මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය.

මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය.
මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය ලෝකයේ ප්‍රබලම මන්ත්‍ර ශාස්ත්‍රයයි . මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රයේ වැදගත්ම අංගය වන්නේ සිද්ධි ලබාගැනීමයි . කාලි ,ගණපති ,මාඩ ශාමි ,භගවතී ආදී සිද්ධි ලබාගැනීමෙන් තොරව මලයාලි ගුරුකම් කල නොහැක .මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය සම්බන්ධයෙන් මා ජ්‍යොතිෂ පුවත්පතකට ලිපි මාලාවක් ලියු අතර ඊට මහත් ජනතා ප්‍රතිචාර ලැබුණි .එම ලිපි මාලාව තුලින් මා හෙළි කළේ මාගේ මුත්තා විසින් කරන ලද විස්මිත ගුරුකම් ගැනය . මාගේ මුත්තා මලයාලි මන්තර ශාස්ත්‍රය ඉගෙනගෙන ඇත්තේ "වේණු ශාමි" නම් කේරළ මන්ත්‍රාචාර්යවරයෙක් ගෙනි . අද බොහෝ දෙනෙක් "මලයාලි ගුරුකම්" කරන බව පැවසුවද ඔවුන් මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රයේ මුලික අංග වත් නොදනී. වරු තුනෙන්, දින තුනෙන් වශී ගුරුකම් කරන බව පවසමින් පුවත්පත් වල පලකරන දැන්වීම් ප්‍රමාණය සුළුපටු නොවේ. කෙනෙක් වෙත කෙනෙක්ගේ සිත ගිය පමණින් වශිකරගැනීමට හැකිනම් ලෝකයේ ඕනෑම කෙනෙක්ව ඕනෑම කෙනෙකුට වශී කරගැනීමට හැකිය. මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය තුළ වශී ගුරුකම් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු විශේෂ විධි,ක්‍රම පවතී. මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය ගැන සියලු විස්තර ,තොරතුරු නිවැරදිව හෙළිකර දෙමින්, පුර්ණ අවබෝධයක් ඔබට ලබාදීමට මම අදහස් කළෙමි. මෙතැන් පටන් පලවන සියලු විස්තර කියවා දැනුම අවබෝධය ලබාගන්නා ලෙසත් , ව්‍යාජ මන්ත්‍ර කරුවන්ට නොරැවටී සිටින ලෙසත් ඉල්ලා සිටිමි.

Sunday, August 23, 2020

බහිරව පූජාව.

 


             ප්‍රේත,පිශාච, කුම්භාණ්ඩාදී අමනුෂ්‍යයින් ගැන ලියැවුණු ලිපි අන්තර්ජාලය තුළ හා පොත් පත්වල සුලභව දකින්නට ලැබේ. බහිරවයින් ගැන හා බහිරව පූජාවන් ගැන ලියැවුණු ලිපි එතරම් සුලභ නොවේ. දැනට දකින්නට ලැබෙන ලිපි කීපය තුළ ද අන්තර්ගතව ඇත්තේ පොත් පත්වල සඳහන් වුණු තොරතුරු හෝ පාරම්පරිකව පැවත එන තොරතුරු ය. අවබෝධකරගත් කරුණු හෝ අත්දැකීම් තුළින් ලැබූ දැනුම එක් කොට ලියැවුණු ලිපියක් සොයාගැනීමට නැත.


               අෂ්ට බහිරවයින් ලෙස බහිරවයින් අට දෙනෙක් වේ යැයි විශ්වාසයක් පවතී. බහිරවයින් දස දෙනෙක් සිටින බවට ද මතයක් ඇත. බහිරවයින් 18 දෙනෙක් සිටින බව පවසන්නෝ ද වෙති.

අෂ්ට බහිරවයින් මෙසේ නම් කර තිබේ.

1 මහා බහිරව හෙවත් විද්‍යා රාජ 

2 සංහාර බහිරව හෙවත් කාමර රාජ 

3 අෂ්ටාංග බහිරව හෙවත් නාග රාජ 

4 රුරු බහිරව හෙවත් ස්වච්ඡන්ද රාජ 

5 කාල බහිරව හෙවත් විලම්භීත රාජ 

6 කෝධ බහිරව හෙවත් දේව රාජ 

7 කාල බහිරව හෙවත් උදාරාජ 

8 රුද්‍ර බහිරව හෙවත් විඝ්න රාජ 

         ආකාශ බහිරව හා පාතාල බහිරව යනුවෙන් තවත් දෙදෙනෙක් වේ යැයි ද කියැවේ. බහිරව නාම නොයෙක් තැන්වල විවිධ ආකාරයට සඳහන් වන බව ද දකින්නට ලැබේ. මෙම බහිරවයින්ට අධිපතිත්වය දරන්නේ ඊශ්වර දෙවියන් බවත්, බහිරව පූජාවට ප්‍රථමයෙන් ඊශ්වර දෙවියන් උදෙසා පූජාවක් පැවැත්විය යුතු බවටත් මතයක් පවතී. මෙම අෂ්ට බහිරව සංකල්පය කවදා කෙසේ නිර්මාණය වූවා දැයි යන්න ගැටළුවකි. 

        බහිරවයින් ලෙස හඳුන්වන අමනුෂ්‍ය කොට්ඨාශයක් භූමිය හා සම්බන්ධව වෙසෙන බව සත්‍යයකි. මොවුන් බහිරව ප්‍රේතයින් ලෙස හැඳින්වූව ද වරදක් නැත. බහිරව දෙවියන් හෙවත් භූමාටු දෙවියන් ලෙස හඳුන්වන දේව කොට්ඨාශයක් ද වෙයි. ඔවුන් පන්සල්, දේවාල ආදී පූජා භූමි, ශුද්ධ භූමි ආශ්‍රිතව වෙසෙන නමුත් සෙසු සාමාන්‍ය භූමි ඇසුරු නොකරයි. පන්සල්, දේවාල ආදියේ මූර්තිමත් කර තිබෙන්නේ ද බහිරව දේව රූප ය.

       නිදහන් කරන ලද වස්තූන් ආරක්ෂා කරන බහිරවයින් ද වෙයි.ඔවුන් තමන්ට පැවරී ඇති රාජකාරිය ඉටු කරමින් නිධානය ආරක්ෂා කරමින් සිටිනවා මිස වෙනත් කටයුතු කෙරෙහි අවධානය යොමු කරන්නේ නැත. නිදහන් ලබාගැනීමේදී පුද පූජා පවත්වන්නේ එම බහිරවයින්ට ය.

      සාමාන්‍ය ඉඩකඩම් ආශ්‍රිතව වෙසෙන්නේ බහිරව ප්‍රේතයින් ය. එනම්,භූමිය පිලිබඳ වූ දැඩි තෘෂ්ණාවෙන් මිය ගොස් බහිරව ප්‍රේතයින්ව ඉපිද භූමියෙහි රැඳී සිටින ප්‍රේතයින් ය. මොවුන් සුලභ ය. අවුරුදු දහස් ගණන් භූමිය ඇසුරු කරගෙන සිටියි.ඔවුන් එම ඉඩම් තුළම ජීවත් වූවන් ය. භූමිය කෙරෙහි වූ බලවත් තෘෂ්ණාව නිසාම භූමි ප්‍රේතයින් හෙවත් භූමාටු ප්‍රේතයින් ලෙස ප්‍රේත භවයේ උප්පත්තිය ලැබූවන් ය.

    ඔරලෝසුව තිබුණු තැනින් ගළවා වෙනත් බිත්තියක සවි කළ ද සිත සොයන්නේ ඔරලෝසුව පෙර තිබුණු තැනම ය. සිතට හුරු වූ දේ ටික කලකින් වෙනස් වූව ද සිතින් අල්ලා ගන්නා දේ අත හැරීම පහසු නොවේ. භූමිය කෙරෙහි තෘෂ්ණාව ඇතුව මියගිය පසුව එම භූමිය නැවත තමන් සතු කරගැනීමට පහසුම ක්‍රමය බහිරවයෙක්ව ඉපදීම ය. කුමන දේකට වූව ද තෘෂ්ණාව ඇති කරගැනීම දුකට හේතු වේ.
           
    භූමාටු ප්‍රේතයින් හෙවත් බහිරවයින් ගෙන් එල්ල වන අවහිර බාධක හඳුන්වන්නේ බහිරව දෝෂ ලෙස ය. බහිරව පූජා පවත්වන්නේ බහිරව දෝෂ දුරු කරගැනීමට ය. නව නිවසක් තැනීමේදී බහිරව පූජාවක් පවත්වන්නේ ඒ සඳහා ය. බහිරව දෝෂ පවතින භූමියක නිවසක් තැනීමේදී බාධක අවහිර එල්ල වේ. 'මේ මගේ ඉඩම, මට අයිති භූමිය' යන අදහසින් රැඳී සිටින බහිරවයින් වෙනත් අය එම භූමිය භාවිතා කිරීම සම්බන්ධයෙන් නොසතුටට පත් වේ. එවන් භූමියක වාසය කිරීමේදී ද ගැටළු,කරදර ඇති වේ. දියුණුවට බාධක එල්ල වේ. 

     තෘෂ්ණාවෙන් මියගොස් තෘෂ්ණාවෙන්ම භූමිය අරක්ගෙන සිටින්නේ නම් කළ යුත්තේ එම තෘෂ්ණාව සිඳලීම ය. තෘෂ්ණාව සිඳලීම කවි ගායනා, ස්තෝත්‍ර කියවීම්, නැටීම් ආදියෙන් කළ නොහැක. ඒවා ප්‍රදර්ශනාත්මක කටයුතු පමණි.

      තෘෂ්ණාව නැති කිරීමට නම් අවබෝධය ඇති කළ යුතුය. බහිරවයෙක්ව උපදින්නට හේතුව තෘෂ්ණාව බවත්, මෙසේ භූමිය අල්ලාගෙන බහිරවයෙක්ව කල් ගෙවීම දුකක් බවත්, තෘෂ්ණාව දුරු කර ගත නොහැකි වූවොත් තවත් දීර්ඝ කාලයක් භූමාටු ප්‍රේතයෙක්ව දුක් විඳීමට සිදුවන බවත් අවබෝධ කර දිය යුතුය.බහිරව පිදේනිය බහිරවයින් උදෙසා කැප කිරීමෙන් අනතුරුව මූලිකවම කළ යුතු කාර්යය එයයි. බෞද්ධ දර්ශනයට අනුකූල නිවැරදි ක්‍රමවේදය ද එයයි. බහිරවයින්ට පමණක් නොව ප්‍රේත පිශාච කුම්භාණ්ඩාදීන්ට වූවද මෙසේ සත්‍යය අවබෝධ කර දිය යුතුය. ඒ සඳහා සමාධි බලයක් තිබිය යුතුය. ප්‍රේතයින් දැඩිව දුක් විඳිමින් ඉඩකඩම්,ගේදොර මෙන්ම ඇතැම් අවස්ථාවල මනුෂ්‍යයින් පවා අත නොහැර අල්ලාගෙන සිටින්නේ එය දුකක් බව නොදන්නා නිසාය. එය අවබෝධ කර දීමට කිසිවෙක් ඉදිරිපත් නොවූවද ප්‍රේතයින් අල්ලා බෝතල්,කුප්පි ආදියේ සිර කිරීමට ඉදිරිපත් වන අය බොහෝ වෙති. ඒවා ප්‍රාථමික කටයුතු මිස විශ්ව නීතියට අනුකූල කටයුතු නොවේ.

          බහිරව පූජාවක් පැවැත්වීමෙන් නිවසට සෞභාග්‍යය උදා වන බවට මතයක් පවතී. එහි සත්‍යතාවයක් ද තිබේ.එය සත්‍යයක් වීමට නම් මා පෙර සඳහන් කළ පරිදි ඔවුන් බහිරවයින් බවට පත් වීමට හේතුවත් ඉන් මිදිය හැකි මගත් අවබෝධ කර දිය යුතුය. අවබෝධය ලත් තැන් පටන් ඔවුන්ගේ යම් ආශීර්වාදයක් හෝ සහයෝගයක් නිවැසියන්ට හිමි වීමට ඉඩ කඩ තිබේ. මන්ද,එතැන් පටන් ඔවුන්ගේ සිතුවිලි රටාව වෙනස් වන බැවිනි. වර්තමානයේ බොහෝ ඇදුරන් විසින් ස්තෝත්‍ර, මන්ත්‍ර ආදියට පමණක් මුල් තැන දෙමින් සිදු කරන පූජාවන් ගෙන් එවැනි ප්‍රතිඵලයක් අත් නොවේ. සම්ප්‍රදායට ගරු කරමින්, දොළ පිදේනි දී ස්තෝත්‍ර ගයා ඔවුන් ප්‍රසාදයට පත් කරමින්  පූජා කටයුතු ඉටු කළ යුතු නමුත් අවසානයේ ඔවුන්ට ලබා දිය යුතු අවබෝධය ලබාදීමට නොහැකි වේ නම් පූජාවෙන් ලැබෙන ප්‍රතිඵලයක් නැත.

              සංජීව කුළුපන බණ්ඩාර 

Sunday, March 29, 2020

කර්ණමුණ්ඩය





                              කර්ණමුණ්ඩය. ඒ වචනය අහලාවත් නැති අය ඕනැ තරම් ඉන්නවා. මෙය කියවන ඔබත් කර්ණමුණ්ඩය ගැන අසා නැතුව ඇති. ඇතැම් විට කර්ණමුණ්ඩයෙන් සාස්තරත් අසා ඇති. ඒත්, ඒ කර්ණමුන්ඩයෙන් පැවසූවක් බව නොදන්නවා විය හැකියි.

ආරම්භය කුමන කාලයක සිදු වූවා දැයි නිශ්චිතව සොයා ගැනීමට නොහැකි වූවත්, අමනුෂ්‍යයින් ගෙන් වැඩ ගැනීම, අමනුෂ්‍යයින් සමඟ සම්බන්ධතා පැවැත්වීම වසර දහස් ගණනක පටන් සිදුව තිබෙනවා. ඈත අතීතයේ තරමට නොවූවත් අදද ඇතැමුන් අමනුෂ්‍යයින්ගේ උපකාර ලබාගන්නවා. ඒ සඳහා භාවිතා කළ යුතු නිසි ගුප්ත ශාස්ත්‍රීය ක්‍රම වේද මේ වන විට සුරැකිව ඇත්තේ සුළු පිරිසක් අත පමණයි.

කර්ණමුණ්ඩය කියන්නෙත් ප්‍රේතයෙක් බන්ධනය කරගෙන සාස්තර එහෙමත් නැත්නම් පේන කීමේ ක්‍රමයක්.  මෙය ඥාති වරමින් සාස්තර කීමේදී මෙන් ශරියට ගන්නා අමනුෂ්‍ය බලපෑමක් නොවෙයි.   සාස්තරය අසන්නට පැමිණි පුද්ගලයාට පැවසිය යුතු දේ කර්ණමුණ්ඩ ප්‍රේතයා විසින් සාස්තර කියන තැනැත්තාගේ කනට කර කියනවා. එවිට සාස්තරකරු ඒ සියල්ල සාස්තරය අසන්නට පැමිණි පුද්ගලයාට පවසනවා.ප්‍රේතයා කණට ඇසෙන්නට කතා කරන බැවින් කර්ණමුණ්ඩය නමින් හඳුන්වනවා. ඇතැම් ප්‍රදේශවල මෙය ප්‍රේතමාකාලි බන්ධනය ලෙස ද හඳුන්වනවා.

අනුන්ට සාස්තර කීමට නොව තමන්ට අවැසි යම් යම් කරුණු කාරණා දැනගැනීම සඳහා කර්ණමුණ්ඩය භාවිතා කරන අයද නැතුවා නොවෙයි.  ඇසුරු කරන අය , තමන් වෙත පැමිණෙන අය ගැන මෙන්ම නුදුරේදී සිදු විය හැකි කරදර විපත් ගැන පවා කර්ණමුණ්ඩයෙන් අසාගැනීමට පුළුවන්.

කර්ණමුණ්ඩය ගුප්ත විද්‍යාවේ බන්ධන කාණ්ඩයට අයත් ක්‍රමවේදයක්. බන්ධන කාණ්ඩයේ කටයුතු සිදු කිරීමේදී ස්වකීය ආරක්ෂාව සලසා ගැනීමට හැකි විය යුතුයි. යක්ෂ,ප්‍රේතාදීන් බන්ධනය කර ගැනීමේදී නොසිතූ විපත් කරදරවලට මුහුණ පෑමට සිදු විය හැකියි. ආරක්ෂක ගුරුකම් පිලිබඳ දැනුමින් තොර අය මෙවැනි කටයුතු අත්හදා බැලීමට යාම අවදානම් බව මතක තබා ගත යුතුයි. අමනුෂ්‍යයින් සමඟ සම්බන්ධ වීමේදී යහපත් චිත්ත සමාධියක් පවත්වා ගැනීමද ඉතාමත් වැදගත් වෙනවා.

ප්‍රේතයෙකු තමන් වෙත ගෙන්වා ගැනීමට ප්‍රේත තටුවක් පිළියෙළ කළ යුතුයි. ඊට ආහාර පාන, සුරා, පුළුටු, ගොඩ දිය මස්,විළඳ,කැවිලි, බත් ගොටු ආදිය අවශ්‍ය වෙනවා. මෙය ගුරු උපදේශ අනුව සිදු කිරීම වඩාත් ප්‍රතිඵලදායක වෙනවා. කාර්යය සඳහා යොදාගන්නා ස්ථානය අනුව තටුවට යොදා ගත යුතු පිදවිලි වෙනස් වෙනවා. බන්ධනය කරගන්නා ප්‍රේතයා රඳවා ගැනීමට පියන වැසිය හැකි කුඩා හෙප්පුවක් අවශ්‍ය වෙනවා. ගැට හතක් ගසාගත් හත් පටක් සහිත නූලක්, පුවක් මලක්, දුම්මල, දුම් කබලක් ආදියද සූදානම් කර ගත යුතුයි.

නූලේ එක් කොනක් තටුවෙහි ගැට ගැසා අනිත් කොන අතින් අල්ලාගෙන දුම්මල දුම් දෙමින් මැතිරිය යුතුයි. මේ සඳහා යොදා ගත හැකි දිෂ්ටි මන්ත්‍ර කීපයක් යකැඳුරන් සතුව පවතිනවා. මැතිරිමේදී ප්‍රේතයා පැමිණි බව දැනගැනීමට හැකි සංඥා ගැන අවබෝධයක් මාන්ත්‍රිකයා සතු විය යුතුයි. මෙහිදී ප්‍රේතයා පැමිණි බව ඇඟවෙන මූලික සංඥාව නම් අල්ලාගෙන සිටින නූල වෙව්ලීමයි. මනා චිත්ත සමාධියකින් යුතු ඇදුරෙකුට ප්‍රේතයා ළඟා වන විටම එය දැනගැනීමේ හැකියාව පවතිනවා. අත්දැකීම් විරහිත ආධුනික අයෙක් නම් මේ අවස්ථාවේදී බියට පත් වීමට ඉඩ තිබෙනවා.

ප්‍රේතයා නූලට පැමිණි බව දැනගත් විට බන්ධන මන්ත්‍රයෙන් හත් වර මතුරා නූල ඇද ගැට හත හිර කළ යුතුයි. සූදානම් කරගත් හෙප්පුවට දමා සුරැකිව තබාගන්නේ ප්‍රේතයා හිර වුණු මෙම නූලයි. සාස්තරයක් අසාගැනීමට අවශ්‍ය වූ විට හෙප්පුව විවෘත කර අදාල මන්ත්‍රයෙන් හත්වර මතුරා දුම් අල්ලා නැවත හෙප්පුව වසා ශරීරයට ස්පර්ශ වන සේ තබා ගත යුතුයි.

මේ,ප්‍රේත බන්ධනය සඳහා භාවිතා කළ හැකි කෙටි දිෂ්ටි මන්තරයකි.

ඕං ඉන්ද්‍රකාම ප්‍රේත වර වර භූත ප්‍රේත වර වර අට කොන සොළොස් කොන ප්‍රේත වර වර  ශ්‍රී විෂ්ණු නාරායන අණින් උන් විමානෙන් සලිතකර කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම සතර බුදුවරයින්ගේ අණින් ප්‍රේත යක්ෂයා යක්ෂණී ඉගිල ඉගිල දිෂ්ටි දිෂ්ටි වර වර නමඃ 

ප්‍රේත බන්ධන මන්ත්‍රය 


ඕං අරිත්තුන්ඩ දේවි කුරු කුරු ලාඩි පේසු ලංකාපුර හර හර එර්දි වා වා සෙල්ලුම් කට්ටු අංජන හනුමා දේවි කට්ටු හර්ලාඩි දැඩිමුන්ඩ දේවා කට්ටු ගුරුවාල නාරයනේ කට්ටු සර්ව විෂ්ණු දේව කට්ටු සෙල්ලුම් පූට්ටු පූට්ටු ප්‍රේත යක්ෂයා යක්ෂනී බුද්ධ බෝධි අණින් ධම්මරත්නේ අණින් සංඝරත්නේ අණින් තිරත්නේ අණින් කට්ටු කට්ටු පූට්ටු පූට්ටු සංගිලි පූට්ටු නමඃ 


ප්‍රේතයෙක් බන්ධනය කර තබා ගත යුත්තේ සීමිත කාල සීමාවකට පමණයි. නිශ්චිත කාල සීමාව ඉක්මවා යා නොදී ප්‍රේතයා නිදහස් කිරීමට වග බලා ගත යුතුයි.  එසේ කළද මෙය විශ්ව ධර්මතාවයට පටහැනි ක්‍රියාවකි. එනම් පාප කර්මයකි. යමෙක් වහළෙක් ලෙස තබාගැනීම හෝ සත්වයෙක් හිර කර තබාගැනීම වැනි ක්‍රියාවකි. ඵල විපාක මේ භවයේ නොවේ නම් මතු භවයකදී හෝ ලැබෙන බව අවබෝධ කර ගත යුතුයි. තමන් මිය යාමට පෙර ප්‍රේතයා නිදහස් නොකළොත් බොහෝ කාලයක් සිරවී සිටීමට ප්‍රේතයාට සිදුවේ.

           සංජීව කුළුපන බණ්ඩාර