මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය.

මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය.
මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය ලෝකයේ ප්‍රබලම මන්ත්‍ර ශාස්ත්‍රයයි . මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රයේ වැදගත්ම අංගය වන්නේ සිද්ධි ලබාගැනීමයි . කාලි ,ගණපති ,මාඩ ශාමි ,භගවතී ආදී සිද්ධි ලබාගැනීමෙන් තොරව මලයාලි ගුරුකම් කල නොහැක .මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය සම්බන්ධයෙන් මා ජ්‍යොතිෂ පුවත්පතකට ලිපි මාලාවක් ලියු අතර ඊට මහත් ජනතා ප්‍රතිචාර ලැබුණි .එම ලිපි මාලාව තුලින් මා හෙළි කළේ මාගේ මුත්තා විසින් කරන ලද විස්මිත ගුරුකම් ගැනය . මාගේ මුත්තා මලයාලි මන්තර ශාස්ත්‍රය ඉගෙනගෙන ඇත්තේ "වේණු ශාමි" නම් කේරළ මන්ත්‍රාචාර්යවරයෙක් ගෙනි . අද බොහෝ දෙනෙක් "මලයාලි ගුරුකම්" කරන බව පැවසුවද ඔවුන් මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රයේ මුලික අංග වත් නොදනී. වරු තුනෙන්, දින තුනෙන් වශී ගුරුකම් කරන බව පවසමින් පුවත්පත් වල පලකරන දැන්වීම් ප්‍රමාණය සුළුපටු නොවේ. කෙනෙක් වෙත කෙනෙක්ගේ සිත ගිය පමණින් වශිකරගැනීමට හැකිනම් ලෝකයේ ඕනෑම කෙනෙක්ව ඕනෑම කෙනෙකුට වශී කරගැනීමට හැකිය. මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය තුළ වශී ගුරුකම් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු විශේෂ විධි,ක්‍රම පවතී. මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය ගැන සියලු විස්තර ,තොරතුරු නිවැරදිව හෙළිකර දෙමින්, පුර්ණ අවබෝධයක් ඔබට ලබාදීමට මම අදහස් කළෙමි. මෙතැන් පටන් පලවන සියලු විස්තර කියවා දැනුම අවබෝධය ලබාගන්නා ලෙසත් , ව්‍යාජ මන්ත්‍ර කරුවන්ට නොරැවටී සිටින ලෙසත් ඉල්ලා සිටිමි.

Wednesday, June 13, 2018

වයඹ පළාතේ සිදුවුණු සත්‍ය සිදුවීමකි.



වයඹ පළාතේ ධනවත් ව්‍යාපාරික කාන්තාවකි. බොහෝ දෙනෙක් දන්නා හඳුනන ඇය වෙළඳ සැල් කීපයක හිමිකාරියකි. විදේශිකයෙකු හා විවාහ වී සිටියද බොහෝ විට ජීවත් වූවේ තම මව් රටෙහි ය. තම සොහොයුරා හා සේවක පිරිස සමග ඇය විසූ සුවිසල් නිවාස අමනුෂ්‍ය ගුබ්බෑයමක් බවට පත් වූයේ ඉතාමත් අවාසනාවන්ත අයුරිනි. එයට හේතු වූ මුල්ම සිද්ධිය සිදුවන්නේ මීට වසර කීපයකට ඉහතදී ය.
  තම නිවසේ ඇයට වඩාත් ලෙන්ගතුව ඇයගේ සියලු කටයුතු අකුරටම ඉටු කළ සේවිකාව රූමත් යෞවනියකි. දුටුවන්ගේ නෙත් සිත් පැහැරගන්නා රුවකින් හෙබි මේ යෞවනිය දිනක් අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දුන්නාය. තම ස්වාමිදුව නිවසේ නොසිටි වැහිබර මූසළ දිනෙක ඇය තම ස්වාමි දුවගේ සොහොයුරා අතින් අනාථ වූවාය.
  සිද්ධිය වසන් කරගෙන සිටීමට කොතෙක් උත්සාහ දැරුවද නොයෙක් විට කල්පනා බරිතව සිටි ඇයට තම ස්වාමි දුවගේ ප්‍රශ්න කිරීම්වලින් ගැලවීමක් නොවීය. සිදුවූ අවාසනාවන්ත සිදුවීම හේතුවෙන් ඇතිවූ කම්පනයත් ස්වාමි දුවගේ ප්‍රශ්න කිරීම් හේතුවෙන් ඇතිවූ පීඩනයත් ඇයට දරා ගැනීමට නොහැකි විය.
    එදිනද වෙනදා මෙන්ම ඉර උදා විය. වෙනදා උදෑසන හයට උණුසුම් තේ කෝප්පයක්ද රැගෙන පැමිණ ස්වාමි දුව අවදි කරවන ලෙන්ගතු සේවිකාව එදින පැමිණියේ නැත. ස්වාමි දුව අවදි වන විට උදෑසන හය පසු වී විනාඩි කීපයක් ගතව ගොස් තිබුණි. වෙනදා තේ කෝප්පයද රැගෙන විත් තමන් අවදි කරවන මෙහෙකාරිය අද නොපැමිණියේ මන්දැයි සිතමින් ඇය ඇඳෙන් නැගිට කාමරයෙන් පිටතට ගියාය. නිවසේ සිටි සෙසු සේවිකාවන් දෙදෙනාගෙන් හා ආරක්ෂක නිලධාරියාගෙන් ද මෙහෙකාරිය පිළිබඳව විමසූ නමුත් ඔවුන් කිසිවෙක් ඇයට සිදුවූයේ කුමක්දැයි දැන සිටියේ නැත.
    හෝරා කීපයක් ගතවිය. සුවිසල් ගෙවත්තේ කෙළවරක උදළු ගාමින් සිටි වියපත් මෙහෙකරු හතිලමින් ගෙතුළට දිව ආවේය. 
   " නෝනා නෝනා ... කෙල්ල ළිඳට වැටිලා. මිනිය ළිඳේ පාවෙනවා... "
ගෙහිමි කාන්තාවට කිසිවක් අදහා ගත නොහැකි විය. ඇය සෙසු මෙහෙකාරියන්ට හඬ නගා කතා කොට වියපත් සේවකයා සමග ළිඳ පිහිටි ඉසව්වට දිව්වාය.
        ගෙහිමි කාන්තාවට ලෙන්ගතුව සිටි රූමත් අසරණ මෙහෙකාරියගේ ජීවිතය ඒ ආකාරයට නිමා විය. ඇය සියලු දෙනාට රහසේ අවසන් ගමන් ගොස් තිබුණි. සිද්ධිය අභිරහසක් බවට පත්විය. 
          සතුට සැනසුම පිරි සුවිසල් නිවාස සිතා ගත නොහැකි අමුතු ගුප්ත සිදුවීම්වලින් ගහණ ස්ථානයක් බවට පත් වූයේ ඉන් මාස කීපයක් ගත වූ තැන් පටන් ය.

        දිනක් රාත්‍රියේ ගෙහිමි කාන්තාවගේ සොහොයුරා හදිසියේ රෝගාතුර විය. ඇඟ ගිනි කබලක් මෙන් රත් විය. ඉවසිය නොහැකි සීතලකින් ගැහෙන්නට විය. ගෙහිමි කාන්තාව සොහොයුරා අසලට වී සුව දුක් විමසමින් සිටියාය. සොහොයුරා යම් කිසි බියකින් තැති ගෙන ඇති බව ඔහුගේ දෙනෙතින් හා බැල්මෙන් ඇයට තේරුම් ගැනීමට හැකි විය. තමන් යම් කිසිවක් හේතුවෙන් බියට පත්ව සිටින්නේදැයි ඇය සොහොයුරාගෙන් විමසුවාය. 

   රෝගාතුර වී සිටි සොහොයුරා බියපත් හඬින් තම සොහොයුරිය සමග කතා කරන්නට විය. රාත්‍රී එකොළහට පමණ නිවසින් පිටව මිදුලට යාමට සිතුණු බවත්, මිදුලේ ටික වෙලාවක් සිටින අතරේදී වැසිකිළියට යාමට අවශ්‍ය වූ බවත්, ඒ අනුව නිවසින් පිටත පිහිටි වැසිකිළියට ගිය බවත් පැවසුවේය. එහිදී එක්වරම කළු පති බල්ලෙක් තමන් වෙත කඩා පැනගෙන ආ බවත් එයින් බියපත්ව දිව විත් තම කාමරයට ඇතුළු වී ඇඳට ගොඩ වූ බවත් වැඩි දුරටත් පවසා සිටියේය. නිවසේ විසූ තරුණ මෙහෙකාරියට තමන් අතින් වරදක් සිදු වූ බවද, තමන් අතින් සිදු වූ බලවත් පාප කර්මය හේතුවෙන් තමන්ට කිසියම් කරදරයක් සිදු වන බවක් හැඟී යන බවද ඔහු පවසා සිටියේය.
    එදින රාත්‍රිය පුරා ගෙහිමි කාන්තාව හා සේවකයින් කොතෙක් උවැටන් කළද සොහොයුරාගේ රෝගී තත්වයේ අඩුවක් නොවීය. දින කීපයක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතරතුර ඔහු මිය ගියේය. 
     නිවසින් පිටත තිබූ වැසිකිළිය ද පාළු වී ගියේ එතැන් පටන් කිසිවෙක් ඒ තුළට හෝ ඒ පළාතටවත් නොගිය බැවිනි. තම සොහොයුරාත් ලෙන්ගතු මෙහෙකාරියත් අහිමි වීම හේතුවෙන් ගෙහිමි කාන්තාව සිටියේ දැඩි ශෝකයෙනි.
   සොහොයුරාගේ මරණයෙන් මාස කීපයකට පසුව සිදුවූයේ තවත් අදහා ගත නොහැකි සිදුවීමකි. ගෙවත්තට ඇතුළු වන ස්ථානයේ සේවයේ යෙදී සිටි ආරක්ෂක නිලධාරියා කිසියම් පණිවිඩයක් රැගෙන නිවස වෙත ගමන් කරමින් සිටියේය. නිවසට ආසන්න වනවාත් සමග අනපේක්ෂිත ලෙස යමක් ඔහුගේ හිස මත වැටුණි. මේ අනපේක්ෂිත සිදුවීමෙන් අන්දුන් කුන්දුන් වූ ආරක්ෂක නිලධාරියා තම හිස මත වැටුණේ කුමක්දැයි බැලුවේය. ඔහුගේ හිස මතට වැටී තිබුණේ මිය ගිය උකුස්සෙකුගේ මළ සිරුරකි. අසන කිසිවෙකුට හෝ විශ්වාස කළ නොහැකි මෙම සිදුවීමෙන් ආරක්ෂක නිලධාරියා පමණක් නොව ගෙහිමි කාන්තාව ඇතුළු නිවසේ සේවක සේවිකාවෝද පුදුමයට පත් විය.
     දිවා වැඩ මුරය අවසන් කළ ආරක්ෂක නිලධාරියා තම සහෝදර ආරක්ෂක නිලධාරියට රාත්‍රී වැඩ මුරය භාර කරමින් නිවසට ගියේය. එදින රාත්‍රියේ නින්දට ගිය ඔහු නැවත අවදි වූවේ නැත. වෛද්‍යවරු පවසා සිටියේ ඔහුගේ මරණය නින්දේදී සිදු වූ මරණයක් බවත් එය කලාතුරකින් සිදුවන සිදුවීමක් බවත් ය.
      ආරක්ෂක නිලධාරියාගේ මරණයෙන් පසු දිනක් රාත්‍රියේ ගෙහිමි කාන්තාව උඩුමහලේ තම කාමරයේ ජනේලය අසලට වී සීතලට හමන සුළඟේ පහස විඳිමින් සිටියාය. ඇය ජනේලයෙන් මිදුල දෙස බලා සිටියදී දුටු අද්භූත දර්ශනයෙන් බෙහෙවින් බියට පත් වූවාය. ඇය දුටුවේ තම මිය ගිය මෙහෙකාරිය තම ගෙමිදුල හරහා සෙමින් ගමන් කරන ආකාරයයි.ගෙහිමි කාන්තාව වේගයෙන් ජනේලය වසා මෙහෙකාරියක් කාමරයට ගෙන්වාගෙන නින්දට ගියාය. එතැන් පටන් ගෙහිමි කාන්තාවට  පමණක් නොව නිවසේ සිටි සෙසු අයටද  වරින් වර එවැනි අද්භූත දසුන් පෙනෙන්නට විය. නිවස තුළ අද්භූත ශබ්ද ඇසෙන්නට විය. සුවිසල් නිවස අද්භූත නිවහනක් බවට පත් විය.කාන්තාවගේ ව්‍යාපාර කටයුතු ද අඩාල වන්නට විය. යුග ජීවිතයේ සමගියද වරින් වර බිඳ වැටෙන්නට විය.
මෙම වාතාවරණය දුරු කරගැනීම සඳහා කොතෙක් ප්‍රතිකර්ම සිදු කළද ඒ කිසිවකින් සහනයක් ලබා ගැනීමට හැකි වූයේ නැත. දිනෙන් දින මතුවන ගැටළු හමුවේ ගෙහිමි කාන්තාව දැඩි අසරණ තත්වයකට පත්ව සිටියාය. කාන්තාව ගේ ඥාතියෙක් වන වෛද්‍යවරයෙක් මෙම කාන්තාව පත්ව සිටින තත්වය හොඳින් අවබෝධ කරගෙන සිටියේය. ඔහුගේ මඟ පෙන්වීමෙන් කාන්තාව එක්තරා පුද්ගලයෙක් හමුවීමට ගියාය. ඔහු ජ්‍යොතිෂය, යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම් පිළිබඳව පාරම්පරික දැනුමක් මෙන්ම සාංසාරික පුරුද්දක් ද හිමි නිවුණු අයෙකි. කාන්තාව පැවසූ සියලු දේ සාවධානව අසා සිටි ඔහු මෙම තත්වය ඇති වීමට හේතුව මෙන්ම පවතින තත්වය දුරු කළ යුතු ආකාරයද පැහැදිලි කර දී කාන්තාව පිටත් කර හැරියේ අදාල ප්‍රතිකර්මය සිදු කිරීමට දිනයක් මෙන්ම ඊට අවශ්‍ය බදු බාහිරාදිය ගැනද දැන්වීමෙන් අනතුරුව ය.
   අමනුෂ්‍ය බලපෑම දුරු කිරීමේ කාර්යය සිදු කරන දිනය උදා විය. හවස් යාමයේ ඇදුරා තම සහායකයින් ද සමග අදාල නිවස වෙත පැමිණියේය. මල් යහන්, පුද තටු ඇතුළු  සියල්ල සකස් කරගත් ඇදුරා තම කාර්යය කරගෙන යමින් සිටියේය. ගෙහිමි කාන්තාවගේ ඥාති දියණියක් වන නිරූපන ක්ෂේත්‍රයේ නිරත තරුණියක්ද මෙම අවස්ථාව දැක බලා ගැනීමට පැමිණ සිටියාය. එහෙත් ඇය මෙවන් කටයුතු විශ්වාස කළ තැනැත්තියක් නොවේ. ඇය යම් අවශ්‍යතාවයක් සඳහා උඩු මහලට යන්නට ගොස් ආපසු දිව ආවේ හති ලමිනි. 
'' ලොකු අම්මෙ...උඩ තට්ටුවෙ ගෑණු කෙනෙක් අඬනව ඇහෙනවා...මම හොඳටම බය වුණා."  ඇය හති දමමින් පැවසුවාය.
" ආ ... ඇඬුවා කියලා ඉතින් කරන්න දෙයක් නෑ. අපි එයාට කරදරයක් නොකර ගැළපෙන යහපත් තැනකට යවමු... වැඩේ ඉවර වෙනකල් කවුරුවත් තනියම එහෙ මෙහෙ නොයා ඉන්න එක තමයි හොඳ. "  ඇදුරා එසේ පැවසුවේ කිසිවෙකුටත් කිසිවක් පැවසීමට ඉඩක් නොතබමිනි.

පූජාසනයෙන් කපුරු පෙති අටක් ගෙන එය ආවතේවකරුවෙකුට දී නිවසේ අට කොණ දල්වන්නැයි පැවසූ ඇදුරා නැවතත් වාඩි වී මතුරන්නනට විය.

" ඕං හරපුර කදිර කන්ද පද්ම කුංජර විෂ්ණු නාරායනේ සිව කදිර කන්ද කුමාර සිලච්චාරී රත්න චාමුණ්ඩි හර හර වාල සංහාර බන්ධන කාය මයුර බන්දාමි කෞලව කුමාර බන්දාමි රත්න චාමුණ්ඩි දේව රාමශර කපාල ප්‍රහාරණී හා හා දීර්ඝාවතාර ශ්‍රී රාම රත්න චාමුණ්ඩි ප්‍රතාප ප්‍රතාජාර්ත සිද්ධි බන්ධාමි.....

එසේ දිගු වේලාවක් මන්ත්‍ර ජප කළ ඇදුරා තම ආවතේවකරුට කතා කොට අළුකෙසෙල් අලය මැතිරීම සඳහා ස්ථානයක් පිළියෙළ කරන්නැයි පැවසුවේය. ඇදුරා මේ සැරසෙන්නේ තම ක්‍රියාන්විතයේ තවත් පියවරක් ආරම්භ කිරීමට ය. එනම් ඉඩමේ අට කොණ පස් ගෙන තැනූ ස්ත්‍රී රුව සහිත මිනී පෙට්ටිය ජීවම් කිරීමට ය. මෙම කාර්යය සිදුකරන්නේ නිවසින් පිටත ය. මිනී පෙට්ටිය, කපුරු, ජප මාලය ආදී කලමනා සියල්ල ටීපෝව මත තැබූ ආවතේවකරු දුම් කබල ගෙන සාම්බ්‍රානි දුම් දෙමින් වටපිටාව සුවඳවත් කළේය.
හෝරා දෙකක් පමණ එක දිගට මන්ත්‍ර ජප කළ ඇදුරා ආසනයෙන් නැගිට ජප මාලයද රැගෙන නිවස තුළට ගොස් සාලයේ තිබුණු හාන්සි පුටුවේ වාඩිවූයේ විනාඩියක දෙකක සුළු විවේකයක් ලබා ගැනීමටත් වඩා නිවැසියන්ට විශේෂ උපදෙස් කීපයක් ලබා දෙන්නටය. ඇදුරා නිවැසියන් සමග කතා කිරීමේ බලාපොරොත්තුවෙන් සිටියද කිසිවෙක් සාලය වෙත නොපැමිණීම ගැටළුවක් විය. ඇදුරා ආවතේවකරුට කතා කොට නිවැසියන් කැඳවන්නැයි පැවසුවේය.
" මාර වැඩේනෙ.. තේ හදන්න කුස්සියට ගිය ගෑණු කෙනා නෑ කියල කට්ටිය හැම තැනම හොයනවා.."
ඇදුරා අතට ගත් බුලත් හෙප්පුවද පසෙකින් තබා නැගිට්ටේය.
" මම කිව්වනේ තනියම කාටවත් එහෙ මෙහෙ යන්න එපා කියලා.. කී දෙනෙක් මැරිච්ච තැනක්ද මේ...මළ යක්ෂණියක් මෙතන ඉන්නේ. "
ඇදුරාගේ හඬ ඇසුණු ගෙහිමි කාන්තාව ඇදුරා අසළට දිව ආවාය.
"අනේ මහත්තයා තනියම නෙමෙයි...මම නංගිගෙ දුවත් එක්ක යැව්වේ...දුව බයයි කියලා ආපහු ඇවිත්නේ...අනේ අහිංසක ගෑණි..හැම තැනම බැලුවා කොහෙවත් නෑ" ගෙහිමි කාන්තාව හතිලමින් පවසන්නට විය.
"වත්තෙ හැම තැනම හොඳට හෝදිසි කරලා බලන්න. අර කෙල්ල පැනලා මැරිච්ච ලිඳ තිබුණු පැත්තෙ විශේෂයෙන් බලන්න..."  පරම්පරා ගණනක දැනුම මෙන්ම වසර ගණනාවක අත්දැකීම් ද හිමි ඇදුරාට මෙවන් සිදුවීම් එතරම් අරුමයක් නොවේ.
සියල්ලෝ විදුලි පන්දම් එළිය කරමින් වත්ත පුරා සෝදිසි කරන්නට විය. ඉඩම කෙළවර සෝදිසි කරමින් සිටි මෙහෙකරුවෙක් කෑගැසුවේය.
" ඉන්නවා ඉන්නවා...අන්න අතන ළිඳ ගොඩ කරපු තැන ඉඳගෙන ඉන්නවා..."
ගෙහිමි කාන්තාවද සෙසු පිරිස සමග ඒ දෙසට දිව ගියාය. කාගේවත් කලබලයක් ගැන ඇයට වගක් නැත. ඇය තමන්ගේ පාඩුවේ බලාගත් අත බලාගෙන සිටියි.
"මොකද ඔතනට වෙලා කරන්නේ? ඇයි මෙතෙන්ට ආවේ ? " ගෙහිමි කාන්තාව ප්‍රශ්න කළ නමුත් ඇයගෙන් කිසිදු ප්‍රතිචාරයක් නැත. 
ඒ වන විටත් අයෙක් ඇදුරා කැටුව පැමිණෙමින් සිටියේය. මෙහෙකාරිය සිටි ස්ථානයට පැමිණි අදුරා නාලාගිරි බන්ධනයෙන් බලගැන්වූ තෙල් කුප්පියෙන් තෙල් ස්වල්පයක් ගෙන මෙහෙකාරියගේ හිසේ ගෑවේය. මොහොතකින් කලබලයෙන් මෙන් පිරිස දෙස බැලූ මෙහෙකාරිය ඉඳගෙන සිටි තැනින් නැගිට්ටාය.
මොකද වුණේ...? ඇයි මෙතනට ආවෙ...?  ඇදුරා මෙහෙකාරියගෙන් ප්‍රශ්න කළේය.

" මම බේබිත් එක්ක කුස්සියට ගියා තේ හදන්න...බේබි බයයි කියලා ආපහු ගියා. මම කුස්සියේ ඉන්න කොට අමුතු ගඳක් ආපු හින්දා දොර ඇරියා. මට මතක එච්චරයි..."  මෙහෙකාරිය පැවසුවාය.
ඒ සිද්ධියත් සමග නිවැසියෝ වඩාත් බියට පත් වූහ.
එළිය වැටෙන්නට පෙර පුහුල හා මිනී පෙට්ටියද  කපා, දුම්මල ගසා ආරක්ෂක මුට්ටිද තැන්පත් කළ යුතුය. ඊට පෙර ප්‍රේත තටුව කැප කළ යුතුය. කෙසෙල් පතුරු වලින් සාදා ගොක් කොළයෙන් අලංකාර කළ පස් ගැබේ පිදේනිය පිළියෙළ කරගත් ඇදුරා "ඕං ඉන්ද්‍රකාම ප්‍රේත වර වර අට කොණ සොළොස් කොණ ප්‍රේත වර වර ....."  යනුවෙන් ප්‍රේතයින් ගෙන්වන මන්ත්‍රය ජප කර ප්‍රේතයින්ට දොළ කැප කළේය.
පසුව සියලු තැන්හි දුම්මල ගසා, පුහුල ප්‍රධාන උළුවස්ස යටද, අළු කෙසෙල් අලයෙන් සෑදු මිනී පෙට්ටිය ඉඩමට ඇතුළු වන ස්ථානයේද තබා කපා දැමුවේය. ආරක්ෂක මුට්ටි අට අට දෙනෙකු ලවා එක්වර තැන්පත් කළේය. ගෙදර සෑම උළුවස්සකටම දෙහි අහු කැපුවේය. නිවැසි සියල්ලන්ටම දෙහි අහු කපා ආරක්ෂක තෙල් සුරය බැගින් පැළඳුවේය.
වටින් ගොඩින් එළිය වැටෙමින් තිබුණි. වැඩ කටයුතු සියල්ල අවසාන වී තිබේ. දිය යුතු සියලු උපදෙස්ද නිවැසියන් වෙත ලබා දුන් ඇදුරා තම ආවතේවකරුවන්ද සමග නිවසින් පිටත් වූයේ " අද දවල් වෙන කොටම ලොකු සහනයක් හිතට දැනෙයි. මේ පරිසරයත් වෙනස් වෙලා ලොකු කල එළියක් ඇති වෙයි " කියමිනි. නිවැසියෝ ඇදුරාට පින් දෙමින් සමු දුන්හ. 
එතැන් පටන් නිවස හා අවට පරිසරය නැවතත් ප්‍රියමනාප තත්වයට පත් විය. අඩපණ වී තිබුණු ව්‍යාපාර කටයුතු නැවත පණ ගැන්විණි. ගෙහිමි කාන්තාව කලක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි නමුත් ඉටු කරගැනීමට අපහසු වී තිබුණු බලාපොරොත්තු එකින් එක ඉටුවන්නට විය. ඇය අදටත් තමන්ට පිහිට වූ මන්ත්‍රාචාර්යවරයාව පින් දෙමින් සිහිපත් කරන්නීය.
   (මන්ත්‍රාචාර්ය සංජීව කුළුපන බණ්ඩාර මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරින් පුවත්පතක පලවූ ලිපියකි.)