මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය.

මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය.
මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය ලෝකයේ ප්‍රබලම මන්ත්‍ර ශාස්ත්‍රයයි . මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රයේ වැදගත්ම අංගය වන්නේ සිද්ධි ලබාගැනීමයි . කාලි ,ගණපති ,මාඩ ශාමි ,භගවතී ආදී සිද්ධි ලබාගැනීමෙන් තොරව මලයාලි ගුරුකම් කල නොහැක .මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය සම්බන්ධයෙන් මා ජ්‍යොතිෂ පුවත්පතකට ලිපි මාලාවක් ලියු අතර ඊට මහත් ජනතා ප්‍රතිචාර ලැබුණි .එම ලිපි මාලාව තුලින් මා හෙළි කළේ මාගේ මුත්තා විසින් කරන ලද විස්මිත ගුරුකම් ගැනය . මාගේ මුත්තා මලයාලි මන්තර ශාස්ත්‍රය ඉගෙනගෙන ඇත්තේ "වේණු ශාමි" නම් කේරළ මන්ත්‍රාචාර්යවරයෙක් ගෙනි . අද බොහෝ දෙනෙක් "මලයාලි ගුරුකම්" කරන බව පැවසුවද ඔවුන් මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රයේ මුලික අංග වත් නොදනී. වරු තුනෙන්, දින තුනෙන් වශී ගුරුකම් කරන බව පවසමින් පුවත්පත් වල පලකරන දැන්වීම් ප්‍රමාණය සුළුපටු නොවේ. කෙනෙක් වෙත කෙනෙක්ගේ සිත ගිය පමණින් වශිකරගැනීමට හැකිනම් ලෝකයේ ඕනෑම කෙනෙක්ව ඕනෑම කෙනෙකුට වශී කරගැනීමට හැකිය. මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය තුළ වශී ගුරුකම් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු විශේෂ විධි,ක්‍රම පවතී. මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය ගැන සියලු විස්තර ,තොරතුරු නිවැරදිව හෙළිකර දෙමින්, පුර්ණ අවබෝධයක් ඔබට ලබාදීමට මම අදහස් කළෙමි. මෙතැන් පටන් පලවන සියලු විස්තර කියවා දැනුම අවබෝධය ලබාගන්නා ලෙසත් , ව්‍යාජ මන්ත්‍ර කරුවන්ට නොරැවටී සිටින ලෙසත් ඉල්ලා සිටිමි.

Thursday, October 24, 2019

දේපළ තණ්හාවෙන් නිවෙසට රිංගූ මළ යක්‍ෂණිය.


අපි, ඔහු අමිල යනුවෙනුත් ඇය දේවිකා යනුවෙනුත් හඳුන්වමු. අමිල තම බිරිඳ වූ දේවිකා සහ දියණියන් දෙදෙනා සමඟ අගනුවර ආසන්නයේ නිවෙසක පදිංචියට පැමිණියේය. ඒ, තම වැඩිමල් දියණියගේ පාසල් ගමන පහසු කරලීම සඳහාය. තම වැඩිමහල් දියණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින් සමත් වූ බැවින් අගනුවර පිහිටි ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය ලැබීමට භාග්‍යය හිමිවිය. දුර බැහැර සිට අගනුවර පාසලකට පැමිණීම දුෂ්ඛර බැවින් අමිල අගනුවර ආසන්න ප්‍රදේශයක නිවසක් මිලදී ගත්තේය. දේවිකාගේ මවද තම නිවස වෙත ගෙන්වා ගත්තේ වැඩ කටයුතු පහසු කරගැනීම සඳහාය.

අමිල ව්‍යාපාරිකයෙකි. මගී ප්‍රවාහන බස් රථයක හා වෑන් රථ කීපයක හිමිකරුවෙකි. ඊට අමතරව මුදල් පොලියට දීමේ ව්‍යාපාරයක්ද කරගෙන ගියේය. සමාජශීලී පුද්ගලයෙකු වූ අමිල අසල්වාසීන්ගේ සිත් දිනාගනිමින් තම බිරිඳ, දියණියන් දෙදෙනා හා නැන්දනිය සමඟ නව නිවහනේ සතුටින් කාලය ගතකළේය. වැඩිමහල් දියණිය තම අධ්‍යාපන කටයුතු ඉතාමත් සාර්ථකව කරගෙන ගියාය. බාල දියණිය පෙර පාසල් අධ්‍යාපනය ලැබුවාය.

දිනක් අමිලගේ බාල දියණිය තමන් මුහුණ දෙමින් සිටි කරදරකාරී සිදුවීමක් ගැන තම සමඟ පැවසුවාය.

" මා දිහා යකෙක් බලාගෙන ඉන්නවා අම්මේ...ගේ ඇතුළෙ තනියම ඉන්න වෙලාවටත් බලාගෙන ඉන්නවා...මිදුලෙ සෙල්ලම් කරන කොටත් බලාගෙන ඉන්නවා..."

දියණියගේ ප්‍රකාශයෙන් දේවිකා තරමක් තැති ගත්තාය. එහෙත් ඒ වගක් දියණියට පෙන්වූවේ නැත.

"බයවෙන්නෙ නැතුව ඉන්නකො...අපි තාත්තා ආවම කියමු...මිදුලෙ තනියම සෙල්ලම් කරන්නෙ නැතුව ඉන්නකො මීට පස්සෙ.."

දේවිකා දියණියගේ සිත සැනසුවාය.පසුව, දියණිය තමන් සමඟ පැවසූ දේ තම මව සමඟ පැවසුවාය.

" ඒ මොකක්ද ඒ කතාවෙ තේරුම...? මේ ළමයා කවදාවත් ඔය වගේ දෙයක් කියල නැහැනෙ...පුතා ආවම කතාකරගෙන හෙට උදේම අවිස්සාවේල්ලට ගිහින් දරුවගේ හඳහන බලාගත්තොත් හොඳයි වගේ..."

අමිල තම ව්‍යාපාර කටයුතු අහවර කර නිවසට පැමිණි විගස දේවිකා දියණිය පැවසූ සියල්ල අමිලට කීවාය.

" හිතේ ඇඳිච්චි මොකක් හරි වෙන්න ඇති...කාටුන් බලන එකනෙ කරන්නෙ...ඕවයෙ තියෙන දේවල් තමයි ඔය පේනවා ඇත්තෙ...කලබල නොවී බලමුකෝ ටිකක්..."

අමිල එසේ පවසා බිරිඳගේ බිය සැක තුරන් කළේය. සමහරවිට එහෙම වෙන්නත් පුළුවන් යැයි ඇයට ද සිතුණි.

 දිනක් දේවිකා පෙර පාසලට ගොස් දියණියද රැගෙන නිවසට පැමිණ තම උදව් වීම පිණිස මුළුතැන්ගෙයට ගියාය. දියණිය සාලයට වී විස්කෝතු කමින් රූපවාහිනිය නරඹමින් සිටියාය. මුළුතැන්ගෙයි ආහාර පිළියෙළ කරන අතරවාරයේ තම දියණිය කෙරෙහි වරින්වර අවදානය යොමු කිරීමට දේවිකා අමතක කළේ නැත. බල්ලෙකු බුරාගෙන පනින ශබ්දය ද සමඟ දියණිය කෑගසන ශබ්දයෙන් කලබලයට පත්වුණු දේවිකාත් මවත් සාලයට දිව ආවාය. " මොකද වුණේ..." යැයි අසමින් දේවිකා දියණිය ඔසවාගෙන මිදුලට බැස්සාය. දියණියගේ මුහුණ තුවාල වී ලේ ගලමින් තිබුණි. අසල්වැසි නිවසකට කතාකොට ත්‍රීවීලරයක් ගෙන්වා ගත් දේවිකා මවද නංවාගෙන දියණිය රෝහල වෙත රැගෙන ගියාය. දියණියගේ මුහුණ සපා කා තිබුණේ බල්ලෙකි. ඒ. දේවිකාලාගේ නිවසට නිතර එන යන අසල්වැසි නිවසක බලු සුරතලෙකි.

එදින රාත්‍රිය තුවාල ලත් සිඟිත්තියට පමණක් නොව පවුලේ සියලු දෙනාටම මහත් වේදනාබර රාත්‍රියක් විය. " හෙටම ගිහින් දුවගෙ හඳහන බලාගන්න ඕනැ...ගෙදර ගැන ඔයාගෙ අවදානය දැන් හරිම අඩුයි...කොච්චර වාහන තිබුණත් හදිස්සියකට ගෙදර වාහනයක් නෑ...බිස්නස් පස්සෙම යන්නෙ නැතුව ගෙදර ගැනත් ටිකක් හොයල බලන්න..."

බිරිඳගේ කතාවට අමිල පිළිතුරු දීමට ගියේ නැත. පසු දිනට තිබුණු වැඩ කටයුතුද නවතා දමා දියණියගේ හඳහන බලාගැනීමට යාම සඳහා යොදා ගත්තේය.

පසුදා උදෑසන අමිල සහ දේවිකා නිවෙසින් පිටත් විය. දියණිය බලාගැනීම සඳහා මව නිවසෙහි නතර වූවාය.

අමිල සහ දේවිකා යනු මේ ජ්‍යොතිර්වේදියාට අමුත්තන් දෙදෙනෙක් නොවේ. අමිල සහ දේවිකාගේ විවාහ මංගල්‍යය සඳහා වූ නක්ෂත්‍ර පත්‍රය පිළියෙළ කරන ලද්දේ ද මේ ජ්‍යොතිර්වේදියාය. ඒ මීට වසර පහළොවකට පමණ ඉහතදී ය. එදා මෙදාතුර සෑම සුවිශේෂ කටයුත්තකදීම අමිල සහ දේවිකාගේ ජ්‍යොතිෂ උපදේශකවරයා වූයේ මොහුය. ආගිය තොරතුරු කතා කිරීමෙන් අනතුරුව දේවිකා තම දියණියගේ ජන්ම පත්‍රය ජ්‍යොතිර්වේදියාට පිළිගැන්වූවාය. ජන්ම පත්‍රයක් පරීක්ෂා කිරීමේදී තත්කාල ශාස්ත්‍රය ද ඊට අදාල කරගැනීම මේ ජ්‍යොතිර්වේදියාගේ සිරිතකි. දශා, අන්තර් දශා ගණනය කර, තත්කාල කේන්ද්‍ර සටහනද සකසා ගත් ජ්‍යොතිර්වේදියා පලාපල විස්තරය කියන්නට විය.

" දරුවාට සෙනසුරුගේ ඒරාෂ්ටක අපලයකුත් තියෙනවා...දැනට පදිංචි වෙලා ඉන්න තැනත් දෝෂයක් තියෙනවා...ඉන්න ඉඩමෙ තියෙන්නෙ තදබල අමනුෂ්‍ය බලපෑමක්...ඒ වගේ දෝෂ බලපාන්නෙත් අපල තියෙන අයටනේ...ඒරාෂ්ටක අපල තියෙන තව කෙනෙක් ගෙදර ඉන්නවා...එයත් පරිස්සම් වෙන්න ඕනෑ...ඉඩමෙ තියෙන අමනුෂ්‍ය දෝෂය ඉක්මනින් අයින් කරගන්න ඕනැ...ගෙදර හැමෝගෙම හඳහන් බලාගන්න එක තමයි හොඳ...මොකද අපල තියෙන අය පරිස්සම් වෙන්න ඕනැ...අපල දුරුවෙන්න පිළිවෙත් කරගන්න ඕනැ..."

ජ්‍යොතිර්වේදියා පැවසූ කරුණු කාරණාවලට සාවදානව සවන්දීගෙන සිටි දේවිකා කටහඬ අවදි කළාය.

" අපේ හැමදේකටම වෙලාවල් බැලුවෙ, නැකත් හැදුවෙ ඔබතුමානෙ...ඒත්, වෙලාව කියන්නෙ...අලුත් ගේ ගන්න කලින්වත්, ගෙදරට ගෙවදින්න කලින්වත් ඔබතුමාව මුණගැහෙන්න වෙලාවක් ලැබුණෙ නෑ...හැමදෙයක්ම කලබලේටනෙ කරන්න වුණේ...හදිස්සියට ලඟපාත කෙනෙක්ගෙන් නැකතක් අරගෙන තමයි ගෙදරට ගියේ...ෆෝන් එකෙන් කතා කරලවත් වෙලාවක් අහගන්න ඕනැ කියලා හිතාගෙන හිටියත් එහෙමවත් කරගන්න හම්බවුණේ නෑ...මොනව කරන්නද...අපේ වෙලාව තමයි..."

සියලු විස්තර තොරතුරු අසා දැනගත් අමිල සහ දේවිකා ජ්‍යොතිෂවේදියාගෙන් සමුගත්තේ පවුලේ සෙසු ජන්ම පත්‍රද රැගෙන නැවත පැමිණීමේ බලාපොරොත්තුවෙනි.

දින කීපයකින් දියණිය සම්පූර්ණයෙන් සුවය ලැබුවාය. අමිල සුපුරුදු පරිදි ව්‍යාපාරික කටයුතු කරගෙන ගියේය. සියලු දේ අමතකව ගියා සේ සියල්ලෝ පෙර පරිදි කාලය ගත කළෝය. ඒ, තදබල අමනුෂ්‍ය දෝෂ පවතින ස්ථානවල කටයුතු සිදුවන ආකාරයයි.

දිනක් අමිල මැදියම් රාත්‍රියේ නින්දෙන් අවදි වූයේ බස් රථය නවතා තිබුණු දෙසින් ඇසුණු ශබ්දයක් හේතුවෙනි. අමිල ඇඳෙන් බැස දොර විවෘත කරන හඬ ඇසී බිරිඳ දේවිකාද අවදි වූවාය.

" කොහෙද මේ මහ රෑ දුවන්නෙ...? "
කුමක් සිදුවන්නේ දැයි සිතාගත නොහැකිව දේවිකා එසේ ඇසුවාය

" බස් එක පැත්තෙන් සද්දයක් ඇහුණා...මම බලලා එන්නම්..."

අමිල එසේ කියාගෙන, විදුලි පන්දමද දල්වාගෙන බස් රථය පැත්තට දිව ගියේය. දේවිකා දොර අසලට වී බලාගෙන සිටියාය. බස් රථය දෙසට දිව ගිය අමිල ආපසු පැමිණෙන පාටක් නැත. විදුලි පන්දමේ එළියද නොපෙනේ. දේවිකා ගෙතුළට ගොස් මව නිදා සිටි කාමරයට ඇතුල්වී ඇය අවදි කළාය.

" අම්මෙ...ඉක්මනට නැගිටින්නකො...සද්දයක් ඇහුණ කියල අමිල බස් එක පැත්තට ගියා..."

දේවිකා මවද කැටුව බස් රථය දෙසට ගියාය. අමිල පෙනෙන්නට නැත. බස් රථයේ ඉදිරි දොර විවෘතව තිබෙනු දුටු දේවිකා බස් රථයට ගොඩවූවාය.

" අම්මේ......................"

දේවිකාගේ හඬින් මව පමණක් නොව යාබද නිවැසියන් ද කලබලයට පත්විය. අමිල බස් රථය තුළ වැටී සිටියේය. අසල්වැසියන් පැමිණ රෝහල වෙත ගෙන ගියද ඒ වන විටත් අමිල මෙලොව හැර ගොස් තිබුණි. වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ අමිල හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බවයි.

සිදුවූයේ කුමක් දැයි කිසිවෙකුටත් සිතාගත නොහැකි විය. දේවිකා තම ආදරණීය සැමියාගේ අවමංගල්‍ය කටයුතු ඉටු කර හත් දවසේ දානමය පුණ්‍ය කර්මයද සිදුකොට, දරු දෙදෙනාත් මවත් සමඟ ගොස් තම ජ්‍යොතිර්වේදියා හමුවූවාය. තම මියගිය ස්වාමි පුරුෂයාගේ ජන්ම පත්‍රයද ඇතුළුව පවුලේ සියලු දෙනාගේ ජන්ම පත්‍ර ජ්‍යොතිර්වේදියා වෙත පිළිගන්වමින්, පසුගිය කාලයේ සිදු වුණු අවාසනාවන්ත සිදුවීම් ගැනද සැල කළාය.

" ඒරාෂ්ටක අපල තියෙන තව කෙනෙක් ඇති කියලා කලින් වතාවෙ දුවගෙ හදහන බලපු වෙලාවෙ මම කිව්වනේ...තදබල ඒරාෂ්ටක අපලයක්නෙ තිබිල තියෙන්නේ...ඒරාෂ්ටක අපලයි, අමනුෂ්‍ය දෝෂයි තියෙන වෙලාවට ඉතින් කරන්න තියෙන දේවල් මොන විදියකින් හරි මඟහැරෙනවා...දැන් ඉතින් තුන් මාසයක් ගත වෙනකල් ඔය විදියට ඉඳලා...තුන් මාසෙ දානෙත් දීලා ඔය අමනුෂ්‍ය දෝෂය අයින් කරමු...පොඩි දුව තනි කරන්නෙ නැතුව හොඳට බලාගන්න...අනිත් දුවට නං අපල බලපෑම් නෑ...ඉඩමෙ ඉන්නෙ මළ යක්ෂණියක්...ඔය ඉඩමෙ මුල් පදිංචිකාරියක්...දේපළවලට තණ්හාවෙන් මැරිලා මළ යක්ෂණියක් වෙලා ඉඩමට වෙලා ඉන්නවා...පදිංචියට එන අයට කරදර කරනවා..."

අමිලගේ තුන් මාසයේ දානමය පින්කම අහවර වී දින කීපයකින් දේවිකා තම ජ්‍යොතිර්වේදියාගේ උපදෙස් අනුව අමනුෂ්‍ය දෝෂය ඉවත් කරගැනීමේ කටයුත්ත ඉටු කරගත්තාය. 

අමිලගේ සියලු ව්‍යාපාර තම සොහොයුරන් දෙදෙනාගේ සහය ඇතුව දේවිකා විසින් අඛණ්ඩව පවත්වාගෙන ගියාය. කෙසේ වෙතත් තම ආදරණීය සැමියාගේ වියෝවෙන් දේවිකාගේ ජීවිතය තුළ ඇතිවූ හිඩැස මෙන්ම, ආදරණීය පියා අහිමි වීම හේතුවෙන් දියණියන් දෙදෙනාගේ සිත්වල ඇතිවූ දුක තවමත් නොනැසී පවතියි.

( මෙය සත්‍ය සිදුවීමකි. නම් ගම් පමණක් මනඃකල්පිත බව සළකන්න)

ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය
සංජීව කුළුපන බණ්ඩාර
(2019.10.20 මව්රට පුවත්පත)
.