජතුමා මහත් හරසරින් උන්වහන්සේ සහ පිරිවර භික්‌ෂුන් වහන්සේලා පිළිගෙන මාලිගාවට කැඳවා මහ දනක්‌ පිළිගැන්වූවා. පින් අනුමෝදන් කිරීමේ චාරිත්‍රය ඒ වන විට ශාසනයෙහි නොතිබුණු නිසා බිම්බිසාර රජු ගෙන් එම යුතුකම ඉටු වුණේ නෑ. එදින රාත්‍රියේ රජතුමාට මහත් බියකරු සිහිනයක්‌ පෙනුණා. ප්‍රේතයින් සමූහයක් ඇවිත් මාළිගාවේ දොරටුව අසළට වී ඝෝෂා කරන්නට වුණා. මේ හීනයෙන් මහත් බියට පත් වුණු රජතුමා පසුදා උදෑසනම බුදුන් වහන්සේ හමුවෙලා මේ හීනය ගැන පැවසුවා. සිහිනෙන් දර්ශනය වුනේ තමන්ගේ අතීත ඥාති සමූහයක් බවත්, ඔවුන් පින් අපේක්ෂාවෙන් පසුවන බවත්, පෙර දින දන් පිළිගැන්වූ අවස්ථාවේ පින් අනුමෝදන් නොකළ බැවින් සිහිනෙන් පෙනී සිටි බවත්, නැවත බුදුන් ප්‍රමුඛ මහා සංඝ රත්නයට දානයක්‌දී පින් අනුමෝදන් කරන ලෙසත් බුදුන් වහන්සේ පැහැදිලි කළා. ඒ අනුව රජතුමා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානය පිරිනමා මළගිය ඥාතීන්ට පින් අන්මෝදන් කළා. මෙම අවස්‌ථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සුත්‍රය තිරෝකුඩ්ඪ සූත්‍රය ලෙස හැඳින්වෙනවා. එදා පටන් අද දක්වාම බෞද්ධයින් මෙම ආගමික චාරිත්‍රය පවත්වාගෙන යනවා.
   
තිරෝකුඩ්ඨ සූත්‍ර දේශනාවට අනුව ප්‍රේත නිකායේ උපත ලබන ප්‍රේතයින් ස්‌ථිර වාසස්‌ථානයක්‌ නැතුව තමන් විසූ නිවසේද, තම ඥාතීන්ගේ නිවෙස්වලද,තුන්මන් සන්ධි හා සතරමන් සන්දිවලද වාසය කරනවා. තමන් කරන ලද පාප කර්ම අනුව කෑමට යමක්‌ නොමැතිව අනන්ත අප්‍රමාණ දුක්‌ විඳිනවා. මොවුන්ට කිසිම පිනක්‌ කරගැනිමේ හැකියාවක්‌ නෑ.
    
මේ ඥාති ප්‍රේතයින් වර්ග 4 කට බෙදා දක්වලා තියෙනව මෙන්න මේ විදියට.
1. නිජ්ඣාමතණ්හික - ගින්නෙන් දවනු ලබන බිල සහිත ගසක්‌ මෙන් ශරීරය ඇතුළත ක්‌ෂුධා ගින්නෙන් ඇවිලෙන ප්‍රේතයින්.
2. කුප්පිපාසික - බොහෝ කාලයක්‌ කෑම බීම නැතිව සා පිපාසා දෙකින් පීඩිතව සිටින බුප්පිපාසික ප්‍රේතයින්.
3. පංසුපිසාචික - වමනය, සෙම්සොටු, සැරව, ගැබ්මල ආදිය ආහාරයට ගන්නා ප්‍රේතයින්.
4. පරදත්තූපජීවි - ඥාතීන් විසින් දෙනු ලබන පිනෙන් ජීවත්වන ප්‍රේතයින්.
මේ අනුව පින් අනුමෝදන් වන්නේ පරදත්තූපජීවි ප්‍රේත කොට්ඨාශයට විතරයි. සෙසු ප්‍රේතයින්ට පින් අනුමෝදන් කරගැනීමේ හැකියාවක් නෑ.

 කිසියම් ඥාතියෙක් පින් නොලබන ස්ථානයක ඉපිදී ඇත්නම්, ජීවත්ව සිටින අය විසින් ඔවුන් වෙනුවෙන්  අනුමෝදන් කරන පිනෙන් ප්‍රයෝජනයක් අත් වෙනවද කියල මෙහි දී අපට ගැටලුවක් මතුවෙනව. මෙම ගැටලුවට පිළිතුරක් මිළින්ද ප්‍රශ්නයේ දී නාගසේන රහතන් වහන්සේ විසින් මිළිඳු රජතුමාට ප්‍රකාශ කරලා තියෙනව. මහ රජතුමනි කිසියම් පිරිසක් කැවිලි පෙවිලි රැගෙන, ස්වකීය බන්ධු වර්ගයා හමුවීමට ගිය විට තම, ඥාති පිරිස හමු නොවුයේ නම් එම කැවිලි ආහාර ඔවුන් විසින් ඉවත නොදමනු ඇත. එහිදී ඔවුන් විසින් පිළියෙල කරන ලද එම ආහාර ඔවුන් විසින් ම අනුභව කරනු ලබන්නේ යම් ආකාරයෙන් ද, ඥාතීන් විසින් අනුමෝදන් නොවූ මෙම කුසල කර්ම තම තමන්ගේ යහපත පිණිසම හේතු වන්නේය කියල.

සමහරු විශ්වාස කරනවා තමන් කරා පැමිණෙන්නේ මෑතකදි මියගිය ඥාතීන් විතරයි කියල. ඒ වගේම බොහෝ දෙනෙක් විශ්වාස කරනවා තමන් වාසය කරන ස්ථානයට පැමිණෙන්න පුලුවන් වෙන්නෙ ඒ ස්ථානයේ ජීවත් වෙලා මියගිය අයට විතරයි කියල. මේ විශ්වාසයන් දෙකම වැරදියි.  ගෞතම බුදුරජානන් වහන්සේ ලොව පහළවීමට මහා කල්ප ගණනාවකට පෙර කාෂ්‍යප බුදුන්ගේ කාලයේ තමන්ගේ ඥාතීන් වූ පිරිසක් තමයි බිම්බිසාර මහ රජතුමාට සිහිනෙන් දර්ශනය වුණේ. එහෙම නම්,කල්ප ගණනාවකට පෙර ඥාතීන් වූ අය පවා පින් ලබා ගැනීමේ අදහසින් තම ඥාතීන් කරා පැමිණෙන බව පැහැදිලි වෙනවා. 

තමන්ගේ දේපළ කෙරෙහි මහත් ආශාවෙන් ජීවත් වුණු අය මරණින් මතු ප්‍රේතයින් වී එම ස්ථානවලම දුක් විඳිමින්, ඒවාට ආශාවෙන් රැඳී සිටින අවස්ථාත් තියෙනවා. ඒ වගේ ස්ථානයකට අලුතින් පදිංචියට පැමිණි අයෙක් හිතන්න පුලුවන් අපේ කවුරුවත් මෙතන මැරුණෙ නෑ, ඒ හින්දා මෙතන අමනුෂ්‍යයො ඉන්න විදියක් නෑ කියල. 
  
ප්‍රේතයින් අතරත් මනුෂ්‍ය සමාජයේ වගේම නොයෙක් ගති පැවතුම් තියෙන අය ඉන්නවා. ඒ ගැන ආටානාටිය සූත්‍රයේ පැහැදිලිව සඳහන් වෙනවා. ප්‍රේතයින් ගේ හැසිරීම් ගැන, ප්‍රේතයින් ගේ බලපෑම් දුරු කිරීම ගැන ඉදිරියේදී කතා කරමු.

    ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය 
       සංජීව කුළුපන බණ්ඩාර.

Tuesday, December 11, 2018

ගම්පහ ප්‍රදේශයේ ගමක සිදුවූ සත්‍ය සිද්ධියකි.


 ඒ 1990 දශකයේ අග භාගයේදී ය.
පැරණි පන්නයට අනුව තැනූ පළ හතරේ වහලයකින් යුතු මධ්‍යම ප්‍රමාණයේ නිවසකි. ජීවිකාව ගතකළේ මව් පිය දෙපළත් දරුවන් සිව් දෙනාත් ය. දියණියන් දෙදෙනක් හා පුතුන් දෙදෙනකි. සරළ දිවි පෙවෙතක් ගත කරමින් සිටි මොවුන්ට අනපේක්ෂිත අයුරින් මහත් අභාග්‍ය සම්පන්න කාලයක් උදාවිය. හොඳින් වැඩපළ කරමින් සිටි මව හදිසියේ රෝගාතුර වූවාය.ඇයගේ වම් පස අත හා පාදය අප්‍රාණික වූයෙන් ඔත්පළ වූවාය.පවුලේ සතුට සොරුන් රැගෙන ගියා සේ විය.නොකෙරූ වෙදකමක් නැත.රැගෙන නොගිය තැනක් නැත.කිසිදු ප්‍රතිකාරයකින් ඇය යථා තත්වයට පත්කරලීමට නොහැකි විය. එක්තරා මූසල රාත්‍රියක නිවස පිටුපසින් බස්සෙකු හඬන්නට විය. නිවැසියන්ගේ සිත් තුළ ඇතිවූයේ මහත් බියජනක හැඟීමකි. පසුදාට පහන් වන විට දයාබර මෑණියන් ජීවිතයෙන් සමුගෙන තිබුණි. නිවැසියන් මෙන්ම ගම් වැසියන්ද දැඩි සේ දුක් විය. හිමි නමක් වැඩම කරවා බණක් කියවා හත් දින දානමය කටයුතුද නිමා කර තිබුණි. මරණය සිදුවූ දා පටන් නිවසේ රැඳී සිටි පිරිස නිවසින් නික්ම ගොසිනි.නිවස පුරා පැවතියේ මහා පාළුවකි. නිවස හාත් පසින් අඳුර වැටෙමින් තිබුණි. දින ගණනක් පුරා වෙහෙස වූයෙන් නිවැසියන් තුළ වූයේ විඩාවකි. පාළුව ඊට දෙවෙනි නැත.සියල්ල පරදා සිත් තුළ නැඟෙන ශෝකයද විය. තම තමන්ට සුපුරුදු තැන්හි නිවැසියන් වැතිර ගත්තේ රාත්‍රිය එළඹෙන්නටත් පෙරය. වැඩිමහල් දියණිය එක්වරම දුටුවේ අදහා ගත නොහැකි දර්ශනයකි. පැරණි වහළයේ පහළ බාල්කයේ වවුලෙක් එල්ලී සිටියි. ඇය විදුලියක් මෙන් ඇඳෙන් බැස දිවගියේ පියා සොයාගෙනය. බිය,තැතිගැන්ම නිසාම ඇය පියා ඉදිරියේ කෑගැසුවාය. බාල සොහොයුරිය හා සොහොයුරාද දිව ආවේ ඒ ශබ්දයටය.සියල්ලෝ එක්ව මඳ වේලාවක් වවුලා දෙස බලා සිටියහ. ඌ නිසොල්මනේ එල්ලී සිටියි. වවුලා එලවා දැමීමට කොතෙක් උත්සාහ කළද කිසිම පිළියමක් සාර්ථක වූයේ නැත. පසුදා උදැසන බලන විට වවුලා නැත. සියල්ලෝ සැනසුම් සුසුම් හෙලූහ. ඒ සැනසුම තාවකාලික සැනසුමක් වූයේ පසුදා ඇඳිරි වැටීගෙන එන විට නැවත වවුලා එල්ලී සිටින අයුරු දැකීම නිසාය. මෙය නිවසේ සුපුරුදු සිද්ධියක් බවට පත් විය. දිනපතා අඳුර වැටීගෙන එන විට පැමිණ බාල්කයේ එල්ලෙන වවුලා නිවසෙන් පිට වන්නේ පසුදා හිමිදිරියේයි.
දිනක් රාත්‍රී දොළහට පමණ බාල දියණිය නිදා සිටින කාමරයේ ජනේලයට කවුරුන් හෝ තට්ටු කරන හඬ ඇසීමෙන් ඇය තිගැස්සුණාය. නින්දෙන් ඇසුණු ශබ්දයක් දැයි දෙගිඩියාවෙන් ඇඳ මතට වී කල්පනා කරන්නට විය. නැවතත් ජනේලයට තට්ටු කරන හඬත් සමඟම ඇය කෑ ගැසුවාය. ඇයගේ කෑගැසීම අසා දිව ආ පියා,වැඩිමහල් සහෝදරිය හා සොහොයුරා දොර හැර නිවස වටා හෝදිසි කර බැලුවේ කවුරුන් හෝ සිටිනවාදැයි කියාය. කිසිවෙක් නැත. බාල සොහොයුරිය එදින පටන් වැඩිමල් සහෝදරිය හා නිදන්නට වූවාය.
කාලය ගතවෙමින් තිබුණි. දිනක් රාත්‍රියේ පියා සිහිනෙන් කෑගසන්නට විය. එය කෑගැසීමකටත් වඩා මහා විලපයකි.දරුවන් අවදිවී සැනෙකින් පියා අසලට දිව ආහ. පියා අවසිහියෙන් මෙන් කෑගසයි. වැඩිමහල් දියණිය වතුර ස්වල්පයක් ගෙනවිත් පියාගේ මුහුණට ඉස්සාය. නින්දෙන් අවදි වූ පියා මඳ වේලාවක් යනතුරු නිසොල්මනේ බලා සිටින්නට විය. මඳ වෙලාවකින් තමන් දුටු දේ දරුවන්ට පවසා සිටියේය. " දුවේ...අම්මා ඔත්පළ වෙන්න දවස් දෙක තුනකට කලින් කිව්වා මතකද මිදුල මැද්දේ කලුපාට තරබාරු කෙනෙක් ඉන්නවා දැක්කා කියලා...අපි ඒක ඒ තරම් ගණනකට ගත්තේ නෑ.. අම්මා ඔත්පළ වෙලා ඉන්නකොට වුණත් බේත් හේත් පස්සෙම පැන්නුවා මිසක් හරියකට,පිළිවෙලකට සෙත් ශාන්තියක් කරගන්න හම්බවුනේ නෑ...මට මහා අමුත්තක් දැනෙනවා..මේ සිද්ද වෙන දේවල් එක්ක අපි මේ විදියට බලාගෙන ඉඳලා හරියන්නේ නෑ.."
පවුලට හිතවත් සන්සුන් වැදගත් පුද්ගලයෙක් ගමේ ජීවත් විය. ඔහු ගුරුවරයෙකි. නිවැසියන් තමන් මුහුණ දෙමින් සිටින සියලු දේ ඔහු සමග පවසා සිටියේ යම් අදහසක් හෝ ඔහු වෙතින් ලබා ගැනීමේ අදහසිනි. ඔහුගේ මඟ පෙන්වීමෙන් නිවැසියන් යොමු වූයේ දක්ෂ ඇදුරෙක් වෙතටය. ඔහු ඒ වන විට යම්තම් දැලි රැවුල වැවුණු ගැටයෙකි.මන්ත්‍ර සාස්තරය පරම්පරාවෙන් උරුම කරගත් තරුණයෙකි. නිවැසියන්ගේ සියලු ප්‍රකාශයන්ට සාවදානව ඇහුම්කන් දුන් ඔහු නිවැසියන්ගේ ගැටළු නිවා දැමීමට පොරොන්දු විය. සොයාගන්නට අමාරු දෙයකට වූයේ ගෙරි ඔළුවක් පමණි. එයද, සෙසු දේවල්ද සොයා ගත් පසුව ඇදුරා නිවැසියන්ගේ ගැටළු දුරු කිරීමේ කටයුත්තට අත ගැසුවේය. එය රැය පහන් වන තුරු කළ ශාන්ති කර්මයකි. එළිවෙන යාමයේ ගෙරි ඔළුව පොරවකින් ගසා දෙපළු කරන ලද්දේ පාරේ සිට ගෙවත්තට ඇතුළු වන ස්ථානයේදීය. ගත වූයේ දින තුනකි. නිවස ඉදිරියේ පිහිටි දෙමහල් නිවසේ හිමිකරු අංශභාගය හැදී ඔත්පළ විය. ඔත්පළ වී දින කීපයකින් ඔහු මිය ගියේය. "කාට වුණත් මොනවා හරි නිස්කාරණේ කළොත් ඉතින් ආපහු එනවාම තමයි...." ගම් වැසියන් අතර ඔය වැනි කතා බහ ඇති විය. නිවසේ සිටි වවුලා යන්නට ගොස් ය. නිවැසියන් මුහුණ පෑ කරදර දුරුවී ගියේය. එදා දැලි රැවුල වැවුණු ගැටවර ඇදුරා අද බොහෝ දෙනෙක් දන්නා හඳුනන නම ගිය අයෙකි.