වරමක් තියෙන එක්කෙනෙක් හරි හැම ගමකම ඉන්නවා. සමහර ගම්වල දෙතුන් දෙනෙක් ඉන්නත් පුළුවන්. මේ හැමෝටම තියෙන්නෙ නිකම් වරම් නෙමෙයි. ඒවට කියන්නෙ "දේව වරම්" කියලා. දෙවියො ඇඟට ඇවිත් අඩි හප්පලා, ඔලුව කරකවලා, අඩව්වක් අල්ලලා සාස්තර කියන්න පටන්ගන්නවා. සමහරුන්ට වරම ඇඟට එන්න බෙරයක් ගහන්න ඕනැ. සමහරු කවි කියල වරම ගන්නවා. ගොඩක් දෙනෙක්ගෙ වරම ආවට පස්සෙ දකින්න ලැබෙන පොදු ලක්ෂණය තමයි දැඟලිල්ල. දෙවියන්ට එක විදියකට ඉන්න බැරිද කියලත් සමහරු හිතනවා ඇති. කොයි හැටි වෙතත් මේ හදන්නෙ වරම් හිමියන් උපහාසයට අපහාසයට ලක් කරන්න නෙමෙයි කියන එකත් කියන්න ඕනැ. වරම් ගැන සාකච්ඡාවට බඳුන් වෙනවා හරි අඩුයි. ඉඳ හිට කවුරු හරි අදහසක් ඉදිරිපත් කළත් ඇත්ත තත්වය හරියට විස්තර වෙන්නෙ නෑ. අන්න ඒ හින්දා වරම් ගැන විස්තරය මේ විදියට ලියන්න හිතුවා.
ඇත්තටම මේ වරම් කියන්නෙ දෙවියන්ගෙ වරම්ද ?
ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් දෙවියො ගැනත් ටිකක් කතා කරන්න වෙනවා. මොකද දෙවිවරුත් එක එක විදියෙ අය ඉන්නවනෙ. අල්පේශාක්‍ය දෙවිවරු ඉන්නවා මහේශාක්‍ය දෙවිවරු ඉන්නවා. දෙවියෙක්ද යක්ෂයෙක්ද කියල හරියට තේරුම් ගන්න අමාරු අයත් ඉන්නවා. සමහර දේවතාවියො ඉන්නවා දිව එළියෙ කඩුව අතේ. ඇඳුම් නෑ. පෙනුම දරුණුයි. දාමරික වැඩවලටම තමයි සම්බන්ධ වෙන්නෙ. රටේ කුමන හෝ පළාතක ජීවත් වෙලා අභාවයෙන් පස්සෙ කාලයාගේ ඇවෑමෙන් දේවත්වයට පත් වුණු අයත් ඉන්නවා. කඩවර දෙවියො, රන්වල දෙවියො, මහසෙන් දෙවියො, කතරගම දෙවියො, සමන් දෙවියො වගේ දෙවිවරු තමයි ඒ. මේ අය නිකම් ජීවිත ගත කරලා දේවත්වයට පත් වුණු අය නෙමෙයි. කුමන ආකාරයකින් හෝ යම් ශ්‍රේෂ්ඨතත්වයක් වීරත්වයක් ඇතුව ජීවත් වෙලා තමයි දේවත්වයට පත් වෙන්නෙ. ඒක කාලයත් එක්ක බොහෝ දෙනෙකුට දැනිලා, පෙනිලා, පිහිට ලැබිලා සිද්ද වෙන දෙයක්. මැරෙන හැමෝම දේවත්වයට පත් වෙන්නෙ නෑ. "ඊයෙ හවස මම දැක්කනෙ මැරිච්චි අබරං ගොයියා පන්සල හන්දියෙ ඉන්නවා" කියල කවුරු හරි කිව්වට ගමේ මිනිස්සු අබරං ට පහන් තියාගෙන පිහිට ඉල්ලන්න යන්නෙ නෑ. ඒකට මහා පින් බලයක් තියෙන්න ඕනැ.
අපි දන්න, විශ්වාස කරන දේව ලෝක හයක් තියෙනවා. ඒ තමයි චාතුර්මහා රාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිර්මාණරතිය,පරනිර්මිත වසවර්තිය කියන දේව තල හය. චාතුර්මහා රාජිකය කියන්නෙ හතර දෙනෙක් පාලනය කරනව කියන එකනෙ. මේකෙ කොටස් හතරක් තියෙනවා. මේ කොටස් හෙවත් රාජ්‍යයන් හතර සතරවරම් දෙවිවරු පාලනය කරනවා.මේකෙ අධිපතියා තමයි ශක්‍ර දේවේන්ද්‍රයා. " ශක්‍ර දේව වරමින් සාස්තර කියනු ලැබේ" කියල කවුරුවත් බෝඩ් එකක් දාගෙන ඉනවද ? නෑ. මේ දේව ලෝක හයේ ඉන්න කිසිම දෙවි කෙනෙක්ගෙ වරමකින් සාස්තර කියන අය නෑ. වරමින් සාස්තර කියන අය භාවිතා කරන දේව නාම කීපයක් වෙනම තියෙනවා.
වරම්ලාභින් නොයෙක් ගැටලුවලට මුහුණ දෙන අවස්ථාත් තියෙනවා. සමහරු මටත් කතා කරන අවස්ථා තියෙනවා. "මගෙ වරම කවුරු හරි හිර කරලා...ඒක ආපහු හදල දෙන්න පුලුවන්ද..." මගෙ ඥාතියා ඇඟට එන්නෙ නෑ..." " ඥාතියා බන්ධනයකට අහුවෙලා. බන්ධනය කපලා ඥාතියා නිදහස් කරලා දෙන්න පුලුවන්ද...." ඔන්න ඔය විදියෙ ඉල්ලීම් ඉදිරිපත් වෙනවා. දෙවියො හිරවෙලා කියල කවුරුවත් කියන්නෙ නෑ. දෙවියො එන්නෙ නෑ ගෙන්නලා දෙන්න කියල ඉල්ලන්නෙත් නෑ. එහෙම නම් වරම දේව වරමක් කිව්වට ඇත්තටම වරම ඥාති ප්‍රේතයෙක්ගෙනෙ.
විවධ ගති ලක්ෂණ තියෙන අය ප්‍රේතයො අතරෙත් ඉන්නවා. වරම්වලට එන ප්‍රේතයො අතරෙත් එහෙම තමයි. සමහරු ඇත්ත කියන ගමන් බොරුත් කියනවා. පින් බලාපොරොත්තුවෙන් වරම් ලබා දෙන ප්‍රේතයොත් ඉන්නවා. මනුස්සයින්ට උපකාර කරලා සීමිත කාලයකින් මිදිලා යන්න තමයි ඒ අය එන්නෙ. එහෙම යහපත් චේතනාවෙන් ආවට සාස්තර කියන කෙනා හිතු මනාපෙට මුදල් පස්සෙ යන්න ගියොත් ඥාතියා ඉක්මනටම යන්න යනවා. ඒ වගේ ඥාතීන් එක්ක ප්‍රතිපත්ති ගරුකව කටයුතු කරන්න ඕනැ. බොහොම පිරිසිදුවට ඉන්න ඕනැ. එහෙම ප්‍රේතයො බොහෝ වෙලාවට වරම් දෙන්නෙත් පිරිසිදු ගුණයහපත් සංවර අයටයි. වැඩිපුර දකින්න ලැබෙන්නෙ බොහොම පහත් වරම්නෙ. ඒ හැටි දැන උගත්කමක්, පිරිසිදුකමක්, කාරුණික බවක්, සංවර හැසිරීමක් නැති අය වරමින් සාස්තර කියනවා. ගෙදර දොර, ගේ වටපිටාවවත් පිළිවෙලට පිරිසිදුව නෑ. ඒ කෙනාගෙ හැටියට තමයි වරම. වරම ඇඟට ආපු වෙලාවෙ ඉඳලා කරන්න හදන්නෙත් පවුල් කඩාකප්පල් කරන,මිනී මරණ, එකතැන් කරන වැඩනෙ. ඉතින් ඇඟේ ඉන්න ප්‍රේතයා ගැන හිතාගන්න පුළුවන්නෙ.
වරම් දීලා ඒ වරමෙන්ම නැත්තටම නැති කරන ප්‍රේතයොත් ඉන්නවා. සාස්තර කියන එකත් නැවතිලා, වටේ පිටේ ඉන්න අයත් තරහ වෙලා, සියල්ල අහිමි වුණු අය ඉන්නවා. සාංසාරික වෛරක්කාරයො විවිධ ස්වරූපවලින් එනවා. බිරිඳ විදියට ස්වාමිපුරුෂයා විදියට, දරුවෙක් විදියට, පෙම්වතා හෝ පෙම්වතිය විදියට වෛරක්කාරයො එන අවස්ථා තියෙනවනෙ. අමනුස්සයො විදියටත් වෛරක්කාරයො එන්න පුළුවන්. උදව් කරන්න කියල තමයි එන්නෙ. ඇවිත් සියල්ල විනාශ කරන එක තමයි කරන්නෙ. මම දන්න කෙනෙක් ඒ විදියට අමාරුවෙ වැටුණා. වරම ලැබුණු මුල් කාලයේ පුදුම සෙනඟක් ආවා. සෑහෙන මුදලක් හම්බ කළා. මෙයා ටිකෙන් ටික බිමට ඇබ්බැහි වුණා. දේවාලෙට සෙනඟ එන එක නැවතුණා. වරම හිටි හැටියෙ අතුරුදන් වුණා.
ඇඟට ආරූඩ නොවී පැත්තකට වෙලා අවශ්‍ය දේ කියන ප්‍රේතයොත් ඉන්නවා. ඒ අයගෙ කිසිම දැඟලිල්ලක් නෑ. කොහොම කියනවද කියල කාටවත් හොයාගන්නත් බෑ. දුරබැහැර පළාතක ජීවත් වෙන හොඳටම වයස ගැහැණු කෙනෙක් ඔය විදියට සාස්තර කියනවා. එක කාන්තාවක් ගිහින් සාස්තරයක් අහනවා. " උඹට ඒකා අන්තිමට කතා කරපු වෙලාවෙ ගෑණියෙක් කතා කරන සද්දෙ ඇහුණා නේද...උඹට සැකේකුත් ඇති වුණා නේද...ඒ ගෑණිත් එක්ක තමයි දැන් ඌ ඒ රටේ ජීවත් වෙන්නෙ...උඹලා ගැන දැන් වැඩිය බලන්නෙ කරන්නෙ නෑනෙ...උඹටයි දරුවටයි මිල මුදල්වත් එවන්නෙ නෑනෙ..." රට රස්සාව කරන තමන්ගෙ මනුස්සයා ගැන අහන්න ගිය කාන්තාවට ඔය විදියේ විස්තරයක් බලාගෙන හිටියා වගේ කිව්වා. සාස්තර කියන මේ ආච්චි අම්මා කකුල් දෙක ළඟට දිග ගවුමක් ඇඳගෙන බොහොම සන්සුන්ව පුටුවක වාඩිවෙලා කිසිම කලබලයක් නැතුව තමයි කියන්නෙ.
ප්‍රේතයො බලෙන් අල්ලාගෙන සාස්තර කියන අයත් ඉන්නවා. ඥාති ප්‍රේතයෙක් කැමැත්තෙන් වරමක් දෙනවා වගේ නෙමෙයි මේක. ප්‍රේතයෙක්ව හිර කරගෙන වැඩ ගන්න එක ටිකක් බයානකයි. ලැබුණු සැණින් මිදිලා මහ විනාශයක් කරන්න පුළුවන්. එහෙම කරදරවලට මුහුණ දුන් අයත් ඉන්නවා.
වරම් විදියට හැදෙන මානසික අසනීපත් තියෙනවා. මානසික අසනීපයකදි නම් පිළිගත හැකි දෙයක්, ඇත්තක් කොහෙත්ම කියවෙන්න විදියක් නෑ. ඇත්ත කියවෙනව නම් ඒක මානසික අසනීපයක් වෙන්නත් බෑ.
වරමින් කියන සාස්තරවලට පසුගිය දේවල් වගේම වර්තමාන දේවල් හරියට කියවුණත් ඉදිරිය ගැන කියන දේවල් සාර්ථකයි කියන්න බෑ. ප්‍රේතයින්ට අනාගතය ගැන කියන්න බෑ. ඒ වගේම තමයි සාස්තරය හරියට කියවුණත් කරන පිළියම්වල ඒ හැටි සාර්ථකත්වයක් තියෙනවා කියන්න බෑ. " පොල් ගෙඩි තුනක් ගහපන්....මේ බිත්තරය ගෙනිහින් කැරකෝප්පුවට දාහන්...මේක ගෙනිහින් පෑගෙන්න දාහන්..." කිව්වට ඒවායින් ප්‍රතිපලයක් ලැබෙන්න තියෙන ඉඩකඩ ඉතාම සීමිතයි. ඒත් යමක් හරියට කියවුණොත් එතැනින්ම යමක් කරන්නත් ගොඩක් දෙනෙක් පෙළඹෙනවා.
කිසිම වරමක් නැති අයත් ඔය අතරෙ නැත්තෙ නෑ. බොරුව කියන දේ ඔනෑම ක්‍ෂේත්‍රයක තියෙනවා. සමහරු වෛද්‍යවරු විදියට පෙනී ඉන්නවා. සමහරු නීතිවේදීන් විදියට රඟපානවා. පොලිස් නිලධාරීන් විදියට පෙනී ඉන්න අයත් ඉන්නවා. ඒ ඉතින් මේ සමාජයෙ හැටි.
ගුප්ත ලෝකය මහා සාගරය තරම් විශාලයි. ගොඩක් දෙනෙක් මේ දේවල් ගැන හොයන්නෙ අරමුණ ඔළුවෙ තියාගෙන නෙ. මේවා බොරු කියල ඔප්පු කරන්න ඕනැ කෙනා හොයන්නෙ බොරු කියල පෙන්නන්න පුළුවන් දේවල් විතරයි. මේවා ඇත්ත කියල පෙන්නන්න ඕනැ කෙනා හොයන්නෙ ඇත්ත කියල පෙන්නන්න පුළුවන් දේවල් විතරයි. මැදහත් තැනක ඉඳලා ගවේෂණය කරන අය අඩුයි. වසර ගණනාවක අත්දැකීම් තුළ සොයා දැනගත් දේ ඉතාම සරලව තමයි මේ ලිව්වෙ. අත්දුටු සිදුවීම් සියල්ල මේ විදියට ඉදිරිපත් කරන්න අමාරුයි. ප්‍රමාණය එතරම් විශාලයි.
සංජීව කුළුපන බණ්ඩාර
077 7065760
071 8875816