මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය.

මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය.
මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය ලෝකයේ ප්‍රබලම මන්ත්‍ර ශාස්ත්‍රයයි . මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රයේ වැදගත්ම අංගය වන්නේ සිද්ධි ලබාගැනීමයි . කාලි ,ගණපති ,මාඩ ශාමි ,භගවතී ආදී සිද්ධි ලබාගැනීමෙන් තොරව මලයාලි ගුරුකම් කල නොහැක .මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය සම්බන්ධයෙන් මා ජ්‍යොතිෂ පුවත්පතකට ලිපි මාලාවක් ලියු අතර ඊට මහත් ජනතා ප්‍රතිචාර ලැබුණි .එම ලිපි මාලාව තුලින් මා හෙළි කළේ මාගේ මුත්තා විසින් කරන ලද විස්මිත ගුරුකම් ගැනය . මාගේ මුත්තා මලයාලි මන්තර ශාස්ත්‍රය ඉගෙනගෙන ඇත්තේ "වේණු ශාමි" නම් කේරළ මන්ත්‍රාචාර්යවරයෙක් ගෙනි . අද බොහෝ දෙනෙක් "මලයාලි ගුරුකම්" කරන බව පැවසුවද ඔවුන් මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රයේ මුලික අංග වත් නොදනී. වරු තුනෙන්, දින තුනෙන් වශී ගුරුකම් කරන බව පවසමින් පුවත්පත් වල පලකරන දැන්වීම් ප්‍රමාණය සුළුපටු නොවේ. කෙනෙක් වෙත කෙනෙක්ගේ සිත ගිය පමණින් වශිකරගැනීමට හැකිනම් ලෝකයේ ඕනෑම කෙනෙක්ව ඕනෑම කෙනෙකුට වශී කරගැනීමට හැකිය. මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය තුළ වශී ගුරුකම් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු විශේෂ විධි,ක්‍රම පවතී. මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය ගැන සියලු විස්තර ,තොරතුරු නිවැරදිව හෙළිකර දෙමින්, පුර්ණ අවබෝධයක් ඔබට ලබාදීමට මම අදහස් කළෙමි. මෙතැන් පටන් පලවන සියලු විස්තර කියවා දැනුම අවබෝධය ලබාගන්නා ලෙසත් , ව්‍යාජ මන්ත්‍ර කරුවන්ට නොරැවටී සිටින ලෙසත් ඉල්ලා සිටිමි.

Thursday, October 24, 2019

දේපළ තණ්හාවෙන් නිවෙසට රිංගූ මළ යක්‍ෂණිය.


අපි, ඔහු අමිල යනුවෙනුත් ඇය දේවිකා යනුවෙනුත් හඳුන්වමු. අමිල තම බිරිඳ වූ දේවිකා සහ දියණියන් දෙදෙනා සමඟ අගනුවර ආසන්නයේ නිවෙසක පදිංචියට පැමිණියේය. ඒ, තම වැඩිමල් දියණියගේ පාසල් ගමන පහසු කරලීම සඳහාය. තම වැඩිමහල් දියණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින් සමත් වූ බැවින් අගනුවර පිහිටි ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය ලැබීමට භාග්‍යය හිමිවිය. දුර බැහැර සිට අගනුවර පාසලකට පැමිණීම දුෂ්ඛර බැවින් අමිල අගනුවර ආසන්න ප්‍රදේශයක නිවසක් මිලදී ගත්තේය. දේවිකාගේ මවද තම නිවස වෙත ගෙන්වා ගත්තේ වැඩ කටයුතු පහසු කරගැනීම සඳහාය.

අමිල ව්‍යාපාරිකයෙකි. මගී ප්‍රවාහන බස් රථයක හා වෑන් රථ කීපයක හිමිකරුවෙකි. ඊට අමතරව මුදල් පොලියට දීමේ ව්‍යාපාරයක්ද කරගෙන ගියේය. සමාජශීලී පුද්ගලයෙකු වූ අමිල අසල්වාසීන්ගේ සිත් දිනාගනිමින් තම බිරිඳ, දියණියන් දෙදෙනා හා නැන්දනිය සමඟ නව නිවහනේ සතුටින් කාලය ගතකළේය. වැඩිමහල් දියණිය තම අධ්‍යාපන කටයුතු ඉතාමත් සාර්ථකව කරගෙන ගියාය. බාල දියණිය පෙර පාසල් අධ්‍යාපනය ලැබුවාය.

දිනක් අමිලගේ බාල දියණිය තමන් මුහුණ දෙමින් සිටි කරදරකාරී සිදුවීමක් ගැන තම සමඟ පැවසුවාය.

" මා දිහා යකෙක් බලාගෙන ඉන්නවා අම්මේ...ගේ ඇතුළෙ තනියම ඉන්න වෙලාවටත් බලාගෙන ඉන්නවා...මිදුලෙ සෙල්ලම් කරන කොටත් බලාගෙන ඉන්නවා..."

දියණියගේ ප්‍රකාශයෙන් දේවිකා තරමක් තැති ගත්තාය. එහෙත් ඒ වගක් දියණියට පෙන්වූවේ නැත.

"බයවෙන්නෙ නැතුව ඉන්නකො...අපි තාත්තා ආවම කියමු...මිදුලෙ තනියම සෙල්ලම් කරන්නෙ නැතුව ඉන්නකො මීට පස්සෙ.."

දේවිකා දියණියගේ සිත සැනසුවාය.පසුව, දියණිය තමන් සමඟ පැවසූ දේ තම මව සමඟ පැවසුවාය.

" ඒ මොකක්ද ඒ කතාවෙ තේරුම...? මේ ළමයා කවදාවත් ඔය වගේ දෙයක් කියල නැහැනෙ...පුතා ආවම කතාකරගෙන හෙට උදේම අවිස්සාවේල්ලට ගිහින් දරුවගේ හඳහන බලාගත්තොත් හොඳයි වගේ..."

අමිල තම ව්‍යාපාර කටයුතු අහවර කර නිවසට පැමිණි විගස දේවිකා දියණිය පැවසූ සියල්ල අමිලට කීවාය.

" හිතේ ඇඳිච්චි මොකක් හරි වෙන්න ඇති...කාටුන් බලන එකනෙ කරන්නෙ...ඕවයෙ තියෙන දේවල් තමයි ඔය පේනවා ඇත්තෙ...කලබල නොවී බලමුකෝ ටිකක්..."

අමිල එසේ පවසා බිරිඳගේ බිය සැක තුරන් කළේය. සමහරවිට එහෙම වෙන්නත් පුළුවන් යැයි ඇයට ද සිතුණි.

 දිනක් දේවිකා පෙර පාසලට ගොස් දියණියද රැගෙන නිවසට පැමිණ තම උදව් වීම පිණිස මුළුතැන්ගෙයට ගියාය. දියණිය සාලයට වී විස්කෝතු කමින් රූපවාහිනිය නරඹමින් සිටියාය. මුළුතැන්ගෙයි ආහාර පිළියෙළ කරන අතරවාරයේ තම දියණිය කෙරෙහි වරින්වර අවදානය යොමු කිරීමට දේවිකා අමතක කළේ නැත. බල්ලෙකු බුරාගෙන පනින ශබ්දය ද සමඟ දියණිය කෑගසන ශබ්දයෙන් කලබලයට පත්වුණු දේවිකාත් මවත් සාලයට දිව ආවාය. " මොකද වුණේ..." යැයි අසමින් දේවිකා දියණිය ඔසවාගෙන මිදුලට බැස්සාය. දියණියගේ මුහුණ තුවාල වී ලේ ගලමින් තිබුණි. අසල්වැසි නිවසකට කතාකොට ත්‍රීවීලරයක් ගෙන්වා ගත් දේවිකා මවද නංවාගෙන දියණිය රෝහල වෙත රැගෙන ගියාය. දියණියගේ මුහුණ සපා කා තිබුණේ බල්ලෙකි. ඒ. දේවිකාලාගේ නිවසට නිතර එන යන අසල්වැසි නිවසක බලු සුරතලෙකි.

එදින රාත්‍රිය තුවාල ලත් සිඟිත්තියට පමණක් නොව පවුලේ සියලු දෙනාටම මහත් වේදනාබර රාත්‍රියක් විය. " හෙටම ගිහින් දුවගෙ හඳහන බලාගන්න ඕනැ...ගෙදර ගැන ඔයාගෙ අවදානය දැන් හරිම අඩුයි...කොච්චර වාහන තිබුණත් හදිස්සියකට ගෙදර වාහනයක් නෑ...බිස්නස් පස්සෙම යන්නෙ නැතුව ගෙදර ගැනත් ටිකක් හොයල බලන්න..."

බිරිඳගේ කතාවට අමිල පිළිතුරු දීමට ගියේ නැත. පසු දිනට තිබුණු වැඩ කටයුතුද නවතා දමා දියණියගේ හඳහන බලාගැනීමට යාම සඳහා යොදා ගත්තේය.

පසුදා උදෑසන අමිල සහ දේවිකා නිවෙසින් පිටත් විය. දියණිය බලාගැනීම සඳහා මව නිවසෙහි නතර වූවාය.

අමිල සහ දේවිකා යනු මේ ජ්‍යොතිර්වේදියාට අමුත්තන් දෙදෙනෙක් නොවේ. අමිල සහ දේවිකාගේ විවාහ මංගල්‍යය සඳහා වූ නක්ෂත්‍ර පත්‍රය පිළියෙළ කරන ලද්දේ ද මේ ජ්‍යොතිර්වේදියාය. ඒ මීට වසර පහළොවකට පමණ ඉහතදී ය. එදා මෙදාතුර සෑම සුවිශේෂ කටයුත්තකදීම අමිල සහ දේවිකාගේ ජ්‍යොතිෂ උපදේශකවරයා වූයේ මොහුය. ආගිය තොරතුරු කතා කිරීමෙන් අනතුරුව දේවිකා තම දියණියගේ ජන්ම පත්‍රය ජ්‍යොතිර්වේදියාට පිළිගැන්වූවාය. ජන්ම පත්‍රයක් පරීක්ෂා කිරීමේදී තත්කාල ශාස්ත්‍රය ද ඊට අදාල කරගැනීම මේ ජ්‍යොතිර්වේදියාගේ සිරිතකි. දශා, අන්තර් දශා ගණනය කර, තත්කාල කේන්ද්‍ර සටහනද සකසා ගත් ජ්‍යොතිර්වේදියා පලාපල විස්තරය කියන්නට විය.

" දරුවාට සෙනසුරුගේ ඒරාෂ්ටක අපලයකුත් තියෙනවා...දැනට පදිංචි වෙලා ඉන්න තැනත් දෝෂයක් තියෙනවා...ඉන්න ඉඩමෙ තියෙන්නෙ තදබල අමනුෂ්‍ය බලපෑමක්...ඒ වගේ දෝෂ බලපාන්නෙත් අපල තියෙන අයටනේ...ඒරාෂ්ටක අපල තියෙන තව කෙනෙක් ගෙදර ඉන්නවා...එයත් පරිස්සම් වෙන්න ඕනෑ...ඉඩමෙ තියෙන අමනුෂ්‍ය දෝෂය ඉක්මනින් අයින් කරගන්න ඕනැ...ගෙදර හැමෝගෙම හඳහන් බලාගන්න එක තමයි හොඳ...මොකද අපල තියෙන අය පරිස්සම් වෙන්න ඕනැ...අපල දුරුවෙන්න පිළිවෙත් කරගන්න ඕනැ..."

ජ්‍යොතිර්වේදියා පැවසූ කරුණු කාරණාවලට සාවදානව සවන්දීගෙන සිටි දේවිකා කටහඬ අවදි කළාය.

" අපේ හැමදේකටම වෙලාවල් බැලුවෙ, නැකත් හැදුවෙ ඔබතුමානෙ...ඒත්, වෙලාව කියන්නෙ...අලුත් ගේ ගන්න කලින්වත්, ගෙදරට ගෙවදින්න කලින්වත් ඔබතුමාව මුණගැහෙන්න වෙලාවක් ලැබුණෙ නෑ...හැමදෙයක්ම කලබලේටනෙ කරන්න වුණේ...හදිස්සියට ලඟපාත කෙනෙක්ගෙන් නැකතක් අරගෙන තමයි ගෙදරට ගියේ...ෆෝන් එකෙන් කතා කරලවත් වෙලාවක් අහගන්න ඕනැ කියලා හිතාගෙන හිටියත් එහෙමවත් කරගන්න හම්බවුණේ නෑ...මොනව කරන්නද...අපේ වෙලාව තමයි..."

සියලු විස්තර තොරතුරු අසා දැනගත් අමිල සහ දේවිකා ජ්‍යොතිෂවේදියාගෙන් සමුගත්තේ පවුලේ සෙසු ජන්ම පත්‍රද රැගෙන නැවත පැමිණීමේ බලාපොරොත්තුවෙනි.

දින කීපයකින් දියණිය සම්පූර්ණයෙන් සුවය ලැබුවාය. අමිල සුපුරුදු පරිදි ව්‍යාපාරික කටයුතු කරගෙන ගියේය. සියලු දේ අමතකව ගියා සේ සියල්ලෝ පෙර පරිදි කාලය ගත කළෝය. ඒ, තදබල අමනුෂ්‍ය දෝෂ පවතින ස්ථානවල කටයුතු සිදුවන ආකාරයයි.

දිනක් අමිල මැදියම් රාත්‍රියේ නින්දෙන් අවදි වූයේ බස් රථය නවතා තිබුණු දෙසින් ඇසුණු ශබ්දයක් හේතුවෙනි. අමිල ඇඳෙන් බැස දොර විවෘත කරන හඬ ඇසී බිරිඳ දේවිකාද අවදි වූවාය.

" කොහෙද මේ මහ රෑ දුවන්නෙ...? "
කුමක් සිදුවන්නේ දැයි සිතාගත නොහැකිව දේවිකා එසේ ඇසුවාය

" බස් එක පැත්තෙන් සද්දයක් ඇහුණා...මම බලලා එන්නම්..."

අමිල එසේ කියාගෙන, විදුලි පන්දමද දල්වාගෙන බස් රථය පැත්තට දිව ගියේය. දේවිකා දොර අසලට වී බලාගෙන සිටියාය. බස් රථය දෙසට දිව ගිය අමිල ආපසු පැමිණෙන පාටක් නැත. විදුලි පන්දමේ එළියද නොපෙනේ. දේවිකා ගෙතුළට ගොස් මව නිදා සිටි කාමරයට ඇතුල්වී ඇය අවදි කළාය.

" අම්මෙ...ඉක්මනට නැගිටින්නකො...සද්දයක් ඇහුණ කියල අමිල බස් එක පැත්තට ගියා..."

දේවිකා මවද කැටුව බස් රථය දෙසට ගියාය. අමිල පෙනෙන්නට නැත. බස් රථයේ ඉදිරි දොර විවෘතව තිබෙනු දුටු දේවිකා බස් රථයට ගොඩවූවාය.

" අම්මේ......................"

දේවිකාගේ හඬින් මව පමණක් නොව යාබද නිවැසියන් ද කලබලයට පත්විය. අමිල බස් රථය තුළ වැටී සිටියේය. අසල්වැසියන් පැමිණ රෝහල වෙත ගෙන ගියද ඒ වන විටත් අමිල මෙලොව හැර ගොස් තිබුණි. වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ අමිල හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බවයි.

සිදුවූයේ කුමක් දැයි කිසිවෙකුටත් සිතාගත නොහැකි විය. දේවිකා තම ආදරණීය සැමියාගේ අවමංගල්‍ය කටයුතු ඉටු කර හත් දවසේ දානමය පුණ්‍ය කර්මයද සිදුකොට, දරු දෙදෙනාත් මවත් සමඟ ගොස් තම ජ්‍යොතිර්වේදියා හමුවූවාය. තම මියගිය ස්වාමි පුරුෂයාගේ ජන්ම පත්‍රයද ඇතුළුව පවුලේ සියලු දෙනාගේ ජන්ම පත්‍ර ජ්‍යොතිර්වේදියා වෙත පිළිගන්වමින්, පසුගිය කාලයේ සිදු වුණු අවාසනාවන්ත සිදුවීම් ගැනද සැල කළාය.

" ඒරාෂ්ටක අපල තියෙන තව කෙනෙක් ඇති කියලා කලින් වතාවෙ දුවගෙ හදහන බලපු වෙලාවෙ මම කිව්වනේ...තදබල ඒරාෂ්ටක අපලයක්නෙ තිබිල තියෙන්නේ...ඒරාෂ්ටක අපලයි, අමනුෂ්‍ය දෝෂයි තියෙන වෙලාවට ඉතින් කරන්න තියෙන දේවල් මොන විදියකින් හරි මඟහැරෙනවා...දැන් ඉතින් තුන් මාසයක් ගත වෙනකල් ඔය විදියට ඉඳලා...තුන් මාසෙ දානෙත් දීලා ඔය අමනුෂ්‍ය දෝෂය අයින් කරමු...පොඩි දුව තනි කරන්නෙ නැතුව හොඳට බලාගන්න...අනිත් දුවට නං අපල බලපෑම් නෑ...ඉඩමෙ ඉන්නෙ මළ යක්ෂණියක්...ඔය ඉඩමෙ මුල් පදිංචිකාරියක්...දේපළවලට තණ්හාවෙන් මැරිලා මළ යක්ෂණියක් වෙලා ඉඩමට වෙලා ඉන්නවා...පදිංචියට එන අයට කරදර කරනවා..."

අමිලගේ තුන් මාසයේ දානමය පින්කම අහවර වී දින කීපයකින් දේවිකා තම ජ්‍යොතිර්වේදියාගේ උපදෙස් අනුව අමනුෂ්‍ය දෝෂය ඉවත් කරගැනීමේ කටයුත්ත ඉටු කරගත්තාය. 

අමිලගේ සියලු ව්‍යාපාර තම සොහොයුරන් දෙදෙනාගේ සහය ඇතුව දේවිකා විසින් අඛණ්ඩව පවත්වාගෙන ගියාය. කෙසේ වෙතත් තම ආදරණීය සැමියාගේ වියෝවෙන් දේවිකාගේ ජීවිතය තුළ ඇතිවූ හිඩැස මෙන්ම, ආදරණීය පියා අහිමි වීම හේතුවෙන් දියණියන් දෙදෙනාගේ සිත්වල ඇතිවූ දුක තවමත් නොනැසී පවතියි.

( මෙය සත්‍ය සිදුවීමකි. නම් ගම් පමණක් මනඃකල්පිත බව සළකන්න)

ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය
සංජීව කුළුපන බණ්ඩාර
(2019.10.20 මව්රට පුවත්පත)
.

Friday, June 7, 2019

කල් පවතින අසනීප සහ අමනුෂ්‍ය බලපෑම්.


ලෙඩදුක් කාටත් පොදුයි. වයසට යාම සහ මරණය වගේම ලෙඩ වීමත් සියලු සත්වයින්ට පොදු ධර්මතාවයක්. කැස්සක් හැම්බිරිස්සාවක් හෝ නොවැළඳුණු කෙනෙක් හොයගන්න නෑ. ඒත් සමහර අසනීප හරිම සංකීර්ණයි. මොන තරම් වෛද්‍යවරු හමුවෙලා ප්‍රතිකාර ගත්තත් සුවය ලැබීම තබා අසනීපය නිවැරදිව සොයා ගැනීමට පවා නොහැකි වන අවස්ථා උදා වෙනවා. සමහරු අවුරුදු ගණන් ලෙඩ ඇඳේ දුක් විඳිනවා. ගස් ගල් වගේ හොඳට ශක්තිමත්ව ඉන්න සමහරු නොසිතූ විදියට ලෙඩ ඇඳට වැටෙනවා. ගණන් ගන්නෙවත් නැති තරමේ පුංචි තුවාලයක් ජීවිතයම අහිමි කරන තත්වයට පත්වෙන අවස්ථා ගැන අහන්න ලැබෙනවා. මොන තරම් වේදනාවක් පීඩාවක් දැනුණත් වෛද්‍යවරුන්ට අසනීපයක් ගැන මොනවත්ම හොයාගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. දවල් කාලයේ හොඳට ඉන්නවා රෑට තමයි හොඳටම අමාරු වෙන්නේ... ගෙදරදි අසාධ්‍යයි ඒත් ගෙදරින් පිට වුණාම තරමක සුවයක් දැනෙනවා... ගිය වතාවෙ වෛද්‍ය වාර්තා හොඳයි ඒත් මේ පාර වාර්තා එච්චර හොඳ නෑ... ඔපරේෂන් දෙකක්ම කළා දැන් තුන්වැනි එකත් කරන්න හදන්නේ... වෛද්‍යවරු කියන්නෙ විශ්වාසයක් තියන්න බෑ කියලා... කකුලේ කොටසක් කැපුවා දැන් ආයෙත් ඊට උඩින් කපන්න ඕනැලු..... මොන තරම් නම් දෙනෙක් ඔය විදියේ කතා කියනවද.
නොයෙක් හේතු හින්දා අසනීප වැළඳෙනවා. විෂබීජ,මත්ද්‍රව්‍ය, වැරදි ආහාර රටා, වස විෂ ශරීරගත වීම්, මානසික පීඩා, අනතුරු ආදී නොයෙක්  කාරණා රෝගාබාධ ඇතිවීමට බලපානවා. ඒ වගේම රෝගාබාධවලට අමනුෂ්‍ය බලපෑම් හේතු වන අවස්ථාත් තියෙනවා.

 යක්ෂ,ප්‍රේත,පිශාච,කුම්බාන්ඩ කියන කොටස් හතර තමයි අමනුෂ්‍යයින් විදියට හඳුන්වන්නේ.  මේ අමනුෂ්‍යයින්  වර්ග 4 කට බෙදා දක්වලා තියෙනව මෙන්න මේ විදියට.
1. නිජ්ඣාමතණ්හික - ගින්නෙන් දවනු ලබන බිල සහිත ගසක්‌ මෙන් ශරීරය ඇතුළත ක්‌ෂුධා ගින්නෙන් ඇවිලෙන ප්‍රේතයින්.
2. කුප්පිපාසික - බොහෝ කාලයක්‌ කෑම බීම නැතිව සා පිපාසා දෙකින් පීඩිතව සිටින බුප්පිපාසික ප්‍රේතයින්.
3. පංසුපිසාචික - වමනය, සෙම්සොටු, සැරව, ගැබ්මල ආදිය ආහාරයට ගන්නා ප්‍රේතයින්.
4. පරදත්තූපජීවි - ඥාතීන් විසින් දෙනු ලබන පිනෙන් ජීවත්වන ප්‍රේතයින්.
මෙයින් පංසුපිසාචික ප්‍රේත කොට්ටාශය තමයි මනුෂ්‍යයින් ගේ ශරීරයේ ඇතිවෙන නොයෙක් අසනීප සමග සම්බන්ධ වෙන්නේ.

ශරීර අභ්‍යන්තරයේ තිබෙන නොයෙක් අවයවවලට විෂ බීජ ඇතුළු වෙලා රෝගී වූවන් ගැන නොයෙක් විට අහන්නට ලැබෙනවා. " විෂ බීජයක් ගිහින්ලු....අයි සී  යූ එකේ ඉන්නෙ..." ඔහොම කියන අය මොන තරම් අපිට මුණගැහෙනවද. ලෙඩේ හොයලා හොයලා අවසාන මොහොතෙදි දැනගන්න ලැබෙනවා විෂ බීජයක් ඇතුළු වෙලා කියලා. මේ වගේ දේවල් අමනුෂ්‍ය බලපෑම් හින්දා සිද්ද වෙන්නත් පුළුවන්. අමනුෂ්‍ය බලවේගයක් ශරීරගතව ක්‍රියාත්මක වීමේදී  වයිරසයක්, බැක්ටීරියාවක් හෝ විෂ බීජයක් හේතුවෙන් ඇතිවෙන සංකූලතාවන්ට සමාන සංකූලතා ඇතිවෙන්න පුළුවන්.

අමනුෂ්‍ය බලපෑම් හේතුවෙන් රෝගී වුණු ඇතැමුන් අවුරුදු ගණන් ලෙඩ ඇඳේ කල්ගෙවනවා. කාලයක් බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන සුවයක් නැතුව ආයුර්වේද ප්‍රතිකාරවලට මාරු වෙනවා. ආයුර්වේද ප්‍රතිකාරවලින් සුවයක් නැතුව හෝමියෝපති ප්‍රතිකාරවලට යොමු වෙනවා. ඔය ආකාරයට හැකි සෑම ක්‍රමයකින්ම සුවයක් ලබාගන්න උත්සාහ කළත් ප්‍රතිපලයක් නැති වෙනවා. එවැනි රෝගීන් ගණනාවක් මා බේරාගෙන තියෙනවා. එවැනි ඇතැමුන් යළි කිසි දිනෙක සුවයක් නොලැබෙනු ඇතැයි සිතා සිටි බවත් සඳහන් කළ යුතුයි.

අමනුෂ්‍ය බලපෑම් හේතුවෙන් රෝග කීපයක් එක වර ඇතිවෙන අවස්ථාත් තිබෙනවා. එවිට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේදී දැඩි දුෂ්කරතා ඇතිවෙනවා. එක් අසනීපයකට ලබාදෙන ඖෂධ හේතුවෙන් තවත් අසනීපයක් උත්සන්න වීමට ඉඩ තිබෙනවා. මෙවන් අවස්ථාවල දී වෛද්‍යවරු පවා අසීරුතාවයට පත් වෙනවා. එවැනි ගුප්ත තත්වයන් ඇති කරන අමනුෂ්‍ය බලපෑම් ඉවත් කළ පසුව වෛද්‍යවරු පවා මවිතයට පත් කරමින් සියලු අසනීප සුව අතට හැරෙනවා.

ඇතැමුන්ගේ අසනීප පීඩාවන් නිවසින් බැහැරට ගිය විට සුව වෙනවා. නැවත නිවසට පැමිණි පසුව අසනීප මතුවෙනවා. වාසය කරන ස්ථානයේ පවතින අමනුෂ්‍ය  බලපෑම් හේතුවෙන් එවැනි තත්වයන් ඇතිවෙනවා. ස්ථානගතව පවතින අමනුෂ්‍ය බලපෑම් ඉවත් කළ පසුව අසනීප පීඩා දුරු වෙනවා.

ඇතැමුන්ට නොයෙක් අපහසුතා, පීඩාවන් දැනෙන නමුත් පවතින අසනීපය කුමක්දැයි වෛද්‍යවරුන්ට සොයාගන්න අපහසු වෙනවා. එවැනි අය මානසික වෛද්‍යවරු වෙත යොමු කරවන අවස්ථාත් තියෙනවා. මානසික වෛද්‍යවරුන්ටත් කිසිම අබාධයක් සොයාගන්න අපහසු වෙනවා. ඔය විදියේ තේරුම් ගත නොහැකි ගුප්ත පීඩාවන් ඇතිකරන අමනුෂ්‍ය බලපෑම් එල්ල වෙන අවස්ථා තියෙනවා.

රෝගියාගේ අවසන් සුසුම් පොද වා තලයට මුසු වීමට ඔන්න මෙන්න කියා තිබිය දී ගුප්ත වෙදදුරෙක් හමුවට යාම ප්‍රතිපලදායක නොවිය හැකි බව ද සඳහන් කළ යුතුයි. රෝගියා අන්තිම අසාධ්‍ය තත්වයට පත් වීමට පෙර ගුප්ත වෙදැදුරෙකු හමුවීම වඩාත් වැදගත් වෙනවා. ඇතැමුන් රෝගියාගේ කලදසාව බලාගැනීමට පැමිණෙන්නේ රෝගියා පසුදා තෙක් හෝ ජීවත් වේ දැයි විශ්වාසයක් තැබිය නොහැකි අවස්ථාවලදී වීම කණගාටුවට කාරණයක්.

ශරීරගතව හෝ ස්ථානගතව හිඳිමින් පීඩාවන් එල්ල කරන අමනුෂ්‍යයින් ඉවත් කළ යුතු වෙන්නේ කොහොමද ? අමනුෂ්‍යයින් ගැටගසා බෝතල් කුප්පි තුළ සිර කළ යුතු ද ? ඒ සම්බන්ධයෙන් නැවත කතා කරමු.

ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය 

   සංජීව කුළුපන බණ්ඩාර.

Saturday, April 6, 2019

රාජ වශී



ගුප්ත ශාස්ත්‍රීය කටයුතුවල නියැලෙන බොහෝ දෙනෙක් මේ ගාථාවේ බලය වගේම යන්ත්‍රයේ බලය ගැනත් ඉතා හොඳින් දන්නවා. රාජ වශී කාණ්ඩයට තමයි මේ ගාථාව සහ යන්ත්‍රය අයත් වෙන්නේ.

විශේෂයෙන් නඩුවලට ඉතාමත් ප්‍රත්‍යක්ෂයි.

මේ යන්ත්‍රය අඟල් 2 x 6 තඹ තහඩුවක, ඉරි නොකැපෙන ලෙස ඇඳගෙන, මල් අසුනක තබා දහස් වර මතුරාගෙන, සුදු යකඩ හැර වෙනත් ලෝහයකින් තැනූ අඟල් දෙකේ සුරයක දමා පැළඳිය යුතුයි. නඩු, සම්මුඛ පරීක්ෂණ, බලවතුන් හමුවීම,තරඟ ආදී කටයුතුවලට ඉතාමත් සුබදායකයි.

එසේත් නැතිනම්, රන් තැඹිලි තෙල්, පස් තෙල්, අබ තෙල් ආදී තෙල් වර්ගයක් මෙයින් දහස් වර මතුරාගෙන අඟලක හෝ අඟල් භාගයක සුරයක දමා පැළඳීමත් ගුණදායකයි.

යන්ත්‍රය ඇඳගැනීමේදී සුබ දිනයක රාහු කාලය මඟහැර, සුබ හෝරාවක, තමන්ගේ පක්ෂියාගේ රජ අවස්ථාවක, මරුට පිටුපා ඇඳගත යුතුයි. මැතිරීම ඇරැඹීමේදී ද ඒ ආකාරයට සුබ මොහොතක් යොදා ගැනීම වැදගත් වෙනවා.

යමක් මැතිරීමේදී වෙනත් කිසිවක් ගැන නොසිතමින්, තම කාර්යය ඉෂ්ට වන ආකාරය සිතින් දකිමින්, සමාධිගත සිතින්, ජයග්‍රාහී මානසිකත්වයෙන් යුතුව මතුරා ගත යුතුයි. එසේ නොමැතිව අවුල් වූ හෝ දුෂිත මානසිකත්වයකින් යුතුව ලක්ෂ වාරයක් මතුරා ගත්ත ද ඵලක් නොවේ.

සංජීව කුළුපන බණ්ඩාර.

Friday, March 8, 2019

ජලනන්දන මන්ත්‍ර දැහැන් හත.


මේ ඔබට ඉදිරිපත් කරන්නේ මහානුභාවසම්පන්න ජලනන්දන මන්ත්‍ර දැහැන් හත යි. කොඩිවින, හූනියම්,නීච බන්ධන කැපීම, යක්ෂ,ප්‍රේත,කුම්භාණ්ඩ, පිශාච ආදී අමනුෂ්‍ය දෝෂ දුර කිරීම, දෙහි කැපීම, නිවාස ආරක්ෂා කිරීම,ශරීරගත අමනුෂ්‍ය බලපෑම් ඉවත් කිරීම, සතුන්ගෙන් හා රෝග පීඩාවන් ගෙන් කෙත් වතු ආරක්ෂා කරගැනීම, ඇස්වහ කටවහ දෝෂ දුරු කිරීම,ඉනා බන්ධන ඉවත් කිරීම  ආදී වැඩ සිය දහස් ගණනක් මෙයින් ගත හැකියි.

පිරිසිදු රන් තැඹිලි තෙල් මෙයින් දහස් වරක් ජීවම් කර, තෙල් බින්දු කීපයක්  කුඩා රන් සුරයක දමා පැළඳීමෙන් මහත් ආරක්ෂාවක් සලසා ගත හැකියි. නඩු හබ, තරඟ විභාග, සම්මුඛ පරීක්ෂණ ආදියට ද ඉතා ගුණදයාක යි.

අලුත් නිවසට ගෙවදීමට පෙර, පස්ලෝ,ඇල් හාල්,ඊ තණ,එල අබ, කැකුළු හාල්,සුනු සහල්, නවරත්න, ගෝරෝචන, සුදු හඳුන්, රත් හඳුන් ආදිය මල් අසුනක තබා මෙයින් 108 වරක් ජීවම් කරගෙන අලුත් මුට්ටියකට දමා පියන වසා නිවසේ මුදුන් යටලීයේ එල්ලීමෙන් නිවසට මහත් ආරක්ෂාවක් සැලසෙනවා.

කුඹුරේ වී වැපිරීමට පෙර එම වී මෙම මන්ත්‍ර දැහැන්වලින් 108 වරක් ජීවම් කරගෙන වැපිරීමෙන් ගොයම සතුන් ගෙන් ආරක්ෂා කරගැනීමට හැකි වෙනවා.

මෙයින් තෙල් හෝ වෙනත් යමක් මතුරා ගැනීමේදී මල්, හඳුන්කූරු, ලද පස් මල්, එළඟිතෙල් හෝ අබ තෙල් මිශ්‍ර පහන් තුනක් සහිත පූජාසනයක තබා මරුට පිටුපා හිඳ  මතුරා ගැනීම ගුණදායක වෙනවා. මේ සඳහා පුර පක්ෂයේ සුබ දිනෙක රාහු කාලයෙන් තොර සුබ හෝරාවක් යොදා ගත යුතුයි. පූජාසනය ට උඩු වියනක් බැඳ ගත යුතුයි. තමන්ගේ නැකත හිමි පක්ෂියාගේ මෙන්ම දිනය අධිපති නැකත හිමි පක්ෂියාගේ රජ හෝ භෝජන අවස්ථාවක් තෝරාගැනීම වඩාත් සුබදායක වෙනවා.