මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය.

මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය.
මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය ලෝකයේ ප්‍රබලම මන්ත්‍ර ශාස්ත්‍රයයි . මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රයේ වැදගත්ම අංගය වන්නේ සිද්ධි ලබාගැනීමයි . කාලි ,ගණපති ,මාඩ ශාමි ,භගවතී ආදී සිද්ධි ලබාගැනීමෙන් තොරව මලයාලි ගුරුකම් කල නොහැක .මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය සම්බන්ධයෙන් මා ජ්‍යොතිෂ පුවත්පතකට ලිපි මාලාවක් ලියු අතර ඊට මහත් ජනතා ප්‍රතිචාර ලැබුණි .එම ලිපි මාලාව තුලින් මා හෙළි කළේ මාගේ මුත්තා විසින් කරන ලද විස්මිත ගුරුකම් ගැනය . මාගේ මුත්තා මලයාලි මන්තර ශාස්ත්‍රය ඉගෙනගෙන ඇත්තේ "වේණු ශාමි" නම් කේරළ මන්ත්‍රාචාර්යවරයෙක් ගෙනි . අද බොහෝ දෙනෙක් "මලයාලි ගුරුකම්" කරන බව පැවසුවද ඔවුන් මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රයේ මුලික අංග වත් නොදනී. වරු තුනෙන්, දින තුනෙන් වශී ගුරුකම් කරන බව පවසමින් පුවත්පත් වල පලකරන දැන්වීම් ප්‍රමාණය සුළුපටු නොවේ. කෙනෙක් වෙත කෙනෙක්ගේ සිත ගිය පමණින් වශිකරගැනීමට හැකිනම් ලෝකයේ ඕනෑම කෙනෙක්ව ඕනෑම කෙනෙකුට වශී කරගැනීමට හැකිය. මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය තුළ වශී ගුරුකම් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු විශේෂ විධි,ක්‍රම පවතී. මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය ගැන සියලු විස්තර ,තොරතුරු නිවැරදිව හෙළිකර දෙමින්, පුර්ණ අවබෝධයක් ඔබට ලබාදීමට මම අදහස් කළෙමි. මෙතැන් පටන් පලවන සියලු විස්තර කියවා දැනුම අවබෝධය ලබාගන්නා ලෙසත් , ව්‍යාජ මන්ත්‍ර කරුවන්ට නොරැවටී සිටින ලෙසත් ඉල්ලා සිටිමි.

Friday, June 4, 2021

 


වරමක් තියෙන එක්කෙනෙක් හරි හැම ගමකම ඉන්නවා. සමහර ගම්වල දෙතුන් දෙනෙක් ඉන්නත් පුළුවන්. මේ හැමෝටම තියෙන්නෙ නිකම් වරම් නෙමෙයි. ඒවට කියන්නෙ "දේව වරම්" කියලා. දෙවියො ඇඟට ඇවිත් අඩි හප්පලා, ඔලුව කරකවලා, අඩව්වක් අල්ලලා සාස්තර කියන්න පටන්ගන්නවා. සමහරුන්ට වරම ඇඟට එන්න බෙරයක් ගහන්න ඕනැ. සමහරු කවි කියල වරම ගන්නවා. ගොඩක් දෙනෙක්ගෙ වරම ආවට පස්සෙ දකින්න ලැබෙන පොදු ලක්ෂණය තමයි දැඟලිල්ල. දෙවියන්ට එක විදියකට ඉන්න බැරිද කියලත් සමහරු හිතනවා ඇති. කොයි හැටි වෙතත් මේ හදන්නෙ වරම් හිමියන් උපහාසයට අපහාසයට ලක් කරන්න නෙමෙයි කියන එකත් කියන්න ඕනැ. වරම් ගැන සාකච්ඡාවට බඳුන් වෙනවා හරි අඩුයි. ඉඳ හිට කවුරු හරි අදහසක් ඉදිරිපත් කළත් ඇත්ත තත්වය හරියට විස්තර වෙන්නෙ නෑ. අන්න ඒ හින්දා වරම් ගැන විස්තරය මේ විදියට ලියන්න හිතුවා. 

ඇත්තටම මේ වරම් කියන්නෙ දෙවියන්ගෙ වරම්ද ?

ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් දෙවියො ගැනත් ටිකක් කතා කරන්න වෙනවා. මොකද දෙවිවරුත් එක එක විදියෙ අය ඉන්නවනෙ. අල්පේශාක්‍ය දෙවිවරු ඉන්නවා මහේශාක්‍ය දෙවිවරු ඉන්නවා. දෙවියෙක්ද යක්ෂයෙක්ද කියල හරියට තේරුම් ගන්න අමාරු අයත් ඉන්නවා. සමහර දේවතාවියො ඉන්නවා දිව එළියෙ  කඩුව අතේ. ඇඳුම් නෑ.  පෙනුම දරුණුයි. දාමරික වැඩවලටම තමයි සම්බන්ධ වෙන්නෙ. රටේ කුමන හෝ පළාතක ජීවත් වෙලා අභාවයෙන් පස්සෙ කාලයාගේ ඇවෑමෙන් දේවත්වයට පත් වුණු අයත් ඉන්නවා. කඩවර දෙවියො, රන්වල දෙවියො, මහසෙන් දෙවියො, කතරගම දෙවියො, සමන් දෙවියො වගේ දෙවිවරු තමයි ඒ. මේ අය නිකම් ජීවිත ගත කරලා දේවත්වයට පත් වුණු අය නෙමෙයි. කුමන ආකාරයකින් හෝ යම් ශ්‍රේෂ්ඨතත්වයක් වීරත්වයක් ඇතුව ජීවත් වෙලා තමයි දේවත්වයට පත් වෙන්නෙ. ඒක කාලයත් එක්ක බොහෝ දෙනෙකුට දැනිලා, පෙනිලා, පිහිට ලැබිලා සිද්ද වෙන දෙයක්.  මැරෙන හැමෝම දේවත්වයට පත් වෙන්නෙ නෑ. "ඊයෙ හවස මම දැක්කනෙ මැරිච්චි අබරං ගොයියා පන්සල හන්දියෙ ඉන්නවා" කියල කවුරු හරි කිව්වට ගමේ මිනිස්සු අබරං ට පහන් තියාගෙන පිහිට ඉල්ලන්න යන්නෙ නෑ. ඒකට මහා පින් බලයක් තියෙන්න ඕනැ.


අපි දන්න, විශ්වාස කරන දේව ලෝක හයක් තියෙනවා. ඒ තමයි චාතුර්මහා රාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිර්මාණරතිය,පරනිර්මිත වසවර්තිය කියන දේව තල හය. චාතුර්මහා රාජිකය කියන්නෙ හතර දෙනෙක් පාලනය කරනව කියන එකනෙ. මේකෙ කොටස් හතරක් තියෙනවා. මේ කොටස් හෙවත් රාජ්‍යයන් හතර සතරවරම් දෙවිවරු පාලනය කරනවා.මේකෙ අධිපතියා තමයි ශක්‍ර දේවේන්ද්‍රයා. " ශක්‍ර දේව වරමින් සාස්තර කියනු ලැබේ" කියල කවුරුවත් බෝඩ් එකක් දාගෙන ඉනවද ? නෑ. මේ දේව ලෝක හයේ ඉන්න කිසිම දෙවි කෙනෙක්ගෙ වරමකින් සාස්තර කියන අය නෑ. වරමින් සාස්තර කියන අය භාවිතා කරන දේව නාම කීපයක් වෙනම තියෙනවා.


වරම්ලාභින් නොයෙක් ගැටලුවලට මුහුණ දෙන අවස්ථාත් තියෙනවා. සමහරු මටත් කතා කරන අවස්ථා තියෙනවා. "මගෙ වරම කවුරු හරි හිර කරලා...ඒක ආපහු හදල දෙන්න පුලුවන්ද..." මගෙ ඥාතියා ඇඟට එන්නෙ නෑ..." " ඥාතියා බන්ධනයකට අහුවෙලා. බන්ධනය කපලා ඥාතියා නිදහස් කරලා දෙන්න පුලුවන්ද...." ඔන්න ඔය විදියෙ ඉල්ලීම් ඉදිරිපත් වෙනවා.  දෙවියො හිරවෙලා කියල කවුරුවත් කියන්නෙ නෑ. දෙවියො එන්නෙ නෑ ගෙන්නලා දෙන්න කියල ඉල්ලන්නෙත් නෑ. එහෙම නම් වරම දේව වරමක් කිව්වට ඇත්තටම වරම ඥාති ප්‍රේතයෙක්ගෙනෙ. 


විවධ ගති ලක්ෂණ තියෙන අය ප්‍රේතයො අතරෙත් ඉන්නවා. වරම්වලට එන ප්‍රේතයො අතරෙත් එහෙම තමයි. සමහරු ඇත්ත කියන ගමන් බොරුත් කියනවා. පින් බලාපොරොත්තුවෙන් වරම් ලබා දෙන ප්‍රේතයොත් ඉන්නවා. මනුස්සයින්ට උපකාර කරලා සීමිත කාලයකින් මිදිලා යන්න තමයි ඒ අය එන්නෙ. එහෙම යහපත් චේතනාවෙන් ආවට සාස්තර කියන කෙනා හිතු මනාපෙට මුදල් පස්සෙ යන්න ගියොත් ඥාතියා ඉක්මනටම යන්න යනවා. ඒ වගේ ඥාතීන් එක්ක ප්‍රතිපත්ති ගරුකව කටයුතු කරන්න ඕනැ. බොහොම පිරිසිදුවට ඉන්න ඕනැ. එහෙම ප්‍රේතයො බොහෝ වෙලාවට වරම් දෙන්නෙත් පිරිසිදු ගුණයහපත් සංවර අයටයි.  වැඩිපුර දකින්න ලැබෙන්නෙ බොහොම පහත් වරම්නෙ. ඒ හැටි දැන උගත්කමක්, පිරිසිදුකමක්, කාරුණික බවක්, සංවර හැසිරීමක් නැති අය වරමින් සාස්තර කියනවා. ගෙදර දොර, ගේ වටපිටාවවත් පිළිවෙලට පිරිසිදුව නෑ. ඒ කෙනාගෙ හැටියට තමයි වරම. වරම ඇඟට ආපු වෙලාවෙ ඉඳලා කරන්න හදන්නෙත් පවුල් කඩාකප්පල් කරන,මිනී මරණ, එකතැන් කරන වැඩනෙ. ඉතින් ඇඟේ ඉන්න ප්‍රේතයා ගැන හිතාගන්න පුළුවන්නෙ.


 වරම් දීලා ඒ වරමෙන්ම නැත්තටම නැති කරන ප්‍රේතයොත් ඉන්නවා. සාස්තර කියන එකත් නැවතිලා, වටේ පිටේ ඉන්න අයත් තරහ වෙලා, සියල්ල අහිමි වුණු අය ඉන්නවා. සාංසාරික වෛරක්කාරයො විවිධ ස්වරූපවලින් එනවා. බිරිඳ විදියට ස්වාමිපුරුෂයා විදියට, දරුවෙක් විදියට, පෙම්වතා හෝ පෙම්වතිය විදියට වෛරක්කාරයො එන අවස්ථා තියෙනවනෙ. අමනුස්සයො විදියටත් වෛරක්කාරයො එන්න පුළුවන්. උදව් කරන්න කියල තමයි එන්නෙ. ඇවිත් සියල්ල විනාශ කරන එක තමයි කරන්නෙ. මම දන්න කෙනෙක් ඒ විදියට අමාරුවෙ වැටුණා. වරම ලැබුණු මුල් කාලයේ පුදුම සෙනඟක් ආවා. සෑහෙන මුදලක් හම්බ කළා.  මෙයා ටිකෙන් ටික බිමට ඇබ්බැහි වුණා. දේවාලෙට සෙනඟ එන එක නැවතුණා. වරම හිටි හැටියෙ අතුරුදන් වුණා. 


ඇඟට ආරූඩ නොවී පැත්තකට වෙලා අවශ්‍ය දේ කියන ප්‍රේතයොත් ඉන්නවා. ඒ අයගෙ කිසිම දැඟලිල්ලක් නෑ. කොහොම කියනවද කියල කාටවත් හොයාගන්නත් බෑ. දුරබැහැර පළාතක ජීවත් වෙන හොඳටම වයස ගැහැණු කෙනෙක් ඔය විදියට සාස්තර කියනවා. එක කාන්තාවක් ගිහින් සාස්තරයක් අහනවා. " උඹට ඒකා අන්තිමට කතා කරපු වෙලාවෙ ගෑණියෙක් කතා කරන සද්දෙ ඇහුණා නේද...උඹට සැකේකුත් ඇති වුණා නේද...ඒ ගෑණිත් එක්ක තමයි දැන් ඌ ඒ රටේ ජීවත් වෙන්නෙ...උඹලා ගැන දැන් වැඩිය බලන්නෙ කරන්නෙ නෑනෙ...උඹටයි දරුවටයි මිල මුදල්වත් එවන්නෙ නෑනෙ..." රට රස්සාව කරන තමන්ගෙ මනුස්සයා ගැන අහන්න ගිය කාන්තාවට ඔය විදියේ විස්තරයක් බලාගෙන හිටියා වගේ කිව්වා. සාස්තර කියන මේ ආච්චි අම්මා කකුල් දෙක ළඟට දිග ගවුමක් ඇඳගෙන බොහොම සන්සුන්ව පුටුවක වාඩිවෙලා කිසිම කලබලයක් නැතුව තමයි කියන්නෙ. 


ප්‍රේතයො බලෙන් අල්ලාගෙන සාස්තර කියන අයත් ඉන්නවා. ඥාති ප්‍රේතයෙක් කැමැත්තෙන් වරමක් දෙනවා වගේ නෙමෙයි මේක. ප්‍රේතයෙක්ව හිර කරගෙන වැඩ ගන්න එක ටිකක් බයානකයි. ලැබුණු සැණින් මිදිලා මහ විනාශයක් කරන්න පුළුවන්. එහෙම කරදරවලට මුහුණ දුන් අයත් ඉන්නවා. 


වරම් විදියට හැදෙන මානසික අසනීපත් තියෙනවා. මානසික අසනීපයකදි නම් පිළිගත හැකි දෙයක්, ඇත්තක් කොහෙත්ම කියවෙන්න විදියක් නෑ. ඇත්ත කියවෙනව නම් ඒක මානසික අසනීපයක් වෙන්නත් බෑ.


වරමින් කියන සාස්තරවලට පසුගිය දේවල් වගේම වර්තමාන දේවල් හරියට කියවුණත් ඉදිරිය ගැන කියන දේවල් සාර්ථකයි කියන්න බෑ. ප්‍රේතයින්ට අනාගතය ගැන කියන්න බෑ. ඒ වගේම තමයි සාස්තරය හරියට කියවුණත් කරන පිළියම්වල ඒ හැටි සාර්ථකත්වයක් තියෙනවා කියන්න බෑ. " පොල් ගෙඩි තුනක් ගහපන්....මේ බිත්තරය ගෙනිහින් කැරකෝප්පුවට දාහන්...මේක ගෙනිහින් පෑගෙන්න දාහන්..." කිව්වට ඒවායින් ප්‍රතිපලයක් ලැබෙන්න තියෙන ඉඩකඩ ඉතාම සීමිතයි. ඒත් යමක් හරියට කියවුණොත් එතැනින්ම යමක් කරන්නත් ගොඩක් දෙනෙක් පෙළඹෙනවා. 


කිසිම වරමක් නැති අයත් ඔය අතරෙ නැත්තෙ නෑ. බොරුව කියන දේ ඔනෑම ක්‍ෂේත්‍රයක තියෙනවා. සමහරු වෛද්‍යවරු විදියට පෙනී ඉන්නවා. සමහරු නීතිවේදීන් විදියට රඟපානවා. පොලිස් නිලධාරීන් විදියට පෙනී ඉන්න අයත් ඉන්නවා. ඒ ඉතින් මේ සමාජයෙ හැටි. 


ගුප්ත ලෝකය මහා සාගරය තරම් විශාලයි. ගොඩක් දෙනෙක් මේ දේවල් ගැන හොයන්නෙ අරමුණ ඔළුවෙ තියාගෙන නෙ. මේවා බොරු කියල ඔප්පු කරන්න ඕනැ කෙනා හොයන්නෙ බොරු කියල පෙන්නන්න පුළුවන් දේවල් විතරයි. මේවා ඇත්ත කියල පෙන්නන්න ඕනැ කෙනා හොයන්නෙ ඇත්ත කියල පෙන්නන්න පුළුවන් දේවල් විතරයි. මැදහත් තැනක ඉඳලා ගවේෂණය කරන අය අඩුයි. වසර ගණනාවක අත්දැකීම් තුළ සොයා දැනගත් දේ ඉතාම සරලව තමයි මේ ලිව්වෙ. අත්දුටු සිදුවීම් සියල්ල මේ විදියට ඉදිරිපත් කරන්න අමාරුයි. ප්‍රමාණය එතරම් විශාලයි.


සංජීව කුළුපන බණ්ඩාර 

077 7065760

071 8875816

Wednesday, June 2, 2021

 



කළුකුමාර දෝෂය පිළිබඳව බොහෝ දෙනා නොයෙක් අදහස් පල කරන බව පෙනෙන්නට තිබේ. ඇතැමුන් කළුකුමාර දෝෂය එක හෙළා බැහැර කරනු ලබන්නේ මෙය මානසික රෝගයක් බව පවසමිනි. 


මීට අවුරුදු සියයකට එකසිය පනහකට පෙරදී දෙවියන් හෝ යක්ෂ ප්‍රේතාදීන් සිටින්නේද යන කාරණය මෙතරම් ප්‍රශ්නකාරී නොවූ බව පැහැදිලිය. බටහිර දැනුම් පද්ධතිය තුලින් ලබන අධ්‍යාපනය තුළ ඇසට නොපෙනෙන සියලු දේ මිථ්‍යාවන් ලෙස බැහැර කරනු ලබයි. එවන් පසුබිමක් තුළ ඇතැම් බෞද්ධයෝ පවා දෙවියන් අමනුෂ්‍යයින් සිටිනවාද යන ප්‍රශ්නය මතු කරති. ජාත්‍යන්තර සංවිධාන විසින් සකස් කරනු ලබන විෂය නිර්දේශ අනුව ලබන දැනුම තුළ දෙවියන් අමනුෂ්‍යයින් ගැන පමණක් නොව අපගේ සැබෑ ඉතිහාසය පිලිබඳව වූවද නිවැරදි දැනුමක් නොලැබෙන බව පිළිගත යුතුය. 15 වැනි සියවසට පෙර බටහිරයින් යක්ෂයින් ආරූඩ වී ඇතැයි කියමින්  මානසික රෝගීන්ව මරාදමන කාලයේ පවා මෙරට මානසික රෝග සඳහා නිසි ප්‍රතිකර්ම භාවිතා කළ බවට සාක්ෂි පවතී. මානසික රෝග හා අමනුෂ්‍ය බලපෑම් වෙන් වෙන්ව හඳුනා ගත නොහැකි තරමට හෙළයෝ මෝඩයින් නොවූහ. 


 අචින්ත්‍ය වූ සත්ව විෂය තුළ ප්‍රේත,පිශාචාදී අමනුෂ්‍ය බලවේග අප්‍රමාණව සිටිති. සත්වයින් තම තමන්ගේ කර්ම ශක්තිය අනුව මනුෂ්‍ය, තිරිසන්,ප්‍රේත,අසුර, නිර,දිව්‍ය, බ්‍රහ්ම ආදී ලෝක වල උප්පත්තිය ලබයි. මනුෂ්‍යයින් හා තිරිසන් සතුන් අපට දර්ශනය වුණද ප්‍රේත, පිශාචාදී සත්වයින් දර්ශණය නොවෙයි.. ඒ ඔවුන් තන්මාත්‍රමය සූක්ෂම ශරීර වලින් යුක්ත වන නිසාය. අමනුෂ්‍යයින් දැක ගැනීමේ හැකියාවෙන් යුක්ත වූවෝ ද වෙති. ඇතැමුන්ට උපතින් එම ශක්තිය ලැබෙන අතර ඇතැමෙක් මානසික අභ්‍යාස මඟින් සිත සමාධි ගතකර එම ශක්තිය ලබාගනියි. දෙවියන් සහ යක්ෂ ප්‍රේතාදීන් සමඟ නොයෙක් ආකාරයෙන් ගණුදෙනු කරන්නෝද වෙති.


ජීවත්ව සිටියදී පුද්ගලයෙකු තුළ පවතින ප්‍රමුඛ ගති පැවතුම්, රුචි අරුචිකම් සංසාරිකව තමන් සමග බැඳී ගමන් කරයි. පාලනය කරගැනීමට නොහැකි තරමේ කාමාශාවන් සහිත පුද්ගලයින් සමාජය තුළ බහුලය. හය හතර නොතේරෙන කුඩා දැරියන් පවා දුෂණය කරන කාමුකයෝ සමාජය තුළ වෙති..තම ලෙයින් උපන් දියණියගෙන් පවා පහත් ආශාවන් සංසිඳුවා ගන්නෝ ද ඒ අතර වෙති..එක ගැහැණියකගෙන් සැහීමකට පත් නොවී වෙනත් කාන්තාවන් කරා යන ස්වාමිපුරුෂයින් ද වෙයි.. කාමයට දැඩිව ලොල් වූ මෙවැන්නෝ  මරණින් මතු ප්‍රේත ලෝකයේ උප්පත්තිය ලබන්නේ කාමුක ප්‍රේතයින් ලෙසය.මෙම කාමුක අමනුෂ්‍යයෝ කාන්තාවන් කෙරෙහි ප්‍රිය වෙති.  ඇතැම් අමනුෂ්‍යයෝ  කාන්තාවන් ස්පර්ශ කරති..කාන්තාවන් සමග සයනය කරති. කාන්තාවන්ගේ නොයෙක් අප ද්‍රව්‍ය කෙරෙහි ලොල් වූ අමනුෂ්‍යයෝ ද වෙති. මේ ආකාරයට කාන්තාවන් කෙරෙහි ලොල් වූ අමනුෂ්‍ය බලවේග හැඳින්වීම සඳහා පොදුවේ භාවිතා කරනු ලබන නාමය  "කළුකුමාරයා" ය.


කාමයට ලොල් වූ මෙම අමනුෂ්‍යයෝ සෑම කාන්තාවකටම බලපෑම් නොකරති. මොවුන් කාන්තාවකට සමීප වන්නේ ඇය වෙතින් මුදා හැරෙන සිතුවිළි හා හැඟීම් හරහාය. විවාහක කාන්තාවකගේ සැමියා විදේශ රටක සේවය කරනවා යැයි සිතමු. සැමියා සිහිවීමෙන් ඇය තුළ ඇතිවෙන ලිංගික හැඟීම්, කාමුක සිතුවිළි හා සම්බන්ධ වන අමනුෂ්‍යයා ඇය වෙත සමීප වෙයි. සමීපව පෙම්වතෙක් ඇසුරු කළ යුවතියක් ඔහුගෙන් දුරස් වී කල් ගෙවන විටද මෙවැනි අමනුෂ්‍යයින් සමීප වන බව පෙනෙන්නට තිබේ. කායික ඇසුර අවශ්‍ය නමුත් එය අහිමිව සිටින කාන්තාවන්ට, විවාහ වන වයස ඉක්මවා ගොස් සිටියද  විවාහ නොවී සිටින කාන්තාවන්ටද  මෙවැනි අමනුෂ්‍යන්ගේ බලපෑම් එල්ල වන අවස්ථා තිබේ..ඇතැමුන්ට මෙවැනි අමනුෂ්‍ය බලපෑම් හේතුවෙන් නොයෙක් රෝග පීඩාවන් ද ඇතිවෙයි. ශරීරය වැහැරීම, ප්‍රියමනාප පෙනුම වියැකී යාම, වරින්වර සුළු ක්ලාන්ත ගති ඇතිවීම, ආවේගශීලී ගති මතු වීම, උද්යෝගය අඩු වීම ආදී පීඩාවන් ද මේ අතර වෙයි.


නින්දේදී යමෙක් තමන් සමීපයේ සිටින බව, නින්දේදී යමෙක් තමන් සමඟ කායිකව එක් වන බව, යම් කිසිවෙක් ශරීරය මතට ගොඩවන ස්වභාවයක් දැනෙන බව ආදී නොයෙක් දැනීම් පිළිබඳව අසන්නට ලැබෙන අවස්ථා තිබේ. මෙරට පමණක් නොව එතෙර රටවල කල් ගෙවන ඇතැම් කාන්තාවෝද මෙවැනි ගැටළු ඉදිරිපත් කරති.


මිය ගිය ස්වාමි පුරුෂයා අමනුෂ්‍ය භවයක ඉපිද බිරිඳ වෙත සමීප වන අවස්ථා ද වෙයි. මිය ගිය පෙම්වතා අමනුෂ්‍ය භවයක ඉපිද පෙම්වතිය වෙත සමීප වන අවස්ථා ද නැතුවා නොවේ. මේ මාගේ මිය ගිය සැමියාය, මේ මාගේ පෙම්වතාය යනුවෙන් දැනගැනීමට හැකි වන අවස්ථා මෙන්ම නොහැකි වන අවස්ථාද වෙයි. එසේ දැනගැනීමට නොහැකි වූ අවස්ථාවකදී එය බැරවන්නේ ද කළුකුමාරයාගේ ගිණුමට ය. චිත්ත සමාධි බලය හිමි අධ්‍යාත්මවේදියෙකුට මේ කිනම් දෝෂයක් දැයි පැවසීම එතරම් අපහසු නොවේ.


අපගේ ඇසට නොපෙනෙන නමුත් මනුෂ්‍ය ශරීරය වටා රශ්මි මණ්ඩලයක් හෙවත් රැස් වළල්ලක් පවතී. මෙම රශ්මි මණ්ඩලය සිතේ ස්වභාවය අනුව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. සිත ප්‍රභාශ්වර වන විට ශරීර රශ්මිය දීප්තිමත්ව හා ශක්තිමත්ව පිහිටන නමුත් සිත දුර්වල නම් ශරීර රශ්මියද දුර්වලය. සිතෙහි නැඟෙන චේතනාවන් අනුව ද ශරීර රශ්මියේ පැහැය සහ ශක්තිය වෙනස් වෙයි. දුර්වල ශරීර රශ්මිය තුලින් අමනුෂ්‍යයින්ට සමීප වීමේ හැකියාව පවතී. 'කළුකුමාර දෝෂය' ලෙස හඳුන්වන අමනුෂ්‍ය බලපෑම් කාන්තාවකට සමීප වන්නේද මෙම දුර්වල ශරීර රශ්මිය හරහාය. ඇතැමුන්ගේ රශ්මි මණ්ඩලය ස්වභාවයෙන්ම දුර්වලය. අපලකාරී කාල සීමාවන් තුළ මුහුණ දීමට සිදුවන කරදර ගැහැට හේතුවෙන් ඇතිවන කළකිරීම් හෝ කෝපය නිසා ද රශ්මි මණ්ඩලය දුර්වල වෙයි. 


කළුකුමාර දෝෂය පමණක් නොව වෙනත් අමනුෂ්‍ය දෝෂ ද දුරු කරලීමේ හැකියාව මෛත්‍රී බලය සතුය. මෙත් වඩන පුද්ගලයාට අමනුෂ්‍ය උපද්‍රව ඇති නොවන අතර නිතර මෛත්‍රී වැඩීම අමනුෂ්‍යන්ගේ ප්‍රසාදයට ලක් වීමට හේතු වන බවද සත්‍යයකි. “අමුනුස්සානං පියෝ හොති” යන්නෙන් පැහැදිලි වන්නේ එයයි. නිතර මෙත් වඩන්නන්ගේ ශරීර රශ්මි මණ්ඩලය ප්‍රභාශ්වරය. මෛත්‍රී බලය හා සමාන කළ හැකි වෙනත් බලයක් නැත.


සංජීව කුළුපන බණ්ඩාර 

077 7065760

071 8875816




Monday, April 19, 2021

කලාවැව ගමන 2020.12.08

 



රටේ මොන විදියේ වාතාවරණයක් තිබුණත් මෙතැනට නම් යන්න වෙනාවම තමයි. ඒක නවත්වන්න බෑ. ගණුදෙනු කරන්නෙ දෙවිවරු දෙතුන් දෙනෙක් එක්ක විතරයි.  කඩවර කියන්නෙ ඒ දෙතුන් දෙනාගෙන් කෙනෙක්. ගණුදෙනු කරනවාය කියන්නෙ අදහනව කියන එක නෙමෙයි. ඒක වෙනම ගණුදෙනුවක්. දෙවියො ඇදහීමක්, දෙවියන්ගෙන් ඉල්ලීමක් නෑ. 


රන්වල දෙවියො හැරුණු කොට ඊළඟට සමීපම දෙවියො තමයි කඩවර කියන්නෙ. ගෞරවයට දෙවියො කියල කිව්වට කඩවර කියන්නෙ දෙවි කෙනෙකුත් නෙමෙයි. කඩවර යක්ෂයෙක්. නම සෙනෙවිරත්න. කඩවරලා ගොඩක් ඉන්නවා. කඩවර කියන්නෙ වාරි කර්මාන්තයට සම්බන්ධ තනතුරක්නෙ. සෙනෙවිරත්න මුල් කඩවර කියන්නෙ කඩවරලාගේ ප්‍රධානියා හින්දයි.


කඩවර එක්ක ගණුදෙනුව ආරම්භ වුණේ අහම්බෙන්. දවසක් නින්දෙදි කෙනෙක් කිව්වා කඩවර දෙවියන්ගෙ ප්‍රධාන දේවාලෙට ගිහින් එන්න කියලා. ටික දවසක් යන කොට ඒකට නිකම්ම අවස්ථාව උදා වුණා. ඒ ගිය පාර තමයි මේ නොනවත්වාම යන්නෙ. 


ඉස්සර ඉඳලම මම යක්කුන්ට ගරු කරනවා. ඒ හින්දම වෙන්න ඇති කඩවර එක්ක සම්බන්ධ වීමේ අවස්ථාව උදා වෙන්නත් ඇත්තෙ. මේ යක්කු කියන්නෙ ලේ බොන, මස් කන පජාත යක්කුන්ට නෙමෙයි. මේ සිංහල බිමේ ඉපදුණු, යක්ෂ වැඩ කරපු අපේ යක්කුන්ට. භරණ කියන්නෙත් මට නම් යකෙක්. අච්චර ලොකු ගලක් බුදු පිළිමයක් බවට පත් කරපු එක යක්ෂ වැඩක් නෙමෙයිද...කඩවර දේවාලෙට යන්න කලින් අවුකන පිළිමය ළඟට ගිහින් පිළිමය දිහා ටික වෙලාවක් බලාගෙන ඉඳලා, වැඳලා භරණටත් පින් දෙන්නෙ ඒ හින්දයි. කලාවැවේ නිර්මාණකරු විදියට සැළකෙන්නෙත් භරණ නේ. බුලතා කියන්නෙත් යකෙක්. ඔය විදියෙ යක්කු මොන තරම් නම් මේ හෙළ බිමේ ඉඳල තියෙනවද..අරහෙන් මෙහෙන් ඉංජිනේරුවො ගෙන්නගෙන අද කාලයේ හදන ජලාශවල හිටි ගමන් වතුර කාන්දු වෙනවා. අපේ යක්කු අවුරුදු දහස් ගාණකට ඉස්සර හදපු වැව් අදටත් හොඳට තියෙනවා.


කොහේ හරි ගිහින් ශාන්තිකර්මයක් කරනවා නම් කඩවරට ගොටුවක් දෙන්න අමතක කරන්නෙ නෑ. කඩවර එක්ක සම්බන්ධය පටන් ගන්න කලින් ඉඳලම ඒ වැඩේ කරනවා. කඩවරට ගොටුව දෙන්නෙ මට පිහිටක් ඉල්ලගන්න නෙමෙයි. හැකි නම් මෙන්න මේ බිමේ ජීවිතය ගෙවන අහිංසක මිනිස්සුන්ට පිහිටක් වෙන්න කියන එක තමයි එතැනදි කරන්නෙ. මගේ ප්‍රතිපත්ති තුළ දෙවියන්ගෙන්, යක්ෂයින්ගෙන්, ප්‍රේතයින්ගෙන් කිසිම ආකාරයේ පිහිටක් උපකාරයක් මට ඉල්ලන්න බෑ.


හෙළ බිමේ දෙවියන්ගේ බලයට වඩා යක්ෂයින්ගේ බලය වැඩියි. ඒ වුණාට අපේ යක්ෂයො ගැනවත් යක්ෂයින්ගේ බලය ගැනවත් දන්න අය අඩුයි. 


දෙවියො, යක්ෂයො, ප්‍රේතයො එක්ක ගණුදෙනු කරන්න භාෂාවක් අවශ්‍ය නෑ. ඒ අයත් එක්ක ගණුදෙනු කරන්න ඕනැ සිතුවිලිවලින් මිසක් වචනවලින් නෙමෙයි. සිතුවිලිවලින් ගණුදෙනු කරන්න නම් හොඳ චිත්ත සමාධියක් ඕනැ. චිත්ත සමාධිය ඇති කරගන්න එක තමයි ගොඩක් දෙනෙකුට තියෙන අමාරුම වැඩේ. අද කාලයේ ජ්‍යොතිෂ කටයුතු, දේව කටයුතු, මන්තර කටයුතුවල නියැලෙන ගොඩක් දෙනෙකුටත් චිත්ත සමාධියක් නෑ. වචනෙ වැරදුණු ගමන් කුණුහරපවලින් ප්‍රහාර එල්ල කරගන්න හැටි වගේම අනවශ්‍ය සිද්ධිවල පැටලෙන, අනුන්ට අපහාස කරන හැටි ගොඩක් දෙනෙක් දකිනවා ඇති. 



මම මීට අවුරුදු දහයකට විතර කලින් කඩවර ගැන පත්තරේකට ලිපියක් ලිව්වා. ඒ ලිපිය 2016 දි මගේ බ්ලොග් අඩවියෙ පල කළා. මේ ළඟදි මම දැක්කා ඒ ලිපිය තව කාගෙද පේජ් එකක තියෙනවා ලියපු කෙනාගේ නමවත් නැතුව. වැඩේ කියන්නේ...ඒ ලිපියෙ තියෙන දේවල් ගැන සමහරු අහල තියෙන ප්‍රශ්නවලටත් කිසිම ලැජ්ජාවක් නැතුව උත්තරත් දීලා. ඔන්න ඔය වගේ යක්කු තමයි දැන් ඉන්නේ.

ඒ ලිපිය කියවන්න මෙතනින්.    http://manthra-gurukam.blogspot.com/2016/03/blog-post.html



                                                            සංජීව කුළුපන බණ්ඩාර