රටේ මොන විදියේ වාතාවරණයක් තිබුණත් මෙතැනට නම් යන්න වෙනාවම තමයි. ඒක නවත්වන්න බෑ. ගණුදෙනු කරන්නෙ දෙවිවරු දෙතුන් දෙනෙක් එක්ක විතරයි. කඩවර කියන්නෙ ඒ දෙතුන් දෙනාගෙන් කෙනෙක්. ගණුදෙනු කරනවාය කියන්නෙ අදහනව කියන එක නෙමෙයි. ඒක වෙනම ගණුදෙනුවක්. දෙවියො ඇදහීමක්, දෙවියන්ගෙන් ඉල්ලීමක් නෑ.
රන්වල දෙවියො හැරුණු කොට ඊළඟට සමීපම දෙවියො තමයි කඩවර කියන්නෙ. ගෞරවයට දෙවියො කියල කිව්වට කඩවර කියන්නෙ දෙවි කෙනෙකුත් නෙමෙයි. කඩවර යක්ෂයෙක්. නම සෙනෙවිරත්න. කඩවරලා ගොඩක් ඉන්නවා. කඩවර කියන්නෙ වාරි කර්මාන්තයට සම්බන්ධ තනතුරක්නෙ. සෙනෙවිරත්න මුල් කඩවර කියන්නෙ කඩවරලාගේ ප්‍රධානියා හින්දයි.
කඩවර එක්ක ගණුදෙනුව ආරම්භ වුණේ අහම්බෙන්. දවසක් නින්දෙදි කෙනෙක් කිව්වා කඩවර දෙවියන්ගෙ ප්‍රධාන දේවාලෙට ගිහින් එන්න කියලා. ටික දවසක් යන කොට ඒකට නිකම්ම අවස්ථාව උදා වුණා. ඒ ගිය පාර තමයි මේ නොනවත්වාම යන්නෙ.
ඉස්සර ඉඳලම මම යක්කුන්ට ගරු කරනවා. ඒ හින්දම වෙන්න ඇති කඩවර එක්ක සම්බන්ධ වීමේ අවස්ථාව උදා වෙන්නත් ඇත්තෙ. මේ යක්කු කියන්නෙ ලේ බොන, මස් කන පජාත යක්කුන්ට නෙමෙයි. මේ සිංහල බිමේ ඉපදුණු, යක්ෂ වැඩ කරපු අපේ යක්කුන්ට. භරණ කියන්නෙත් මට නම් යකෙක්. අච්චර ලොකු ගලක් බුදු පිළිමයක් බවට පත් කරපු එක යක්ෂ වැඩක් නෙමෙයිද...කඩවර දේවාලෙට යන්න කලින් අවුකන පිළිමය ළඟට ගිහින් පිළිමය දිහා ටික වෙලාවක් බලාගෙන ඉඳලා, වැඳලා භරණටත් පින් දෙන්නෙ ඒ හින්දයි. කලාවැවේ නිර්මාණකරු විදියට සැළකෙන්නෙත් භරණ නේ. බුලතා කියන්නෙත් යකෙක්. ඔය විදියෙ යක්කු මොන තරම් නම් මේ හෙළ බිමේ ඉඳල තියෙනවද..අරහෙන් මෙහෙන් ඉංජිනේරුවො ගෙන්නගෙන අද කාලයේ හදන ජලාශවල හිටි ගමන් වතුර කාන්දු වෙනවා. අපේ යක්කු අවුරුදු දහස් ගාණකට ඉස්සර හදපු වැව් අදටත් හොඳට තියෙනවා.
කොහේ හරි ගිහින් ශාන්තිකර්මයක් කරනවා නම් කඩවරට ගොටුවක් දෙන්න අමතක කරන්නෙ නෑ. කඩවර එක්ක සම්බන්ධය පටන් ගන්න කලින් ඉඳලම ඒ වැඩේ කරනවා. කඩවරට ගොටුව දෙන්නෙ මට පිහිටක් ඉල්ලගන්න නෙමෙයි. හැකි නම් මෙන්න මේ බිමේ ජීවිතය ගෙවන අහිංසක මිනිස්සුන්ට පිහිටක් වෙන්න කියන එක තමයි එතැනදි කරන්නෙ. මගේ ප්‍රතිපත්ති තුළ දෙවියන්ගෙන්, යක්ෂයින්ගෙන්, ප්‍රේතයින්ගෙන් කිසිම ආකාරයේ පිහිටක් උපකාරයක් මට ඉල්ලන්න බෑ.
හෙළ බිමේ දෙවියන්ගේ බලයට වඩා යක්ෂයින්ගේ බලය වැඩියි. ඒ වුණාට අපේ යක්ෂයො ගැනවත් යක්ෂයින්ගේ බලය ගැනවත් දන්න අය අඩුයි.
දෙවියො, යක්ෂයො, ප්‍රේතයො එක්ක ගණුදෙනු කරන්න භාෂාවක් අවශ්‍ය නෑ. ඒ අයත් එක්ක ගණුදෙනු කරන්න ඕනැ සිතුවිලිවලින් මිසක් වචනවලින් නෙමෙයි. සිතුවිලිවලින් ගණුදෙනු කරන්න නම් හොඳ චිත්ත සමාධියක් ඕනැ. චිත්ත සමාධිය ඇති කරගන්න එක තමයි ගොඩක් දෙනෙකුට තියෙන අමාරුම වැඩේ. අද කාලයේ ජ්‍යොතිෂ කටයුතු, දේව කටයුතු, මන්තර කටයුතුවල නියැලෙන ගොඩක් දෙනෙකුටත් චිත්ත සමාධියක් නෑ. වචනෙ වැරදුණු ගමන් කුණුහරපවලින් ප්‍රහාර එල්ල කරගන්න හැටි වගේම අනවශ්‍ය සිද්ධිවල පැටලෙන, අනුන්ට අපහාස කරන හැටි ගොඩක් දෙනෙක් දකිනවා ඇති.
මම මීට අවුරුදු දහයකට විතර කලින් කඩවර ගැන පත්තරේකට ලිපියක් ලිව්වා. ඒ ලිපිය 2016 දි මගේ බ්ලොග් අඩවියෙ පල කළා. මේ ළඟදි මම දැක්කා ඒ ලිපිය තව කාගෙද පේජ් එකක තියෙනවා ලියපු කෙනාගේ නමවත් නැතුව. වැඩේ කියන්නේ...ඒ ලිපියෙ තියෙන දේවල් ගැන සමහරු අහල තියෙන ප්‍රශ්නවලටත් කිසිම ලැජ්ජාවක් නැතුව උත්තරත් දීලා. ඔන්න ඔය වගේ යක්කු තමයි දැන් ඉන්නේ.
ඒ ලිපිය කියවන්න මෙතනින්. http://manthra-gurukam.blogspot.com/2016/03/blog-post.html