කර්ණමුණ්ඩය. ඒ වචනය අහලාවත් නැති අය ඕනැ තරම් ඉන්නවා. මෙය කියවන ඔබත් කර්ණමුණ්ඩය ගැන අසා නැතුව ඇති. ඇතැම් විට කර්ණමුණ්ඩයෙන් සාස්තරත් අසා ඇති. ඒත්, ඒ කර්ණමුන්ඩයෙන් පැවසූවක් බව නොදන්නවා විය හැකියි.
ආරම්භය කුමන කාලයක සිදු වූවා දැයි නිශ්චිතව සොයා ගැනීමට නොහැකි වූවත්, අමනුෂ්‍යයින් ගෙන් වැඩ ගැනීම, අමනුෂ්‍යයින් සමඟ සම්බන්ධතා පැවැත්වීම වසර දහස් ගණනක පටන් සිදුව තිබෙනවා. ඈත අතීතයේ තරමට නොවූවත් අදද ඇතැමුන් අමනුෂ්‍යයින්ගේ උපකාර ලබාගන්නවා. ඒ සඳහා භාවිතා කළ යුතු නිසි ගුප්ත ශාස්ත්‍රීය ක්‍රම වේද මේ වන විට සුරැකිව ඇත්තේ සුළු පිරිසක් අත පමණයි.
කර්ණමුණ්ඩය කියන්නෙත් ප්‍රේතයෙක් බන්ධනය කරගෙන සාස්තර එහෙමත් නැත්නම් පේන කීමේ ක්‍රමයක්. මෙය ඥාති වරමින් සාස්තර කීමේදී මෙන් ශරියට ගන්නා අමනුෂ්‍ය බලපෑමක් නොවෙයි. සාස්තරය අසන්නට පැමිණි පුද්ගලයාට පැවසිය යුතු දේ කර්ණමුණ්ඩ ප්‍රේතයා විසින් සාස්තර කියන තැනැත්තාගේ කනට කර කියනවා. එවිට සාස්තරකරු ඒ සියල්ල සාස්තරය අසන්නට පැමිණි පුද්ගලයාට පවසනවා.ප්‍රේතයා කණට ඇසෙන්නට කතා කරන බැවින් කර්ණමුණ්ඩය නමින් හඳුන්වනවා. ඇතැම් ප්‍රදේශවල මෙය ප්‍රේතමාකාලි බන්ධනය ලෙස ද හඳුන්වනවා.
අනුන්ට සාස්තර කීමට නොව තමන්ට අවැසි යම් යම් කරුණු කාරණා දැනගැනීම සඳහා කර්ණමුණ්ඩය භාවිතා කරන අයද නැතුවා නොවෙයි. ඇසුරු කරන අය , තමන් වෙත පැමිණෙන අය ගැන මෙන්ම නුදුරේදී සිදු විය හැකි කරදර විපත් ගැන පවා කර්ණමුණ්ඩයෙන් අසාගැනීමට පුළුවන්.
කර්ණමුණ්ඩය ගුප්ත විද්‍යාවේ බන්ධන කාණ්ඩයට අයත් ක්‍රමවේදයක්. බන්ධන කාණ්ඩයේ කටයුතු සිදු කිරීමේදී ස්වකීය ආරක්ෂාව සලසා ගැනීමට හැකි විය යුතුයි. යක්ෂ,ප්‍රේතාදීන් බන්ධනය කර ගැනීමේදී නොසිතූ විපත් කරදරවලට මුහුණ පෑමට සිදු විය හැකියි. ආරක්ෂක ගුරුකම් පිලිබඳ දැනුමින් තොර අය මෙවැනි කටයුතු අත්හදා බැලීමට යාම අවදානම් බව මතක තබා ගත යුතුයි. අමනුෂ්‍යයින් සමඟ සම්බන්ධ වීමේදී යහපත් චිත්ත සමාධියක් පවත්වා ගැනීමද ඉතාමත් වැදගත් වෙනවා.
ප්‍රේතයෙකු තමන් වෙත ගෙන්වා ගැනීමට ප්‍රේත තටුවක් පිළියෙළ කළ යුතුයි. ඊට ආහාර පාන, සුරා, පුළුටු, ගොඩ දිය මස්,විළඳ,කැවිලි, බත් ගොටු ආදිය අවශ්‍ය වෙනවා. මෙය ගුරු උපදේශ අනුව සිදු කිරීම වඩාත් ප්‍රතිඵලදායක වෙනවා. කාර්යය සඳහා යොදාගන්නා ස්ථානය අනුව තටුවට යොදා ගත යුතු පිදවිලි වෙනස් වෙනවා. බන්ධනය කරගන්නා ප්‍රේතයා රඳවා ගැනීමට පියන වැසිය හැකි කුඩා හෙප්පුවක් අවශ්‍ය වෙනවා. ගැට හතක් ගසාගත් හත් පටක් සහිත නූලක්, පුවක් මලක්, දුම්මල, දුම් කබලක් ආදියද සූදානම් කර ගත යුතුයි.
නූලේ එක් කොනක් තටුවෙහි ගැට ගැසා අනිත් කොන අතින් අල්ලාගෙන දුම්මල දුම් දෙමින් මැතිරිය යුතුයි. මේ සඳහා යොදා ගත හැකි දිෂ්ටි මන්ත්‍ර කීපයක් යකැඳුරන් සතුව පවතිනවා. මැතිරිමේදී ප්‍රේතයා පැමිණි බව දැනගැනීමට හැකි සංඥා ගැන අවබෝධයක් මාන්ත්‍රිකයා සතු විය යුතුයි. මෙහිදී ප්‍රේතයා පැමිණි බව ඇඟවෙන මූලික සංඥාව නම් අල්ලාගෙන සිටින නූල වෙව්ලීමයි. මනා චිත්ත සමාධියකින් යුතු ඇදුරෙකුට ප්‍රේතයා ළඟා වන විටම එය දැනගැනීමේ හැකියාව පවතිනවා. අත්දැකීම් විරහිත ආධුනික අයෙක් නම් මේ අවස්ථාවේදී බියට පත් වීමට ඉඩ තිබෙනවා.
ප්‍රේතයා නූලට පැමිණි බව දැනගත් විට බන්ධන මන්ත්‍රයෙන් හත් වර මතුරා නූල ඇද ගැට හත හිර කළ යුතුයි. සූදානම් කරගත් හෙප්පුවට දමා සුරැකිව තබාගන්නේ ප්‍රේතයා හිර වුණු මෙම නූලයි. සාස්තරයක් අසාගැනීමට අවශ්‍ය වූ විට හෙප්පුව විවෘත කර අදාල මන්ත්‍රයෙන් හත්වර මතුරා දුම් අල්ලා නැවත හෙප්පුව වසා ශරීරයට ස්පර්ශ වන සේ තබා ගත යුතුයි.
මේ,ප්‍රේත බන්ධනය සඳහා භාවිතා කළ හැකි කෙටි දිෂ්ටි මන්තරයකි.
ඕං ඉන්ද්‍රකාම ප්‍රේත වර වර භූත ප්‍රේත වර වර අට කොන සොළොස් කොන ප්‍රේත වර වර ශ්‍රී විෂ්ණු නාරායන අණින් උන් විමානෙන් සලිතකර කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම සතර බුදුවරයින්ගේ අණින් ප්‍රේත යක්ෂයා යක්ෂණී ඉගිල ඉගිල දිෂ්ටි දිෂ්ටි වර වර නමඃ
ප්‍රේත බන්ධන මන්ත්‍රය
ඕං අරිත්තුන්ඩ දේවි කුරු කුරු ලාඩි පේසු ලංකාපුර හර හර එර්දි වා වා සෙල්ලුම් කට්ටු අංජන හනුමා දේවි කට්ටු හර්ලාඩි දැඩිමුන්ඩ දේවා කට්ටු ගුරුවාල නාරයනේ කට්ටු සර්ව විෂ්ණු දේව කට්ටු සෙල්ලුම් පූට්ටු පූට්ටු ප්‍රේත යක්ෂයා යක්ෂනී බුද්ධ බෝධි අණින් ධම්මරත්නේ අණින් සංඝරත්නේ අණින් තිරත්නේ අණින් කට්ටු කට්ටු පූට්ටු පූට්ටු සංගිලි පූට්ටු නමඃ
ප්‍රේතයෙක් බන්ධනය කර තබා ගත යුත්තේ සීමිත කාල සීමාවකට පමණයි. නිශ්චිත කාල සීමාව ඉක්මවා යා නොදී ප්‍රේතයා නිදහස් කිරීමට වග බලා ගත යුතුයි. එසේ කළද මෙය විශ්ව ධර්මතාවයට පටහැනි ක්‍රියාවකි. එනම් පාප කර්මයකි. යමෙක් වහළෙක් ලෙස තබාගැනීම හෝ සත්වයෙක් හිර කර තබාගැනීම වැනි ක්‍රියාවකි. ඵල විපාක මේ භවයේ නොවේ නම් මතු භවයකදී හෝ ලැබෙන බව අවබෝධ කර ගත යුතුයි. තමන් මිය යාමට පෙර ප්‍රේතයා නිදහස් නොකළොත් බොහෝ කාලයක් සිරවී සිටීමට ප්‍රේතයාට සිදුවේ.
සංජීව කුළුපන බණ්ඩාර
ඔබතුමාව සම්බන්ධ කරගැනීමට e-mail එකක් හෝ දුරකථන අංකයක් ලබාදෙන්නේනම් බෙහෙවින් ස්තුතිවන්ත වෙමි
ReplyDelete