මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය.

මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය.
මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය ලෝකයේ ප්‍රබලම මන්ත්‍ර ශාස්ත්‍රයයි . මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රයේ වැදගත්ම අංගය වන්නේ සිද්ධි ලබාගැනීමයි . කාලි ,ගණපති ,මාඩ ශාමි ,භගවතී ආදී සිද්ධි ලබාගැනීමෙන් තොරව මලයාලි ගුරුකම් කල නොහැක .මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය සම්බන්ධයෙන් මා ජ්‍යොතිෂ පුවත්පතකට ලිපි මාලාවක් ලියු අතර ඊට මහත් ජනතා ප්‍රතිචාර ලැබුණි .එම ලිපි මාලාව තුලින් මා හෙළි කළේ මාගේ මුත්තා විසින් කරන ලද විස්මිත ගුරුකම් ගැනය . මාගේ මුත්තා මලයාලි මන්තර ශාස්ත්‍රය ඉගෙනගෙන ඇත්තේ "වේණු ශාමි" නම් කේරළ මන්ත්‍රාචාර්යවරයෙක් ගෙනි . අද බොහෝ දෙනෙක් "මලයාලි ගුරුකම්" කරන බව පැවසුවද ඔවුන් මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රයේ මුලික අංග වත් නොදනී. වරු තුනෙන්, දින තුනෙන් වශී ගුරුකම් කරන බව පවසමින් පුවත්පත් වල පලකරන දැන්වීම් ප්‍රමාණය සුළුපටු නොවේ. කෙනෙක් වෙත කෙනෙක්ගේ සිත ගිය පමණින් වශිකරගැනීමට හැකිනම් ලෝකයේ ඕනෑම කෙනෙක්ව ඕනෑම කෙනෙකුට වශී කරගැනීමට හැකිය. මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය තුළ වශී ගුරුකම් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු විශේෂ විධි,ක්‍රම පවතී. මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය ගැන සියලු විස්තර ,තොරතුරු නිවැරදිව හෙළිකර දෙමින්, පුර්ණ අවබෝධයක් ඔබට ලබාදීමට මම අදහස් කළෙමි. මෙතැන් පටන් පලවන සියලු විස්තර කියවා දැනුම අවබෝධය ලබාගන්නා ලෙසත් , ව්‍යාජ මන්ත්‍ර කරුවන්ට නොරැවටී සිටින ලෙසත් ඉල්ලා සිටිමි.

Friday, June 7, 2019

කල් පවතින අසනීප සහ අමනුෂ්‍ය බලපෑම්.


ලෙඩදුක් කාටත් පොදුයි. වයසට යාම සහ මරණය වගේම ලෙඩ වීමත් සියලු සත්වයින්ට පොදු ධර්මතාවයක්. කැස්සක් හැම්බිරිස්සාවක් හෝ නොවැළඳුණු කෙනෙක් හොයගන්න නෑ. ඒත් සමහර අසනීප හරිම සංකීර්ණයි. මොන තරම් වෛද්‍යවරු හමුවෙලා ප්‍රතිකාර ගත්තත් සුවය ලැබීම තබා අසනීපය නිවැරදිව සොයා ගැනීමට පවා නොහැකි වන අවස්ථා උදා වෙනවා. සමහරු අවුරුදු ගණන් ලෙඩ ඇඳේ දුක් විඳිනවා. ගස් ගල් වගේ හොඳට ශක්තිමත්ව ඉන්න සමහරු නොසිතූ විදියට ලෙඩ ඇඳට වැටෙනවා. ගණන් ගන්නෙවත් නැති තරමේ පුංචි තුවාලයක් ජීවිතයම අහිමි කරන තත්වයට පත්වෙන අවස්ථා ගැන අහන්න ලැබෙනවා. මොන තරම් වේදනාවක් පීඩාවක් දැනුණත් වෛද්‍යවරුන්ට අසනීපයක් ගැන මොනවත්ම හොයාගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. දවල් කාලයේ හොඳට ඉන්නවා රෑට තමයි හොඳටම අමාරු වෙන්නේ... ගෙදරදි අසාධ්‍යයි ඒත් ගෙදරින් පිට වුණාම තරමක සුවයක් දැනෙනවා... ගිය වතාවෙ වෛද්‍ය වාර්තා හොඳයි ඒත් මේ පාර වාර්තා එච්චර හොඳ නෑ... ඔපරේෂන් දෙකක්ම කළා දැන් තුන්වැනි එකත් කරන්න හදන්නේ... වෛද්‍යවරු කියන්නෙ විශ්වාසයක් තියන්න බෑ කියලා... කකුලේ කොටසක් කැපුවා දැන් ආයෙත් ඊට උඩින් කපන්න ඕනැලු..... මොන තරම් නම් දෙනෙක් ඔය විදියේ කතා කියනවද.
නොයෙක් හේතු හින්දා අසනීප වැළඳෙනවා. විෂබීජ,මත්ද්‍රව්‍ය, වැරදි ආහාර රටා, වස විෂ ශරීරගත වීම්, මානසික පීඩා, අනතුරු ආදී නොයෙක්  කාරණා රෝගාබාධ ඇතිවීමට බලපානවා. ඒ වගේම රෝගාබාධවලට අමනුෂ්‍ය බලපෑම් හේතු වන අවස්ථාත් තියෙනවා.

 යක්ෂ,ප්‍රේත,පිශාච,කුම්බාන්ඩ කියන කොටස් හතර තමයි අමනුෂ්‍යයින් විදියට හඳුන්වන්නේ.  මේ අමනුෂ්‍යයින්  වර්ග 4 කට බෙදා දක්වලා තියෙනව මෙන්න මේ විදියට.
1. නිජ්ඣාමතණ්හික - ගින්නෙන් දවනු ලබන බිල සහිත ගසක්‌ මෙන් ශරීරය ඇතුළත ක්‌ෂුධා ගින්නෙන් ඇවිලෙන ප්‍රේතයින්.
2. කුප්පිපාසික - බොහෝ කාලයක්‌ කෑම බීම නැතිව සා පිපාසා දෙකින් පීඩිතව සිටින බුප්පිපාසික ප්‍රේතයින්.
3. පංසුපිසාචික - වමනය, සෙම්සොටු, සැරව, ගැබ්මල ආදිය ආහාරයට ගන්නා ප්‍රේතයින්.
4. පරදත්තූපජීවි - ඥාතීන් විසින් දෙනු ලබන පිනෙන් ජීවත්වන ප්‍රේතයින්.
මෙයින් පංසුපිසාචික ප්‍රේත කොට්ටාශය තමයි මනුෂ්‍යයින් ගේ ශරීරයේ ඇතිවෙන නොයෙක් අසනීප සමග සම්බන්ධ වෙන්නේ.

ශරීර අභ්‍යන්තරයේ තිබෙන නොයෙක් අවයවවලට විෂ බීජ ඇතුළු වෙලා රෝගී වූවන් ගැන නොයෙක් විට අහන්නට ලැබෙනවා. " විෂ බීජයක් ගිහින්ලු....අයි සී  යූ එකේ ඉන්නෙ..." ඔහොම කියන අය මොන තරම් අපිට මුණගැහෙනවද. ලෙඩේ හොයලා හොයලා අවසාන මොහොතෙදි දැනගන්න ලැබෙනවා විෂ බීජයක් ඇතුළු වෙලා කියලා. මේ වගේ දේවල් අමනුෂ්‍ය බලපෑම් හින්දා සිද්ද වෙන්නත් පුළුවන්. අමනුෂ්‍ය බලවේගයක් ශරීරගතව ක්‍රියාත්මක වීමේදී  වයිරසයක්, බැක්ටීරියාවක් හෝ විෂ බීජයක් හේතුවෙන් ඇතිවෙන සංකූලතාවන්ට සමාන සංකූලතා ඇතිවෙන්න පුළුවන්.

අමනුෂ්‍ය බලපෑම් හේතුවෙන් රෝගී වුණු ඇතැමුන් අවුරුදු ගණන් ලෙඩ ඇඳේ කල්ගෙවනවා. කාලයක් බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන සුවයක් නැතුව ආයුර්වේද ප්‍රතිකාරවලට මාරු වෙනවා. ආයුර්වේද ප්‍රතිකාරවලින් සුවයක් නැතුව හෝමියෝපති ප්‍රතිකාරවලට යොමු වෙනවා. ඔය ආකාරයට හැකි සෑම ක්‍රමයකින්ම සුවයක් ලබාගන්න උත්සාහ කළත් ප්‍රතිපලයක් නැති වෙනවා. එවැනි රෝගීන් ගණනාවක් මා බේරාගෙන තියෙනවා. එවැනි ඇතැමුන් යළි කිසි දිනෙක සුවයක් නොලැබෙනු ඇතැයි සිතා සිටි බවත් සඳහන් කළ යුතුයි.

අමනුෂ්‍ය බලපෑම් හේතුවෙන් රෝග කීපයක් එක වර ඇතිවෙන අවස්ථාත් තිබෙනවා. එවිට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේදී දැඩි දුෂ්කරතා ඇතිවෙනවා. එක් අසනීපයකට ලබාදෙන ඖෂධ හේතුවෙන් තවත් අසනීපයක් උත්සන්න වීමට ඉඩ තිබෙනවා. මෙවන් අවස්ථාවල දී වෛද්‍යවරු පවා අසීරුතාවයට පත් වෙනවා. එවැනි ගුප්ත තත්වයන් ඇති කරන අමනුෂ්‍ය බලපෑම් ඉවත් කළ පසුව වෛද්‍යවරු පවා මවිතයට පත් කරමින් සියලු අසනීප සුව අතට හැරෙනවා.

ඇතැමුන්ගේ අසනීප පීඩාවන් නිවසින් බැහැරට ගිය විට සුව වෙනවා. නැවත නිවසට පැමිණි පසුව අසනීප මතුවෙනවා. වාසය කරන ස්ථානයේ පවතින අමනුෂ්‍ය  බලපෑම් හේතුවෙන් එවැනි තත්වයන් ඇතිවෙනවා. ස්ථානගතව පවතින අමනුෂ්‍ය බලපෑම් ඉවත් කළ පසුව අසනීප පීඩා දුරු වෙනවා.

ඇතැමුන්ට නොයෙක් අපහසුතා, පීඩාවන් දැනෙන නමුත් පවතින අසනීපය කුමක්දැයි වෛද්‍යවරුන්ට සොයාගන්න අපහසු වෙනවා. එවැනි අය මානසික වෛද්‍යවරු වෙත යොමු කරවන අවස්ථාත් තියෙනවා. මානසික වෛද්‍යවරුන්ටත් කිසිම අබාධයක් සොයාගන්න අපහසු වෙනවා. ඔය විදියේ තේරුම් ගත නොහැකි ගුප්ත පීඩාවන් ඇතිකරන අමනුෂ්‍ය බලපෑම් එල්ල වෙන අවස්ථා තියෙනවා.

රෝගියාගේ අවසන් සුසුම් පොද වා තලයට මුසු වීමට ඔන්න මෙන්න කියා තිබිය දී ගුප්ත වෙදදුරෙක් හමුවට යාම ප්‍රතිපලදායක නොවිය හැකි බව ද සඳහන් කළ යුතුයි. රෝගියා අන්තිම අසාධ්‍ය තත්වයට පත් වීමට පෙර ගුප්ත වෙදැදුරෙකු හමුවීම වඩාත් වැදගත් වෙනවා. ඇතැමුන් රෝගියාගේ කලදසාව බලාගැනීමට පැමිණෙන්නේ රෝගියා පසුදා තෙක් හෝ ජීවත් වේ දැයි විශ්වාසයක් තැබිය නොහැකි අවස්ථාවලදී වීම කණගාටුවට කාරණයක්.

ශරීරගතව හෝ ස්ථානගතව හිඳිමින් පීඩාවන් එල්ල කරන අමනුෂ්‍යයින් ඉවත් කළ යුතු වෙන්නේ කොහොමද ? අමනුෂ්‍යයින් ගැටගසා බෝතල් කුප්පි තුළ සිර කළ යුතු ද ? ඒ සම්බන්ධයෙන් නැවත කතා කරමු.

ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය 

   සංජීව කුළුපන බණ්ඩාර.