මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය.

මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය.
මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය ලෝකයේ ප්‍රබලම මන්ත්‍ර ශාස්ත්‍රයයි . මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රයේ වැදගත්ම අංගය වන්නේ සිද්ධි ලබාගැනීමයි . කාලි ,ගණපති ,මාඩ ශාමි ,භගවතී ආදී සිද්ධි ලබාගැනීමෙන් තොරව මලයාලි ගුරුකම් කල නොහැක .මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය සම්බන්ධයෙන් මා ජ්‍යොතිෂ පුවත්පතකට ලිපි මාලාවක් ලියු අතර ඊට මහත් ජනතා ප්‍රතිචාර ලැබුණි .එම ලිපි මාලාව තුලින් මා හෙළි කළේ මාගේ මුත්තා විසින් කරන ලද විස්මිත ගුරුකම් ගැනය . මාගේ මුත්තා මලයාලි මන්තර ශාස්ත්‍රය ඉගෙනගෙන ඇත්තේ "වේණු ශාමි" නම් කේරළ මන්ත්‍රාචාර්යවරයෙක් ගෙනි . අද බොහෝ දෙනෙක් "මලයාලි ගුරුකම්" කරන බව පැවසුවද ඔවුන් මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රයේ මුලික අංග වත් නොදනී. වරු තුනෙන්, දින තුනෙන් වශී ගුරුකම් කරන බව පවසමින් පුවත්පත් වල පලකරන දැන්වීම් ප්‍රමාණය සුළුපටු නොවේ. කෙනෙක් වෙත කෙනෙක්ගේ සිත ගිය පමණින් වශිකරගැනීමට හැකිනම් ලෝකයේ ඕනෑම කෙනෙක්ව ඕනෑම කෙනෙකුට වශී කරගැනීමට හැකිය. මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය තුළ වශී ගුරුකම් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු විශේෂ විධි,ක්‍රම පවතී. මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය ගැන සියලු විස්තර ,තොරතුරු නිවැරදිව හෙළිකර දෙමින්, පුර්ණ අවබෝධයක් ඔබට ලබාදීමට මම අදහස් කළෙමි. මෙතැන් පටන් පලවන සියලු විස්තර කියවා දැනුම අවබෝධය ලබාගන්නා ලෙසත් , ව්‍යාජ මන්ත්‍ර කරුවන්ට නොරැවටී සිටින ලෙසත් ඉල්ලා සිටිමි.

යක්කු,පෙරේතයො,කුම්භාණ්ඩයො,පිශාචයො කියන්නෙ කාටද ?



යක්කු,පෙරේතයො,කුම්භාණ්ඩයො,පිශාචයො කියන්නෙ කාටද ?

මේ සියල්ලෝම භූතයෝ. මේ භූතයින් ගේ බලය හා හැසිරීම අනුව තමයි යක්ෂ,ප්‍රේත,කුම්භාණ්ඩ,පිශාච ආදී වශයෙන් හඳුන්වන්නේ. ඇතැම් භූතයින් ප්‍රචණ්ඩකාරීයි. සමහර භූතයෝ හිංසාකරීයි. ඇතැම් භූතයෝ හිංසාවෙන් තොරයි. ඇතැම් භූතයෝ තමන් සතුව තිබුණු ගේදොර වතුපිටිවලට ආශාවෙන් ඒවායේ රැඳී සිටිනවා. සෙම් සොටු, රුධිරය,ශුක්‍ර, ඕජස් ආදියට ප්‍රිය කරන භූතයො ඉන්නවා. ඔය ආදී වශයෙන් අමනුෂ්‍යයින් හෙවත් භූතයින්ගේ තත්වය, හැසිරීම අනුව යක්ෂ,ප්‍රේත,කුම්භාණ්ඩ.පිශාච ආදී ලෙසට හඳුන්වනවා.

මනුෂ්‍යයින්ට බලපෑමක් කරන්න තරම් ශක්තියක් මේ අයට තියෙනවද ?

මනුෂ්‍යයින්ට බලපෑම් කළ හැකි අමනුෂ්‍යයින් ඉන්නවා. අමනුෂ්‍යයින් විසින් මනුෂ්‍යයින්ට නොයෙක් කරදර බාධක, පීඩා එල්ල කරන අවස්ථා ඕනැ තරම් අහන්න ලැබෙනවා. අමනුෂ්‍යයින් ගේ පීඩාවන්ට ලක් වෙන අය නිතර දෙවේලෙ මා හමුවෙන්න එනවා. අමනුෂ්‍යයින්ගෙන් එල්ල වන කරදර දුරු කරන්න මම නොයෙක් ප්‍රදේශවලට යනවා. එවැනි සිදුවීම් පිළිබඳව මට විශාල වශයෙන් අත්දැකීම් තියෙනවා.
රෝගාබාධ උත්සන්න වීම, රෝග පීඩා නිශ්චය කරගැනීමට අපහසු වීම, විවාහ කටයුතු ප්‍රමාද වීම, ගැටුම් ආරවුල් ඇතිවීම, දියුණුව හීන වීම, යුග ජීවිත බිඳ වැටීම,මානසික සහනය බිඳ වැටීම, සියදිවි නසාගැනීම වැනි බොහෝ කාරණාවලට අමනුෂ්‍ය බලපෑම් හේතුවන අවස්ථා තියෙනවා.  අමනුෂ්‍ය බලපෑම් එන්න එන්නම වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නෑ.

යකෙක් වැහෙනවා කියන්නෙ ඇයි ?

යකෙක් වැහෙනවා කියන්නෙ අමනුෂ්‍යයෙක් මනසට බලපෑම් කිරීම.  දේව වරමින් සාස්තර කියනවා කියන අයත් අමනුෂ්‍යයින්ගේ සහයෝගයෙන් තමයි සාස්තර කියන්නේ. ඥාති පෙරේතයෙක් මනසට ඇතුළු වෙලා යම් යම් දේවල් කියනවා. සමහර ප්‍රේතයෝ ඇත්ත කියනවා. සමහර ප්‍රේතයො බොරු කියනවා. ඇත්ත සහ බොරු කලවමේ කියන අමනුෂ්‍යයොත් ඉන්නවා.
මෙතැනදි අමනුෂ්‍යයො ක්‍රියාත්මක වෙන්නෙ තමන් ගෙ ඥාතියාට මුදල් උපයාදීම වෙනුවෙන්.
ඒ වගේම තවත් සමහරු දැඩි ආවේගයෙන් තමන් ගෙ පවුලේ සාමාජිකයින්ව පවා කපා කොට ඝාතනය කරන අවස්ථා තියෙනවා. එසේ හැසිරෙන සමහරු පසුව පසුතැවෙනවා. මේ තරම් කෝපයක් ඇතිවුණේ කොහොමද කියල කල්පනා කරනවා. අමනුෂ්‍යයින් මනසට බලපෑම් කිරීම හේතුවෙන් මිනී මැරුම්,කාම අපරාධ, හිංසා පීඩා ආදියට මනුෂ්‍යයින් යොමු වන අවස්ථාත් තියෙනවා.
කොහොම වුණත් මානසික ශක්තිය දුර්වල අයට මිසක් යහපත් මානසික ශක්තියක් හිමි අයට බලපෑම් කිරීමේ හැකියාවක් අමනුෂ්‍යයින්ට නෑ. අමනුෂ්‍යයෙක් ශරීරයට ඇතුළු වෙන්නෙ ශරීර රශ්මියේ (Aura) කඩතොළු අතරින්. ශරීර රශ්මිය හෙවත් රැස්මඩල ශක්තිමත් නම් අමනුෂ්‍යයින්ට ඒ තුළින් ඇතුළු වෙන්න බෑ.ශරීරයේ රැස් දහරාව ශක්තිමත් වෙන්න නම් මානසික ශක්තිය යහපත් වෙන්න ඕනැ. මේක දීර්ඝව විස්තර කළ යුතු කාරණයක්.

යකෙක් ගහලා කියන කතාවෙ ඇත්ත මොකක්ද ? ඇත්තටම යක්කු මිනිස්සුන්ට ගහනවද ?

යකෙක් ගහපු කෙනෙක් මට කිසිම දවසක හමුවෙලා නෑ. යකෙක් කියන්නෙ භූතයෙක්. භුතයෙකුට එවැනි පහරදීමක් කරන්න හැකියාවක් නෑ. භූතයෙකුට තියෙන්නෙ වායුමය ශරීරයක්. යකෙක් ගහනවා කියන කතාවෙ කිසිම සත්‍යතාවයක් නෑ. හැබැයි තවත් කෙනෙක් ලවා පුද්ගලයෙකුට පහර දෙන්න පුළුවන්. එහෙම අවස්ථා තියෙනවා.සතුන් ලවා පහර දෙන අවස්ථාත් තියෙනවා. මනුෂ්‍යයින්ගේ ශරීරවලට වගේම තිරිසන් සතුන්ගේ ශරීරවලට ඇතුළු වන අවස්ථාත් තියෙනවා. "පසුං එකබුරං කත්වා අනුයන්ති දිසොදිසං" ගවයන් ආදී සිව්පා සතුන් අල්ලාගෙන යානාවක මෙන් නැඟී දිසාවෙන් දිසාවට ගමන් කරන බව ආටානාටිය සූත්‍රයේ සඳහන් වෙනවා.

යක්කු කොහෙද ඉන්නෙ ?

අමනුෂ්‍යයින් ඉන්නෙත් මේ පෘථිවි තලයෙම තමයි. මනුෂ්‍යයින් ජීවත් වන ස්ථානවල, මනුෂ්‍ය වසයෙන් තොර ස්ථානවල, ගංගා ඇල දොළ ආදී සෑම ස්ථානයකම අමනුෂයින් ඉන්නවා. අපට නොපෙණුනට අපි ජීවත් වෙන සෑම තැනකම පාහේ අමනුෂ්‍යයින් සිය දහස් ගණනින් ඉන්නවා.

මේ අය පියවි ඇසට හෝ කැමරා කාචවලට දකින්න පුළුවන්ද ?

සමහරුන්ට අමනුෂ්‍යයින්ව පේනවා. කැමරා කාචවලට අමනුෂ්‍යයින්ව හසුවෙන අවස්ථාත් තියෙනවා. අමනුෂ්‍යයින් දැකීමේ හැකියාව ඇතැමුන්ට උපතින්ම හිමි වෙනවා. අමනුෂ්‍යයින් දැකීමේ හැකියාව තියෙන පිරිමින්ට වඩා කාන්තාවන් වැඩියි. ඇතැම් කාන්තාවන්ට ගර්භණී කාලයේදී අමනුෂ්‍යයින් දර්ශනය වෙනවා.  ගර්භණී කාලයේදී කාන්තාවන්ගේ ඇස් පෙනීමේ ශක්තිය වර්ධනය වෙනවා. ගර්භණී කාලයේදී අමනුෂ්‍යයින් දුටු බොහෝ කාන්තාවන් මා සමඟ එම විස්තර පවසා තියෙනවා.
එක්තරා මහත්මයෙක් ළඟදි දවසක පැවසූ කතාවක් තමයි මේ. මේක කර්මාන්ත ශාලාවක සිදුවුණු සිදුවීමක්. මේ කර්මාන්ත ශාලාවේ බළලුන් වැඩි හින්දා උන්ව අල්ලන්න උගුලක් හදලා එක්තරා ස්ථානයක තියල තියෙනවා. උගුල ඇතුලෙ තියල තියෙන්නෙ මස් කෑල්ලක්. උදේ ගිහින් බලන කොට උගුල ගැස්සිලා. මස් කෑල්ලත් එහෙමම තියෙනවා. මේ වැඩේ මේ විදියට දවස් කීපයක්ම වෙලා තියෙනවා. අන්තිමේදි මේ අය උගුල ආසන්නයෙ කැමරාවක් සවි කළා. පහුවදා කැමරාව පරීක්ෂා කරල බැලුවා මොකක්ද වෙලා තියෙන්නෙ කියලා.රාත්‍රී දොළහත් එකත් අතර වෙලාවක උගුල ඉබේම ගැස්සෙනවා. උගුල ඇතුළෙ ලොකු ඇස් තියෙන සත්වයෙකුගේ ඡායාවක් පේනවා. එතකොට දින ගණනාවක් තිස්සේ මස් කෑල්ල හොයාගෙන ඇවිත් තියෙන්නෙ අමනුෂ්‍යයෙක්. අමනුෂ්‍යයෝ ආහාරයට ගන්නෙ යම් දෙයක ගන්ධය පමණයි.

ගෙවල්වල යක්කුන්ට ඉන්න පුළුවන්ද ?

අමනුෂ්‍යයින්ට ගෙවල්වල ඉන්න පුළුවන්. තමන් ජීවත්ව සිටියදී පරිහරණය කළ බඩුමුට්ටුවලට ආශාවෙන් නිවෙස්වල රැඳී සිටින ප්‍රේතයෝ ඉන්නවා. ඇතැමුන් තරහට නිවෙස්වලට අමනුෂ්‍යයින්ව බන්ධනය කරනවා. ජීවත්ව සිටින තමන්ගෙ ඥාතියෙකුට ආදරයෙන් නිවෙස්වල රැඳෙන අමනුෂ්‍යයොත් ඉන්නවා. ඇතැමුන් මිලදී ගන්නා නිවෙස් තුළත් ඒවායේ ජීවත් වෙලා මියගිහින් ප්‍රේත භවවල උප්පත්තිය ලැබූ අය රැඳී සිටින අවස්ථා තියෙනවා. 

යන්ත්‍ර මන්ත්‍රවලින් තරහ කාරයෙකුගෙ ගෙදරකට පෙරේතයෙක් යවන්න පුළුවන්ද ?

පුළුවන්. අමනුෂ්‍යයින්ව ඉඩම්වලට බන්ධනය කරන්න පුළුවන්. දරුණු අමනුෂ්‍යයෙක්ව බන්ධනය කළොත් ප්‍රතිඵල දරුණුයි. නිසි ආරක්ෂාවක් යොදා තිබෙන ඉඩමකට අමනුෂ්‍යයින්ව බන්ධනය කරන්න බෑ. අනාරක්ෂිත ස්ථානවලට අමනුෂ්‍යයින්ව යවන්න පුළුවන්. එහෙම යවපු අමනුෂ්‍යයෙක්ව ආපහු හරවලා එව්වොත් ඒ වැඩේ කරපු ඇදුරා සහ වැඩේ කරවපු අයත් විනාශ වෙන්න පුළුවන්. පිල්ලි යැවීම කියන්නෙත් අමනුෂ්‍යයින් යවන ක්‍රමයක්.

යක්කු බැඳගන්නවා කියන්නෙ ඇයි ?

යකුන් බැඳගන්නවා කියන්නෙ තමන්ගෙ යම් බලාපොරොත්තුවක් ඉටු කරගැනීම භූතයෙකුගේ සහයෝගය ලබා ගැනීම. කර්ණමුන්ඩය කියන්නෙත් භූතාක් බැඳගෙන සාස්තර කියන ක්‍රමයක්. දේව වරමින් සාස්තර කියනවා කියන අයත් ඥාති පෙරේතයෙක්ගෙන් තමයි සාස්තර කියන්නේ. ඇතැම් ව්‍යාපාර ස්ථානවලට ජනතාව වැඩියෙන් ගෙන්වා ගැනීමටත් අමනුෂ්‍යයින්ව බන්ධනය කරගන්නවා. අද රටේ තියෙන දේවල බොහොමයක ඉන්නෙ යක්ෂයො මිසක් දෙවියො නෙමෙයි. මස් කඩේ, මාළු කඩේ පවා ගැවසුණු මුදල් නෝට්ටු තියලා දෙන පූජා වට්ටිය දෙවියෙක් භාර ගනියිද ? වස විෂ ගහලා ඉදවපු පළතුරු දෙවියො භාර ගනියිද ? දේවාල කියලා හඳුන්වන බොහොමයක් තැන්වල ඇත්තටම ඉන්නෙ යක්ෂ ප්‍රේත කොටස් මිස දෙවියො නෙමෙයි.

     ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය 

        සංජීව කුළුපන බණ්ඩාර.

1 comment:

  1. Ape gedrath prethayek innawa kiyala then deka thunakinma kiuwa..ape gedra kisima wagathuwak na asanipa wenwa randu wenwa.. apita ea prethaya ain karala dennam kiuwa..eka hariyana ekak nedda sir..?

    ReplyDelete